පූර්ණ ප්‍රවීණත්වය හා ලක්ශාන්ත

Share post:

2010 විතර වෙන කොට ලක්ශාන්ත අතුකෝරල තමන්ගේ පරම්පරාවේ අනික් කවි කිවිඳියන් හා සමමට්ටමක වගේ හිටියෙ.
ගත වූ දශකය ඇතුලත ඔහු අනික් අය පසුකරගෙන ඉදිරියට ආවා. දැන් ඔහු පූර්ණ ප්‍රවීණත්වය අත්පත් කරගත් කෙනෙක්.
අසහාය ප්‍රතිභාව, සිංහල භාෂාවේත්, පොදුවේ මානව භාෂාවේත් ශක්‍යතා පිළිබඳ අවබෝධය, නිරන්තරයෙන් වැඩ කිරීම, කියවීම යනාදිය ඔහු මේ තත්ත්වයට පත්වීමේ ප්‍රධාන හේතු.

ඔහුගේ මෑතකාලීන කවිවලින් පේනවා කවි බස හා කවිය තුළ බසෙහි විස්ම ගැන ඔහුගේ අවබෝධය.
කලාව ගැන හෝ වෙනයම් දෙයක් ගැන දැඩි දෘෂ්ටිවාදවල පිහිටා නොසිටීමත් ඔහුගේ ගමනට උදව් වී තිබෙනවා.
අනික ඔහුට ජනවාර්ගික ප්‍රශ්නය, ස්ත්‍රී ප්‍රශ්නය, නිර්ධන ප්‍රශ්නය වගේ ප්‍රියතම ‘ප්‍රශ්නත්’ නෑ.
‘මගෙ කවිය තමයි හොඳම එක’ වැනි කියමන් ඔහු කියන්නේ නෑ.

ඒ වගේම ඔහු කවිය ගැන සරල ටීවී කතිකා, අතිසරල ගී රසවින්දන කතිකා, ජීවිත උපදේශ කතිකා, සාහිත්යික ධනාත්මක චින්තන කතිකා ආදියට ගොස් ‘සරල අදහස් වෙළඳපොළට’ බහින්නෙත් නෑ.

මහ බැංකුවේ රැකියාවෙන් ලැබෙන ආර්ථික පසුබිම ඔහු උදව්වක් වෙලා ඇති තමන්ගේ පාඩුවේ හදාරන්න. ඒ අතින් මහ බැංකුව ආර්ථිකයට වඩා සේවයක් කවියට කරනවා. හැබැයි එහෙම ආර්ථික පසුබිමක් තිබුණටම කෙනෙකුට ‘ලක්ශාන්ත’ වෙන්න බෑ. ප්‍රතිභා ශක්තියට අමතරව කැපවීමත් ඕන. සැලකිය යුතු ඉහළ වැටුප් ලැබුණත් පොතක් පතක් නොලියා, තම විෂයයට කිවයුතු දායකත්වයක් නොදක්වා, එක තැන පල් වෙවී නාකි වෙන විශ්වවිද්‍යාල ආචාර්යවරු කොච්චර ඉන්නවද!
තව එක දෙයක් කියන්නම ඕනෙ. ලක්ශාන්තට හොඳට ඉංග්‍රීසි පුළුවන්. ඒ නිසා ඔහු වෙත විවර වන අලුත් දැනුම් විශ්වයක් තියෙනවා; සංවේදන පද්ධති තියෙනවා. යන්තම් මොනව හරි කියව ගන්න නෙවෙයි, ඉංග්‍රීසියෙහි සියුම් ඉංගිත පවා දකින භාෂා දැනුමක් ඔහුට ඇතැයි සිතෙනවා.

ඔක්ටාවියෝ පාස්ගේ කවි සංග්‍රහයට ඔහු ලියන පෙරවදනින් ඒ බව පේනවා.

සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ පූර්ණ ප්‍රවීණත්වය කරා යන්න නම් අනික් සියලු දේත් සමග හොඳට ඉංග්‍රීසිත් ඉගෙන ගන්න ඕන.
ගාර්සියා මාර්කේස් වගේ කෙනෙක් ඉංග්‍රීසි එච්චර බැරුව ලෝක පරිමාණ ලේඛකයෙක් වුණ බව ඇත්ත. හැබැයි ස්පාඤ්ඤ භාෂාවෙන් හොඳම ලෝක සාහිත්‍යය ඔහුට කියවන්න ලැබුණා.

සිංහලෙන් ඒ තත්ත්වය නෑ. විලියම් ෆෝක්නර්ගෙ එක නවකතාවක් වත් නෑ. ෆෝක්නර් නොහිටිය නම් ගාර්සියා මාර්කේස් නෑ වගේ තද බලපෑමක් ඒ උතුරු ඇමරිකානු ලේඛකයාගෙන් මධ්‍යම ඇමරිකානු ලේඛකයාට ලැබුණා.

සිංහලෙන් කවි ලියන අයට නම් පරිවර්තන උදව් හොඳටම අඩුයි. ඉතාම කලාතුරකින් තමයි හොඳ කවි හොඳට පරිවර්තනය වෙන්නේ.

ඔක්ටාවියෝ පාස්ගේ කවි අධ්‍යයනය කරන අයට තේරෙයි කවිය මොන තරම් අමුතු ස්වරූප ගන්න පුළුවන්ද කියලා. ඒ කවි අමුතු වුණාට ‘මගෙ කවිය තමයි හොඳම කවිය’ කියා පොත් පිටකවරවල ලියන අපේ ඇතැම් ප්‍රවීණ කවියන්ගේ කවි වගේ වියළි නෑ; ප්‍රහේලිකා ස්වභාවයක් නෑ; ආකෘතික ඒකාකාරිත්වයක් නෑ.

බරසාර කවියෙක් මුදුමෙළෙක් කාව්‍ය සංවේදීතාවකින් යුතුව, අත්තුක්කන්සනයෙන් තොරව, සමාජයක වැඩෙන එක අපි කාටත් හොඳයි.

භාවමය වශයෙන් වියළි වෙලාවට, කවියෙන් විතරක් සැපයෙන සියුම් අන්තර් දෘෂ්ටියක කවුළුව අවශ්‍ය වෙලාවට අපිටත් යන්න පුළුවන් ඒ කවියාගේ හෙවණට. අපේ රටේදී ඒ අවශ්‍යතා නිතර ඇති වෙනවා.

ලියනගේ අමරකීර්ති

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...