පැරීසියේ ඉන්න චීන තානාපති ලූ ෂේ ගිනි බෝලයක් පත්තු කරයි

Share post:

රුසියාව විසින් යුක්‍රේනයට අයත් ක්‍රිමියානු අර්ධද්වීපය අල්ලා ගැනීමේ හරි වැරැද්ද ගැන පැරීසියේ ඉන්න චීන තානාපති ලූ ෂේගෙන් මධ්‍යවේදියෙක් ප්‍රශ්න කරනවා. ඒකට උත්තර දෙන්න ගිහින් තානාපතිතුමා ගිනි බෝලයක් පත්තු කළා.

යුක්‍රේනය විතරක් නෙවෙයි පැරණි සෝවියට් සංගමයෙන් වෙන් වෙලා ගිය රටවල් කිසිවක් ස්වෛරී රාජ්‍ය විදියට පිළිගන්න බැහැ කියල ලූ ෂේ කියනවා. ජාත්‍යන්තර නීතිය අනුව ඒවා වෙනම රටවල් විදියට පිළිගන්න බැහැ කියල ඔහු කියනවා.
මේ ප්‍රකාශය නිසා යුරෝපා සංගමය ඇවිලී ගියා. විශේෂයෙන් 1991 සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ස්වාධීන රාජ්‍ය බවට පත් වූ බෝල්ටික් සමුහාණ්ඩු තුන වූ එස්ටෝනියාව, ලැට්වියාව හා ලිතුවේනියාව දුම්මල වරම අතට අරන් ඉන්නවා. මේ රටවල් තුනම දැන් යුරෝපා සංගමයේ සාමාජිකයන්. ඒ වගේම NATO සාමාජිකයන්.

“අමුතුවෙන් නීත්‍යානුකූල කරන්න දෙයක් නෑ. අපි කවුරුත් සෝවියට් රටවල් නෙවෙයි. සෝවියට් සංගමය විසින් නීති විරෝධීව අල්ලන් හිටපු රටවල්..” එහෙම කියන්නේ එස්තෝනියානු විදේශ ඇමති.

එන පොට හොඳ නැති බව දැන ගත්ත චීන ආණ්ඩුව වහාම ඊට උත්තර බැන්දා. තමන්ගෙ තානාපතිවරයාගේ ප්‍රකාශය පිළිගත නොහැකි බවත් පැරණි සෝවියට් සමූහාණ්ඩු සියල්ල ස්වාධීන රටවල් විදියට පිළිගන්නා බවට චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළා.

1991 දී සෝවියට් දේශයේ කඩා වැටීමත් එක්කම නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් අධිරාජ්‍යයම සී සී කඩ ගියා. සෝවියට් දේශයට අයිති වෙලා තිබුණ රුසියාව, බෙලොරුසියාව, යුක්‍රේනය, ජෝර්ජියාව, ලිතුවේනියාව, එස්ටෝනියාව, ලැට්වියාව, කිර්ගීසියාව, කසක්ස්තානය, උස්බෙකිස්තානය, ටර්ක්මෙනස්තානය, මෝල්දාවියාව, අසර්බයිජානය, ආර්මේනියාව, තජිකිස්තානය කියන සමුහාණ්ඩු 15 ස්වාධීන රටවල් බවට පත් වුණා.

යුරෝපා සංගමයේ රටවල් 27ම චිනය සමඟ ආර්ථික සහයෝගීතාව තියා ගන්න කැමතියි. ඇමෙරිකාව මොන බාල්දිය ඇද්දත් චීනය හා යුරෝපයට ආර්ථික කාරණාවලදී එකිනෙකා නැතිව ඉදිරියට යන්න බැහැ. චීනයේ අංක එකේ මාකට් එක තමයි යුරෝපය. ඒ වගේම අනිත් අතට යුරෝපා භාණ්ඩවලටත් චීනය හොඳම මාකට් එකක්.

මෑතකදී ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝක් බීජිං නුවරට නෑදෑගම් ආවා. යුරෝපා සංගමයට තායිවානය සම්බන්ධයෙන් පවා තමන්ගේම මතයක් තියෙන්න ඕනැ කියල මැක්‍රෝක් මහත්තයා කියනවා. තායිවාන කාරණයේදී ඇමෙරිකාවේ පදයට නටන්න උවමනා නැති බව බීජිං ගමනෙන් පස්සෙ ඔහු කියනවා. කොහොමත් ‍යුරෝපයේ කටයුතුවලට ඇමෙරිකවේ මැදිහත් වීම ගැන මැක්‍රෝන්ට ඒ තරම් මනාපයක් නැහැ. මිත්‍ර පාර්ශවයක් විදියට ඇමෙරිකාව සමඟ එකට හිටියත් යුරෝපයට ඇමෙරිකාවේ වහලෙක් වෙන්න බැහැ කියල උන්නැහේ කියනවා.

මැක්‍රෝන්ගේ ප්‍රකාශය ඇමෙරිකාවේ විතරක් නොවෙයි ජර්මනිය ඇතුළු අනෙකුත්‍ යුරෝපා රටවලත් විවේචනයට ලක්වුණා. යුරෝපයේ බොහෝ රටවල් ඇමෙරිකාව විවේචනය කරන්න බයයි. තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් ඇමෙරිකාව එක්ක එකට හිටගන්න ඕනෑ කියල මතයක් ඔවුන්ගෙ තියෙනවා. ඒත් ප්‍රංශය වෙනස්. යුරෝපා සංගමය එක්ව ගත්තාම ලෝකයේ යුද බලවතෙක් තමයි. ඒත් යුරෝපා සංගමයේ එකම න්‍යෂ්ටික බලවතා ප්‍රංශය විතරයි.

ශානක ලියනගම (ලෝකය එකම යායක්)

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...