කවියකු, කිවිඳියකගේ ආගමනය සිරියකි. එසේම එවන් කවියකුගේ හෝ කිවිඳියකගේ කාව්‍ය නිර්මාණ රස විඳින්නට, විමසන්නට, සංවාදයන්හී නියැලෙන්නට සමත් රසික සමූහයටක් සිටීම යනු අසිරියකි. එහෙත් අප සිටිනුයේ අන්ධකාර සමයකය. ගෙවෙනා සෑම මොහොතකක්ම යුද්ධයකි. එය ජීවිතය පවත්වා ගැනීම පමණක් නොව ආත්මය රැකගැනීම පිණිසද වන අරගලයකි. අත් අල්ලාගන්නා අයට වඩා අත අඹරවා පැන යන්නවුන්ගේ සංඛ්‍යාව දින දින වැඩිවෙයි. ලෝකයේ බලවතුන් යයි සම්මත රාජ්‍යයන්හි න්‍යාය පත අතැතිව සිටිනා ඒජන්තයන්ට අපේ පාලකයන් යයි කියනා වර්තමානයක අප දවසින් දවස සිටිනුයේ මංමුලාව යමිනි.
කෙසේ හෝ වේවා ඉන්දිගෝ මං පෙත දිගේ ලක්මිණි අමරසිංහ නම් කිවිඳිය සපැමිණෙනුයේ එවන් වකවානුවකය. එහෙයින් ඇගේ කවියෙහි සිරි අසිරි රසික අවධානයට ලක් විය යුතුය.
ඉන්දිගෝ යනුවෙන් හඳුන්වනු ලබනා වර්ණය නිල් සහ දම් පැහැය අතර වන වර්ණයක් වන අතරම ඉන් නියෝජනය වනුයේ සන්සුන් බව, නිසංසලය, විශ්වාසීබව, සහ ඒකාග්‍රතාවය යනාදියයි. ඇය තම කවි එකතුවෙහි නමට තෝරාගන්නේ ඉන්දිගෝ මං දිගේ යන්නයි. එසේම එනමින්ම ඇති කවියක්ද වෙයි. ඒ කව තුළ අපට හමුවන්නේද ඉහතකී ගුණයන් රැකගත් කතකි. ඇගේ ඒ කවිය සන්සුන් මනසදින් යුත් අවබෝධයෙන් ඉදිරිය බලනා උත්සාහී එසේම මනු ගුණයන් රැකගන්නට තැත් දරන්නියකි. එහෙයින් කවිය ඒ නම උචිත වන්නා සේම ඇගේ කවි තුළද විටින් විට මේ ගුණයන් දක්නට ලැබෙයි.
වසන්තය අත් හරිමි
ඇල්මැරුණු සඳ දවමි
කඳුළු තෙල් ඇවිලිලා
හැරුණු මෙරු මග හරිමි
මේ හොඳින් සිතා මතා කරනා පිය නැගුමකි. ඇය තම මාර්ගය ගැන නිශ්චිත අදහසකින් පිය නගන්නීය.
මධු සාද කෙලවරදි
සඳ හාදු පිස දමමි
සැර ටිකක් වැඩි වෙද්දි
ශෘංගාර තරු නිවමි
හුදු හැඟුම් මෝචනය කිරීම නොව නිශ්චිත දැක්මක් සහිතව තම නිර්මාණකාර්යය තුළ නිරත වීම නිර්මාණකරුවකුගේ වගකීමකි. ඒ පුළුල් අරුතින් ගත් කල නිර්මාණකාර්යය යනු වගකීම්සහගත වීමද වන හෙයිනි. ලක්මිණි ගේ කවි තුළ හුදු පද පෙලින් ගම්‍යවන අරුත් ඉක්මවා ජීවියේ විවිධ ඉසවු විමසන්නට ඉඩ සැලෙසෙන අයුරු අපූරුය. කැබලි වී යන ජීවිතවලින් පිරි සමාජයක රෝගී නාඩි රාවය අල්ලන්නට උත්සාහ දරනා ඇය ඒ අතරම මනුෂ්‍ය ජීවිතයේ නෙක අහුමුළුද විවර කරන්නීය. ඇගේ පාළු කුස්සියට මීයෙකු ඇවිදින් යන කවිය හෘදයග්‍රාහී කවියක් වන්නේ එහෙයිනි.
කවියෙහි නිමිත්ත හුදෙකලාවේ ඇති කුස්සියට මීයකු ගේ කඩා වැදීම පිළිබඳවය. ඉන්පසු අපට වදන් හරහා හමුවනුයේ මීයාගේ කලබලයෙහි තොරතුරුය.
කවුරුවත් නැති පාළු කුස්සියෙ
ළඟදි ඉඳලා වළං බිඳුනා
සද්ද කරගෙන පැනල දුවමින්
මීයෙකුත් සැරිසරනු ඇසුණා
ඒ මීයා ඔහුගේ/ ඇයගේ කුස්සියම අවුල් කර හමාරය. කවියෙහි ඇත්තේ මීයා විසින් කරනද ලද අවුලෙහි තරමය. එහෙත් මේ හුදු මීයකු හා කුස්සියක කතාවක් පමණක්ද? විමසිලිමත් පාඨකයෙකු හට මේ කවියෙහි පද පේලි අතරින් ජීවිතයෙහි වෙනත් අර්ථයන් පාදා ගැනීම අසීරු නැත. මේ කවිය එසේ විවර කරනා අනෙක් කවුළුව ජීවිතයේ වෙනත් පැති අනාවරණය කරයි.
මේ මීයා කුස්සිය/ ජීවිතය අවුල් කර ඇති ආකාරයයි.
කාලයක සිට හෙමින් අස් කළ
හාල් භාජන පාන් පිටි ටින්
පරණ සුන්බුන් පාර පාරා
කුස්සියම මගෙ අවුල් කරලා
ඇගේ අනියම් නළ දත මැයෙන් වන කවියද එවන් නිර්මාණයකි. ඇය ඒ කවියට නම දෙන්නෙ (අනියම්) නළ දත යනුවෙනි. එහෙත් මේ අනියම් යන විශේෂණය නොමැතිව කවිය ඉදිරිපත් කළා නම් අර්ථය වඩාත් පොහොසත්ව රසික මනසට වදින ඇති බව මට සිතෙයි. ඉරණම ලිවු සකිසඳ නුඹ නමින් එන කවියද මානව සම්බන්ධතාවන්හී සංකීර්ණත්වය මෙන්ම මිතුරුකම්, සමාජ විෂමතා, වෘත්තීය පරතරයන් වැනි බොහෝ කරුණු අතර දෝලනය වන ජීවිත ගැන කියවීමකි. විටෙක සමකාලීන ජීවිතයේ චරිත කැඳවන ඇය තවත් විටෙක පුරාණෝක්ති කැඳවාගෙන එයි. ඒ අතර ඇය ඒ සියල්ල භාවිතා කරමින් සමකාලීන ජීවිතයේ විවිධ ඉසවු පුරා සරන්නීය. වරෙක ඇය කුවේණිය කැඳවමින් නූතන වහල් වෙළඳපල වෙත හැරෙයි.
කෑලි හත්සීයෙ ඕඩරේකට
හත්සීයක් කපු පිළි වියපු නුඹ
.ති.ට පතිවත රකින නගරෙක
කෑලි ගාණට ඉතිං වැටුණද
ඇය තම කවි තුළ සිත බැඳගන්නා කාව්‍යාත්මක යෙදුම් නිපදවන්නට සමත් වෙයි. තිතට පතිවත රකින නගරෙක යනු එවන් යෙදුමකි. එහි ඇති පුළුලු අරුත් රසිකයාට නැවුම් වින්දන කලාපයක් විවර කරයි.
මේ ගලිවර්ට පෙම් බැඳි ලිලිපුට්ටියකගේ කතාවයි. අපේ සමාජයෙහි බොහෝ පෙම්වතුන් ගලිවර්ලා බව අවිවාදිතය. ගීත සාහිත්‍යෙයහිද අපට බොහෝ වර හමුවන්නේ ලිලිපුට් පෙම්වතියන්ට මග වැරදුන තැන් කියා දෙන බෝසත් ගලිවරයන්මය. එහෙත් මේ ගලිවරුන්ට ලිලිපුට් පෙමක ඇති විසල් බව වැටහේද?
නිදාහුන් ගලිවර්ගෙ හිත ළඟ
අඩදැණිව පුංචියට පොඩියට
ඇගේ ප්‍රේමය අවදි කර කර
පුංචි ලිලිපුට්ටියක් ඉන්නැති
ලක්මිණි කිවිඳිය සිය නිර්මාණකාරියෙහිදි ව්‍යංගාර්ථවත් යෙදුම් බොහෝ සේ කැඳවයි. එහෙත් ඇතැම් විටෙක මේ ඇබ්බැහිය නිසා තම කවියෙහි කිමිදෙන රසිකයා හට කවිය දුරවබෝධ කරවීමේ අනතුරක්ද ජනිත වෙන බව සැලකිල්ලට ගත යුතුව තිබේ. කෙසේ වෙතත් ඇය තම කුළුඳුල් කෘතිය තුළ දක්වා ඇති සමත්කම් දකින විට වඩා ඉවසිලිවන්ත සංස්කාරකවරියකට ඉඩ දෙන්නේ නම් ඇගෙ කවියෙහි රුව මෙන්ම ගුණයන්ද තවත් වර්ධනය වනු ඇති බව කිව හැකිය.