රාජ්‍ය බලය ඩැහැගැනීමේ ම්ලේච්ඡ කුමන්ත්‍රණයට වසර හතරයි : ජීවිත 273යි, සදාකාලික ආබාධිතයන් 500යි !

Share post:

රාජ්‍ය බලය හොබවන කල්හී එකී බලයෙන් මත්වී ලවක් , දෙවක් නැතුව සිදුකරන මිනිස් ඝාතන , සහාසික අපරාධ , මහා පරිමාණ වංචා දූෂණවල රග තේරෙන්නේ එකී රාජ්‍ය බලය ගිලිහුණු පසුව ය.

බලය අරා සිටිමින් අසීමාන්තිකව කරන ලද එකී අපරාධවලට ප්‍රමාදයන් හමුවේ වුවද ඔවුහු කෙමෙන් කෙමෙන් හිරේ විලංගුවේ වැටීමට ආසන්න වෙමින් තිබුණි. ඒ බව හොඳින් තහවුරු වූ කළ ඉන් බේරී සිටීමේ එකම මග යළි කෙසේ හෝ රාජ්‍ය බලය සියතට ගැනීම යැයි ඔවුහු කල්පනා කළෝය. පාස්කු දින ම්ලේච්ඡ ප්‍රහාරය එහි ප්‍රතිඵලයකි.

2018 ඔක්තෝබර් කුමන්ත්‍රණය පරාජයට පත්වීම

මේ ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල වන්නේ ඉන් මාස හයකට පෙර 2018 ඔක්තෝබරයේ සිදුකළ රාජ්‍ය බලය පැහැර ගැනීමේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පරාජය කිරීම නිසාය. එය එලෙස පරාජය නොවුණා නම් බොහෝ විට පාස්කු දින ම්ලේච්ඡ ප්‍රහාරය සිදුනොවන්නටත් ඉඩ තිබිණි.

තමන් කරන ලද අපරාධවලට හිරේ විලංගුවේ නොවැටී සිටීමට නම්, පෙර කරන ලද අපරාධවලට වඩා විශාල අපරාධයක් කිරීමට සිදුවුවද , එය කොතරම් සහාසික වුවත්, කොතරම් ම්ලේච්ඡ වුවත් ඒ තෝරා ගැනීමට ඔවුහු දෙවරක් කල්පනා නොකරති. මන්ද යත් උන් හිරේ විලංගුවේ වැටෙනවා යනු මෙතෙක් ගොඩනගා ගත් මුළු දේශපාලන ජීවිතයම ඉන් අවසන් වන බැවිනි.

දෙමළ බිල්ලා වෙනුවට මුස්ලිම් බිල්ලකු මවා ජාතික ආරක්ෂාවේ භීතිය පැතිරවීම

ඉහත ජඩ දේශපාලකයන් හැමවිටම රාජ්‍ය බලය ඡන්දයෙන් ඩැහැගත්තේ රට යටත්කර ගැනීමට සිටිනවා යැයි කියන දෙමළ බිල්ලා මවාපාමිනි. 2009 මැයි මාසයේ එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු, නැවත දෙමළ බිල්ලා මවාපෑමේ වාසිය අවසන් විය. ඉන්පසු දකුණේ ඡන්දය ඩැහැගැනීමට ඔවුන්ට අලුත් බිල්ලකු උවමනා විය.

ඒ සඳහා ඔවුහු මුස්ලිම් බිල්ලා සැලසුම් සහගතව නිර්මාණය කළේය. වඳ කොත්තු, වඳ බ්‍රෙසියර්, වඳ සැත්කම්වලින් පටන්ගෙන මරාගෙන මැරෙන අන්තවාදී උන්මත්තක ප්‍රහාරකයන් දක්වා එකී නිර්මාණ වර්ධනය කර ගත්හ. මුස්ලිම් ත්‍රස්තවාදයෙන් රටේ ජාතික ආරක්ෂාව බිංදුවටම ඇද වැටී ඇතැයි ද , එය මුලින් උපුටා දමා ජාතික ආරක්ෂාව නැවත ස්ථාපිත කළ හැක්කේ අපට පමණක්ම යන සමාජ මතය යස අගේට නිර්මාණය කර ගත්තෝය.

ඔවුන් දඩයම කරේ තියාගෙන ගිය අපූරුව දුටුවාද ?

අප්‍රේල් 21 පාස්කු දින ම්ලේච්ඡ ප්‍රහාරයත් සමගම දියත් වූ 2019 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය තුළ කුමන්ත්‍රණයේ අරමුණ හොඳින් ම විදහාපෑවේය. ලක්ෂ 69ක මහා ඡන්ද මල්ල කියා පෑවේ කුමන්ත්‍රණය කොතරම් සාර්ථකව ක්‍රියාත්මක වී තිබුණේ ද යන්නයි.

කුමන්ත්‍රණයෙන් පසු ලැබෙන ප්‍රතිළුලයේ දිග පළල මෙතරම්ම විශාල බව නොදැන සිටියද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහාය නොලැබෙන්නට එය මේ තරම් සාර්ථක නොවනු ඇත. ඔහුගේ රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධනගේ ක්‍රියාකලාපයට එරෙහිව ප්‍රහාරයෙන් පසුව වත් කිසිවක් නොකර සිටියේ ඔහු කුමන්ත්‍රණයේ හවුල්කරුවෙකු වූ නිසාය.

ඔටුණු පැළඳුවද , ඔටුණු ගැළවුණද, ජඩ නින්දිත දේශපාලන චෞරයන්ගේ බල වියරුවක් වෙනුවෙන් ඊට කිසිදු සහසම්බන්ධයක් නොමැති ජීවිත 273ක් අහිමි වූ අතර, සදාතනික ආබාධිතයෝ 500 දෙනකු පමණ ඇඳන් මත එක්තැන් කර තිබේ. මව්වරුන්ට, පියවරුන්ට සිය දරුවන්ද , දරුවන්ට මව්පියෝ ද , ස්වාමි පුරුෂයන්ට බිරින්දෑවන් ද, බිරින්දෑවන්ට සිය ස්වාමි පුරුෂයන්ද , සහෝදර සහෝදරියන්ට සහෝදර සහෝදරියන් ද අහිමි කර තිබේ. ඔවුන්ගේ ඥාතීන් නෑ හිත මිතුරෝ තවමත් කඳුළු සළමින් පසුවෙති.

වසර හතරක් ගෙවුණද මේ සහාසික අපරාධයේ වින්දිතයන්ට තවමත් යුක්තිය ඉටුවී නැත. ඉටුවන බවක් පේනතෙක් මානයකවත් නැත. කතෝලික සභාව වරින්වර අවදි වෙමින්ද , නැවත නින්දට වැටෙමින් ද කල් ගෙවති. අන්තර්ජාතික ස්වාධීන විමර්ශනයකින් මෙපිට මේ මහා අපරාධයේ ඇත්ත අපරාධකරුවන් රටට හෙළිදරව් වීම කිසිසේත්ම සිදු නොවනු ඇත. කාදිනල් හිමිපාණෝ වසර දෙක තුනක් තිස්සේ ප්‍රකාශ කරන අන්තර්ජාතික විමර්ශනයක් කරා යාම දැන්වත් ක්‍රියාත්මක වනු ඇද්ද … ?

  • පෝද්දල ජයන්ත

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...