විශ්වවිද්‍යාලය සංකේතාර්ථයෙන් පමණක් වටහා ගැනීම යන සංකේතාර්ථීය මිත්‍යාව “සහෝ” චිත්‍රපටය පුපුරවා හරිනවා

Share post:

අහම්බෙන් වගේ ඊයේ (අප්‍රේල් 20) ආරියරත්න ඇතුගල අධ්‍යක්ෂණය කළ “සහෝ” චිත්‍රපටය නැරඹීමට අවස්ථාව ලබන්නේ මිත්‍ර තිළිණ ගාල්ලගේ ගේ ආරාධනයෙන්. තරංගනී සිනමා ශාලාවේ දී. ඇතුගල ගේ “සහෝ” නවකතාව මා කියවූයේ මීට වසරකට හෝ ඊට මදක් වැඩි කාලයකට පෙර.

එය පාදක කරගෙන නිපදවූ චිත්‍රපටය නරඹා සැබෑ ලෝකයට පිවිසෙන විට නැරඹූ කිහිප දෙනෙකුගේ දෙබසක් මට ශ්‍රවණය වුනේ අහම්බෙන්.

“විශ්වවිද්‍යාල වල මෙහෙම දේවල් වෙනවැයි?”

“පිස්සු මනස්ගාතයක්..”

මෙය ලංකාවේ චිත්‍රපට කලාව අර්බුදයට යාම හා පොදු රසික මනස පිළිබඳව කියවීමට හොඳ නිර්ණායකයක්. පොදු රසික සමාජය සෑම විටම කලා නිර්මාණයකින් බලාපොරොත්තු වන්නේ තමන් ගේ ජීවිතය සම්බන්ද ලෝකය ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය වූ “පොටෝකොපිමය” කලාකෘතීන්. කලාකරුවන් විසින් සිය නිර්මාණයන් ස්ථානගත කරන්නේ සත්‍ය හා මිත්‍යාව අතර ලක්ෂ්‍යයක බව ඔවුන් සිතන්නට එක්කෝ දන්නේ නෑ. නැත්නම් කැමති නෑ.

අනෙක විශ්වවිද්‍යාලය යන ආයතනය සංකේතාර්ථයෙන් පමණක් වටහා ගැනීම. ඇතුගල ගේ “සහෝ” චිත්‍රපටය එම සංකේතාර්ථීය මිත්‍යාව පුපුරවා හරිනවා. නමුත් මෙහි එන විශ්‍ව විද්‍යාල සිසු ජීවිතයට අදාල බොහෝ සිදුවීම අද්‍යතන සමාජ සන්දර්භය තුල මහ පොළොවේ සිදුවන සැබෑ සිදුවීම්. සිය ආර්ථික අපහසුතා මගහරවා ගැනීමට මාර්ගගතව ලිංගික නිරුවත විකුණන අය, භෞතිකව සිය ශරීරය විකුණන අය. සිය සමූහ බෝඩිම රහසිගතව මසාජ් පාලර බවට පෙරළා ගත් අය, පින්තාරු කිරීම්, ඉදිකිරීම් අත්වැඩකරුවන් ලෙස උපයා ගන්නා අය අපට විශ්වවිද්‍යාල පොළොවේ දී හමුවෙනවා. මේ සෑම කාරණයක් පිටුපසම ඇත්තේ සමාජ, දේශපාලන, ආර්ථික හේතුවක්. චිත්‍රපටයේ සඳූ, හිරු ගෙන් රු.5000 ණයට ඉල්ලා සිටින්නේ ගබ්සාවක අවශ්‍ය මුදලක් සම්පූර්ණ කරගැනීමකට. හිරූ සිය නිදන ඇඳ මෙට්ටය යටින් මුදල් රැගෙන දෙනවිට පවසන්නේ “මට ඉන්නවා බෝම්බෙකට අහුවුණ අම්මෙක්, තාත්තෙක්, සහෝදරියක්” කියා. මේවා හුදෙක් හිතලු මනස්ගාතයන් පමණකැයි පවසන්නේ මහ පොළොවේ යථාර්ථය නොදන්නා අය.

චිත්‍රපට පසුබිම් වන්නේ ශිෂ්‍ය අරගලයකදී මියයන සහෝ නම් වූ ශිෂ්‍ය නායකයාගේ මරණය සම්බන්ධව එම ශිෂ්‍ය සංවිධානයේ සමකාලීන සිසු සිසුවියන් හතර දෙනෙකු තුල ගොඩනැගෙන උභතෝකෝටිකය. ඔවුන් එකිනෙකා සිතන්නේ තමන් නිසා සහෝ මරණයට පත්වූ බව. මුළු චිත්‍රපටයම දිවෙන්නේ මේ උභතෝකෝටිකය හඹායාම මත. ඒ අතර මේ සිව්දෙනා ගේ අන්තර් සම්බන්ධතා ගැනද ඉඟි පළවෙනවා. ඔවුන් මූණ දෙන ජීවන අර්බුදයන් ද, මානසික අර්බුදයන්ද , චිත්‍රපටයේ දෙවන තලයෙන් (2nd Layer) මතු කෙරෙනවා. මේ පඨිතයේ ආකෘතිය සඳහා ඇතුගල භාවිතා කරන්නේ අධියථාර්ථවාදී ප්‍රවේශයක්. ඒ නිසාම විශ්වවිද්‍යාල ජීවිතය මෙසේ වන්නේ නැත, එසේ නොවන්නේද නොවේ යන දෙගිඩියාමය මනෝභාවයකට ප්‍රේක්ෂකයා අරගෙන යනවා. ඒ ඔස්සේ චිත්‍රපටයේ කතා කෙරෙන දේශපාලන තලය මතුකරගන්නට බලකෙරෙනවා. අවසන් දෙබස් කණ්ඩයට සාවදානව කන්දුන්නා නම් අප ඉහත සඳහන් කළ ප්‍රේක්ෂක වර්ගයා අර්බුදයට යන්නේ නෑ.

චිත්‍රපටයේ අප වඩාත්ම ඇලුම් කරණ දෙඅංශය වන්නේ එහි රූප සත්කාරය (Visual Treatment ) සංගීත නිර්මාණය (Composing of Music) යන කොටස් දෙක. කෙසේ වෙතත් රූප තෝරාගැනීමේ ඇතැම් තැන් අබ්බාස් කියොරොස්තාමි ගේ රූප රාමු ලැදියාවන් සිහිපත් කරනවා. එය චරිත වල අවස්ථානුකූල ක්ෂුද්‍රමය ඇතුලාන්තය නියෝජනය කරනවා. එසේම තෝරාගෙන ඇති පසු තලයන් ද අවුල්සහගත බව, අරමුණු විරහිත බව, මානසික හුදකලා, නොපැහැදිලි අනාගතය සංකේතවත් කරනවා.

චිත්‍රපටයේ සංගීත නිර්මාණය සමස්තයක් ලෙස හැකිලූවිට කිවහැක්කේ “තරුපති මුණසිංහ නම් තුරුණු සංගීතවේදියා සිය සංගීත දිවියේ තීරණාත්මක හැරවුම් ලක්ෂය “සහෝ” තුලින් සටහන් කරන බවයි. චිත්‍රපටයේ උපයුක්ත කතා තේමාවට මෙන්ම එක් එක් අවස්ථා සිද්ධි තුල පැනෙන තීව්‍රභාවය තියුණු කෙරෙන සංගීත නිර්මාණයක් ඔහු චිත්‍රපටය වෙනුවෙන් කර තිබෙනවා. තරුණයින් තුල ඇති උද්වේගකරභාවය, කලබලකාරීබව, සන්ත්‍රාසමය ස්වරූපය (Panic mood) සිය සංගීතයෙන් ඔහු තීව්‍ර කරන්නේ රසික ජනමනස තියුණු රසවින්දනාත්මක අඩවියකට තල්ලු කරමින්. මෙහි එන තේමා ගීතය සහ අනෙක් ගීතය සඳහාද තරුපති යොදා ඇති තනුව හා සංගීතය තාරුණ්‍යයේ හැඩය ප්‍රතිබිම්භනය කරන්නක්. “මේ ජීවිතේ එකම මොහොත මෙයමයි” ගීතය සඳහා ඔහු තරුණයින් අතර ජනප්‍රිය ගිතාරුව භාවිතා කරන ආකාරය, ගීතයක සංගීතයට මහා ඝෝෂාකාරී සංගීතයක් පැණෙන සංගීත භාණ්ඩ රැසක “තඩිබෑමක්”අනවශ්‍ය බව තනි හඬකින් කියාපාන්නක්.

ශ්‍රී ලාංකික තරුණයාගේ ජීවිතය අරමුණු විරහිත අනාගතයක් කරා තල්ලු කරන දේශපාලන උවමනාව ප්‍රශ්න කරණ ලංකා සිනමා ඉතිහාසයේ “අහස්ගව්ව”, “හන්තානේ කතාව”, “වල්මත්වූවෝ”, “මතුයම් දවස,” වැනි චිත්‍රපට අතරට “සහෝ” චිත්‍රපටය ද පෙළගැස්විය හැකි බවයි අපගේ විශ්වාසය.

කපිල එම්. ගමගේ

Related articles

‘ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැණු’ – කුමුදු කුමාරසිංහ

කුමුදු ගෙ ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු එක්ක ටික දවසක් තිස්සෙ කරළ ගමන අදින් අවසන් කරගත්තා. එතකොට මං...

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...