උදව් එපා, අවශ්‍ය යුක්තියයි – රඹුක්කනදී පොලිසියෙන් ඝාතනය කළ චමින්දගේ බිරිඳ : පොලිස් නිලධාරීන්ට ගිනි අවි ගැන තිබී ඇත්තේ අල්ප දැනුමක් – මානව හිමිකම් කොමිසම

Share post:

හරියටම වසරකට පෙර (2022 අප්‍රේල් 19) ඉන්ධන ඉල්ලා රඹුක්කන පැවති විරෝධතාවක් අතරතුර පොලිස් වෙඩි පහරකින් පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියේදී ටී – 56 වර්ගයේ ගිනි අවි අතදරා සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනාට අවි පරිහරණය පිළිබඳව තිබී ඇත්තේ අල්ප දැනුමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.

2022 අප්‍රේල් 19දා පැවැත්වූ මෙම විරෝධතාවයේදී පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මියගියේ චමින්ද ලක්ෂාන් නමැති දෙදරු පියෙකි. මීට අදාළ මානව හිමිකම් කොමිසමේ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ එක් පොලිස් නිලධාරියෙකුට ටී – 56 ගිනි අවිය ලැබී ඇත්තේ සිද්ධියට පෙර දිනයේදී බවයි.

වගකිවයුතු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අවි පරිහරණය පිළිබඳ තිබී ඇත්තේ අවම දැනුමක් බව කොමිසම නිරීක්ෂණය කර ඇති අතර, ටී – 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමට සහ විරෝධතා මර්දනයට තමන් වයසින් වැඩි බව එක් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත. මෙම විමර්ශනයට අදාළ වාර්තාව කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයා වෙත යොමුකර තිබේ.

කොමිසමේ නිර්දේශ

අදාළ වාර්තාවෙන් මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට ද නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත.ඒ අතරින් එක් නිර්දේශයක් වන්නේ වාර්තාවේ අඩංගු සාක්ෂි, සොයාගැනීම් සහ සීසීටීවී දර්ශන උපයෝගි කරගනිමින් පරීක්ෂණයක් පවත්වා චමින්ද ලක්ෂාන්ට වෙඩි තැබීමට වගකිව යුතු පොලිස් නිලධාරියා නිශ්චිතව හඳුනාගන්නා ලෙසයි.

එසේම ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාට මෙන්ම එහිදී තුවාල ලැබූවන්ට ප්‍රමාණවත් වන්දි මුදල් ගෙවන ලෙස ද කොමිසම පොලිස්පතිවරයාට නිර්දේශ කර ඇත.

වෙඩි තැබීමට නීතිවිරෝධී නියෝගය ලබාදුන් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්නට ගනු ලබන විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සහ විරෝධතා මර්දනයට ගිනි අවි පිළිබඳව  ප්‍රමාණවත් දැනුමක් සහ පුහුණුවක් නොමැති නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම දැනුවත් කළ යුතු බව ද අදාළ වාර්තාවේ සඳහන් ය.

විරෝධතාකරුවන්ට ප්‍රදේශයෙන් පිටවීමට ප්‍රමාණවත් කාලයක් ලබාදීමෙන් පසු අවශ්‍ය නියෝග ක්‍රියාවට නැංවිය යුතු බව ද එමගින් අවධාරණය කර ඇත. එසේම නීතිය බලාත්මක කිරීමේදී පොලීසිය, භූමියෙන් පළායන විරෝධතාකරුවන් භෞතිකව ලුහුබැඳීමෙන් වැළකිය යුතු බව ද එම වාර්තාව මගින් පොලිස්පතිවරයාට නිර්දේශ කර තිබේ.

‘උදව් එපා’

‘මට රජයෙන් උදව් ඕනෙ නෑ. අපිට කොහොම හරි ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මට යුක්තිය ඉටුවෙන්න ඕනෙ.’
ඝාතනයට ලක්වූ චමින්ද ලක්ෂාන්ගේ බිරිඳ වන රඹුක්කන, නාරම්බැද්ද ආර්.එස්. ප්‍රියංගනී thetime.lk සමග එසේ කීවාය.
‘දේවාලෙගම පොලිසියෙ ඕඅයිසී මහත්තයත් කතා කරලා, උදව්වක් ඕනෙ නම් කියන්න කියලා ඒ වෙලාවෙ කිව්වා. මහත්තයා ආපහු එන්නෙ නෑ. ඒක කරන්න කාටවත් බෑ. ඒත් මේ අපරාධයට අපිට සාධාරණයක් අවශ්‍යයි.’
ඇය, අවුරුදු 19ක දියණියකගේ සහ අවුරුදු 15ක පුතෙකුගේ අම්මා කෙනෙකි.
‘මහත්තයා ගියෙ ඉන්ධන ඉල්ලලා කරපු රැළියට නෙමෙයි. දවල් 12.30ට විතර ගෙදරින් ගියෙ තෙල් ගහන්න. රැළියට ගියා ම කියමු. එතැන කෑගහලා, ඔය ගල් ගහන මොනව හරි කළා කියමු. ඒත් මේ විදිහට වෙඩි තියලා මරන්න පුළුවන් ද?’
ඇය එසේ විමසා සිටී.
‘නඩු දෙකක් තියෙනවා තමයි. ඒක ඇත්ත. එකක්, මහත්තයා දාපු නඩුවක්. එයාගෙ ඔළුවට ගහපු සිද්ධියකට. ඔළු කට්ටක් දාලා තිබුණෙ මහත්තයට.
අනෙක, හර්ෂ මරපු සිද්ධියට සැකපිට.’

‘මහත්තයට පන්න-පන්න පොලිසියෙන් වෙඩි තියලා තියෙන්නෙ. ඉස්පිරිතාලෙ අරන් යන එකත් පොලිසියෙන් ප්‍රමාද කරලා තියෙනවා. මම ගිහින් බලනකොට ඉස්පිරිතාලෙ හදිසි ඒකකයෙ හිටියා. එතකොටත් නැති වෙලා. මේක කරපු අයට දඬුවම් දෙන්නම ඕනෙ.’
ඇය, පොලිසිය විසින් ඝාතනය කළ තවත් මිනිසෙකුගේ බිරිඳ ය. ඒ තාත්තාගේ දරුවන් දෙදෙනාගේ අම්මා ය.
කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් වාසනා නවරත්න විසින් මෙය මිනීමැරුමක් බව තීරණය කර තිබේ. අදාළ ඝාතනයට නියෝගය දුන් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්තිරත්න සහ වෙඩි තැබූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබිණි. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනිණි.

වැරදි වසාගැනීමේ ක්‍රමය

පොලිසියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලෙස එවකට හැඳින්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සිද්ධිය වූ ගමන් කිව්වේ ඝාතනය කළ තරුණයාට නඩු දෙකක් ඇති බවයි. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් ඝාතනය කළ අවස්ථාවලදී පොලිසිය සිදුකරන හුරුපුරුදු ක්‍රමය ම මෙහිදී ද නීතිඥවරයෙකු ද වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුගමනය කළේය. 2012දී වැලිකඩ ද සිදු කළ සැලසුම් සහගත සමූහ ඝාතනය සාධාරණීකරණය කරන්නට ද ආණ්ඩුව කිව්වේ එහෙම කතාවකි. ඉන්පසු මෙවැනි ඝාතන කීයක් ද?
සමාජයෙන් ඊට ලැබුණු අනුබලයත්, සාපේක්ෂව මහේස්ත්‍රාත්වරුන් විසින් මේ පැහැදිලි අසත්‍යය ප්‍රමාණවත් පරිදි ප්‍රශ්න නොකිරීමත් නිසා එය දිගටම කරගෙන ආවේය.

සැලසුම්කරුවෝ ?

තෙල් බවුසරය ප්‍රමාද කිරීමත්, බස්නාහිර හිටපු මහ ඇමැති මහීපාල හේරත් සහ ඇමැති කනක හේරත්ලාගේ උසිගැන්වීමත් හරහා ප්‍රචණ්ඩ කෙරුණු විරෝධතාව පාලනය කරන්නට ටී – 56 ගිනි අවි හතරකින් වෙඩි තබා තිබිණි. කඳුළු ගෑස්වලින්, රබර් උණ්ඩවලින් නොනැවතී, ජනතාවගේ දණහිසින් ඉහළට වෙඩි තැබුවේය. ඒ අවම බලය බව පොලිසිය කිව්වේය. ආණ්ඩුව කිව්වේය. රඹුක්කන ත්‍රීරෝද රථයකට ගිනි තැබුවේ පොලිසියෙන් බව වීඩියෝ මගින් තහවුරු කෙරිණි. ඒ කියන්නේ මේ සැලසුමකි.

බීමට පිරිසිදු ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට එවකට බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනගේ මූලිකත්වයෙන් සිටි හමුදා භට පිරිස් යොදවා හතර අතේ වෙඩි තැබූ ආතාරයට ම, රඹුක්කනදී ද පොලිසිය හතර අතේ වෙඩි තබා තිබේ. ඒ අසල මාර්ගයේ ගමන් ගත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට නියමිත සිසුවාට වෙඩි වදින්නේ ඒ නිසා ය. පෙරදා සිට ම සිදුවීම සමග සම්බන්ධ වී සිටි රඹුක්කන පොලිසියේ නිලධාරීන් වෙඩි තැබීමට සම්බන්ධ නොවූ බව ප්‍රදේශවාසීහු පවසති. ඉන්පසු පස්වරුවේ පැමිණි කෑගල්ල පොලිසියේ කණ්ඩායම මේ සියල්ල සිදු කළ බව ඔවුහු කියති.

සැලසුමේ කොටස්

සිද්ධිය සිදු වන අතරතුර, ඉන්ධන බවුසරය අසලට ගිය කොළ පැහැති ටීෂර්ටයක් ඇඳගත් තරුණයෙකු පිළිබඳ වීඩියෝ දර්ශනවල පැහැදිලිව සඳහන් විය. ඔහු ඉන්පසු පොලිස් නිලධාරීන් සමග සමීපව සිටින ආකාරය ද පැහැදිලි ව පෙනෙන්නට තිබිණි. විරෝධතාවට අදාළ වීඩියෝ මගින් අනාවරණය වූ මේ තරුණයා ද පසුව පැහැරගෙන ගොස් තිබිණි. පොලිස් යුනිෆෝම් ඇඳගත් දෙදෙනෙකු සමග පැමිණි කණ්ඩායමක්, තමන් කවුද, මොනවටද, කොහෙටද යන කිසිදු කරුණක් නොදන්වා තරුණයා රැගෙන ගිය බව ඔහුගේ ඥාතීහු පැවසූහ.

මේ පිළිබඳව කළ විමසීම්වලදී රඹුක්කන පොලිසියත්, කෑගල්ල පොලිසියත් දිගටම කිව්වේ අපි දන්නෙ නෑ කියා ය. මේ තරුණයා යනු පොලිසිය ළඟින් ආශ්‍රය කරන්නෙකි. ඔහුගේ සහෝදරයන් ද ආරක්ෂක අංශවල බව පැවසේ. මේ අතර සිද්ධියට මැදිහත් වූ රඹුක්කන බාර සහකාර පොලිස් අධිකාරිවරයාගේ පදිංචිය ද ඒ අවට ය. ප්‍රදේශවාසීන් පවසන්නේ ඔහු විසින් විරෝධතාව සිදු වන ස්ථානයේ සිටි තම ගමේ පදිංචිකරුවන්ට වහාම එතැනින් ඉවත් වන ලෙසත්, පැය බාගයකින් පමණ තත්ත්වය බරපතළ වනු ඇති බවත් පැවසූ බවයි. ඒ කියන්නේ මෙය සැලසුම් සහගත ඝාතනයකි.

Related articles

‘මීවන ළමයෙකි හදවත’ – අනුරාධා නිල්මිණි

අපට සිටිනා කිවිඳියන් අතර ගැඹුරු හැදෑරීමකින් කවිය කෙරෙහි ආශක්ත වන කිවිඳියක ලෙස අනුරාධා නිල්මිණි කැපී පෙනෙයි. ඇගේ කාව්‍යා...

මහර රැඳවියන් ඝාතන නඩුව ඉවත් කරගැනීම : නීතිපතිගේ හදිසි තීන්දුව පිළිබඳ බරපතළ සැකයක් !

මහර බන්ධනාගාරයේ සිරකරුවන් 11 දෙනකු ඝාතනය කිරීමේ සිදුවීමත්, එය අපරාධයක් බවට කරුණු අනාවරණය වී ඇති නිසා ඊට වගකිවයුතු...

සීෂෙල්ස් නව නීතිපති ධුරයට ශ්‍රී ලාංකික නීතිඥයෙක් !

ශ්‍රී ලාංකික නීතිඥයකු වන වින්සන්ට් පෙරේරා සීෂෙල්ස් රාජ්‍යයේ නව නීතිපතිවරයා වශයෙන් දිවුරුම් දෙයි.අද (16) ඔහු එරට රාජ්‍ය මන්දිරයේදී...

‘ඉඳුදුන්න නැමුන තැන’ – උපුල් සේනාධිරිගේ

ජීවිතය කරනුයේ ඔහුගෙන් එකිනෙක පැහැර ගැනීමය. පළමුව එසේ පැහැරගන්නා ලද්දේ ඔහුගේ මසැසය. එවිට හේ සැරයටියද ගෙන ගමන් ඇරඹීය....