කසකාරයෙකි එක රැල්ලක හැදුණු මුවී, ඒ ගැන කියමි උඹ මියගිය දිනයෙ ලුවී

Share post:

මුල් මතකයෙන් ගියමුත් කාලයක් ගෙවී
සිද්ධිය පෙනෙනවා මට අද වගෙම මැවී
කසකාරයෙකි එක රැල්ලක හැදුණු මුවී
ඒ ගැන කියමි උඹ මියගිය දිනයෙ ලුවී

නමසිය අනුපහ මැද අපෙ කොලුමකමේ
ඕ.එල්. ලියා ගන්ධබ්බව ගෙවූණු සමේ
ඇග නලියනාසුළු පුවතක් දසත හැමේ
ඒකට නිරායාසව හිත ගතද නැමේ

වැඩිහිටියන්ට පමණයි යන කැටගරියේ
පික්චර් එකක් ගැන ලොකු රාවයකි ගියේ
එහි නම ඇගේ වෛරය යනුවෙනුත් තියේ
මේ ගැන හොයා බැලුවේ තරමකිනි බයේ

මම මේ කියන කාලේ අපි හැමතිස්සේ
පික්චර් බලන්නට සුපුරුදු ලෙස බැස්සේ
කාටත් අහුනොවෙන හොර පාරක් ඔස්සේ
නිව් දර්ශන එකට නම ගිය අකුරැස්සේ

එනතුරු ඇගේ වෛරය අකුරැස්ස වෙත
ඉවසීමක් ඉතිං අප හට තිබුණෙ නැත
ලැබ තොරතුරක් එය මාතර ටවුමෙ ඇත
ගියෙ එය බලන්නට මැදගෙන එහෙම දත

නිව් සිනමා එකේ තිබුණේ පිචර් එක
දිගු පෝලිමේ ඉදගෙන ඉවසමින් දුක
දන්නා කියන උන් ඇද්දැයි වුණත් සැක
රිංගුවෙ හෝල් එක ඇතුලට ටිකෙන් ටික

මිනිහා වැඩෙන් දැම්මයි හදවත් මොලවා
කාලේ අනුව කොලු අප ගත් හැටි අලවා
තාමත් හිතින් බැරි ලෙස ලන්නට ගලවා
මතකයි අදත් ඒ නිළියන්ගේ කලවා

දෙක තුන හතර ආවත් ඉන්පසු දිගට
බැරිවිය කිට්ටු වෙන්නට මුල් එක ළගට
බැස්සත් බොහෝ අය තරගෙට ඒ මගට
අඩුවිය සෙනග ටික ටික රැල්ලෙහි අගට

අඩනිරුවතින් නිළියන්ගේ රුව රැන්ඳී
කටවුට්වලින් පිරුණයි එක එක හන්දී
සමහරු ගෙව්වෙ මේවට දිවියෙන් වන්දී
මතකද ඇගේ වෛරයෙ රඟපෑ චන්දී

ගිනි සිළුවකි එකල තිරයෙහි දළු දමනා
මොහොතක වුණත් පිරිමින් සතුටෙහි දමනා
ආවත් ඉතිං පොඩි පොඩි සිතුවිලි නොමනා
දැන් නම් එහෙම නෑ රුව දුටු විට සුමනා

ලෙස්ටර් පතී එච්.ඩී.ලට ඇත බැතිය
එක එක පැට්න්වල නෙක උන්මය ගතිය
කැව්වා ලුවීලත් අපෙ සිනමා කිතිය
කළ වැඩ ටිකට වැන්ඩස්ට්‍රාටන් තුතිය

ප්‍රියන්ත කොඩිප්පිලි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...