පාස්කු විරෝධතාව තහනම් කරන්න – පොලිසිය : උපකල්පන මත ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න බෑ – මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත්

Share post:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් මියගිය පුද්ගලයන්ට සහ වින්දිතයන්ට සාධාරණය ඉටුකරන ලෙස හෙට (21) පැවැත්වීමට නියමිත විරෝධතාව තහනම් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා කටයුතු කළේය.

පොලිසියේ උපකල්පනය මත තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවහොත් එමගින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමට ඉඩ ඇති බව ද මෙහිදී වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

මෙම බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගිය සහ වින්දිතයන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා පවත්වන උද්ඝෝෂණය ප්‍රචණ්ඩකාරී වීමට හැකියාව ඇතැයි උපකල්පනය කරන නිසා එම උද්ඝෝෂණය තහනම් කරන ලෙස මීගමුව පොලිස් අධිකාරිවරුන් වන එරික් පෙරේරා, නාලක සේනාරත්න සහ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික උදයංග යන නිලධාරීන් විසින් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙම පැමිණීල්ල කැඳවනු ලැබිණි.

වින්දිතයන්ට සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ මූලිකත්වයෙන් හෙට (21) උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති බව පොලිසිය මෙහිදී  අධිකරණයට දැනුම් දුන්නේය. මුලදී ආගමික මුහුණුවරකින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණය සඳහා සමගි ජන බලවේගය සහ වෘත්තීය සමිති එකමුතුවක් එක්ව ඇති බවත්, එයින් මෙම උද්ඝෝෂණයට දේශපාලන මුහුණුවරක් ලැබී ඇති බවත් අධිකරණයට දැනුම් දුන් පොලිසිය, එම නිසා මෙම උද්ඝෝෂණය ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට පත්විය හැකි බව ද පැවසීය.

මෙම උද්ඝෝෂණය සඳහා යොදාගැනීමට නියමිත මීගමුව මහ නගර සභා ක්‍රීඩාංගණය විශාල ජනකායක් රැඳවීමට ඉඩ ඇති තැනක් නොවන නිසා ඉන් මහාමාර්ග අවහිර වී මහජන දේපොළවලට හානිවීමට ඉඩ ඇති බව පෙන්වා දුන් පොලිසිය, මහජනතාවගේ සාමකාමී ජීවිත ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 (01) යටතේ එම උද්ඝෝෂණය තහනම් කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස පොලිසිය මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 සහ 14 ව්‍යවස්ථා අනුව මහජනතාවට සාමකාමීව එක්රැස්වීමට හා අදහස් ප්‍රකාශ කිරීමට අයිතිවාසිකම් ලබා දී ඇති බව පොලිසියට පෙන්වා දුන්නේය. එසේ එක්රැස්වීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මහජනතාවට ලබා දී ඇති අයිතිය, පොලිසිය උපකල්පනය කරන සිද්ධීන් මත පිහිටා තහනම් කිරීමට අධිකරණයට හැකියාව නැති බවත්, එවැනි තහනම් නියෝගයක් ලබාදීම මහජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩකිරීමක් විය හැකි බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, එම උද්ඝෝෂණය තහනම් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ඉවත දැමීය.

උද්ඝෝෂණයේදී යම් ලෙසකින් සාමය කඩවන ආකාරයට හෝ ප්‍රචණ්ඩ ලෙස යමෙකු කටයුතු කරනු ලැබුවහොත් පොලිස් ආඥා පනත යටතේ ඊට එරෙහිව කටයුතු කිරීමේ බලය පොලිසියට ඇති බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...