පාස්කු විරෝධතාව තහනම් කරන්න – පොලිසිය : උපකල්පන මත ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න බෑ – මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත්

Share post:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් මියගිය පුද්ගලයන්ට සහ වින්දිතයන්ට සාධාරණය ඉටුකරන ලෙස හෙට (21) පැවැත්වීමට නියමිත විරෝධතාව තහනම් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා කටයුතු කළේය.

පොලිසියේ උපකල්පනය මත තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවහොත් එමගින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමට ඉඩ ඇති බව ද මෙහිදී වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

මෙම බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගිය සහ වින්දිතයන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා පවත්වන උද්ඝෝෂණය ප්‍රචණ්ඩකාරී වීමට හැකියාව ඇතැයි උපකල්පනය කරන නිසා එම උද්ඝෝෂණය තහනම් කරන ලෙස මීගමුව පොලිස් අධිකාරිවරුන් වන එරික් පෙරේරා, නාලක සේනාරත්න සහ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික උදයංග යන නිලධාරීන් විසින් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙම පැමිණීල්ල කැඳවනු ලැබිණි.

වින්දිතයන්ට සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ මූලිකත්වයෙන් හෙට (21) උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති බව පොලිසිය මෙහිදී  අධිකරණයට දැනුම් දුන්නේය. මුලදී ආගමික මුහුණුවරකින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණය සඳහා සමගි ජන බලවේගය සහ වෘත්තීය සමිති එකමුතුවක් එක්ව ඇති බවත්, එයින් මෙම උද්ඝෝෂණයට දේශපාලන මුහුණුවරක් ලැබී ඇති බවත් අධිකරණයට දැනුම් දුන් පොලිසිය, එම නිසා මෙම උද්ඝෝෂණය ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට පත්විය හැකි බව ද පැවසීය.

මෙම උද්ඝෝෂණය සඳහා යොදාගැනීමට නියමිත මීගමුව මහ නගර සභා ක්‍රීඩාංගණය විශාල ජනකායක් රැඳවීමට ඉඩ ඇති තැනක් නොවන නිසා ඉන් මහාමාර්ග අවහිර වී මහජන දේපොළවලට හානිවීමට ඉඩ ඇති බව පෙන්වා දුන් පොලිසිය, මහජනතාවගේ සාමකාමී ජීවිත ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 (01) යටතේ එම උද්ඝෝෂණය තහනම් කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස පොලිසිය මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 සහ 14 ව්‍යවස්ථා අනුව මහජනතාවට සාමකාමීව එක්රැස්වීමට හා අදහස් ප්‍රකාශ කිරීමට අයිතිවාසිකම් ලබා දී ඇති බව පොලිසියට පෙන්වා දුන්නේය. එසේ එක්රැස්වීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මහජනතාවට ලබා දී ඇති අයිතිය, පොලිසිය උපකල්පනය කරන සිද්ධීන් මත පිහිටා තහනම් කිරීමට අධිකරණයට හැකියාව නැති බවත්, එවැනි තහනම් නියෝගයක් ලබාදීම මහජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩකිරීමක් විය හැකි බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, එම උද්ඝෝෂණය තහනම් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ඉවත දැමීය.

උද්ඝෝෂණයේදී යම් ලෙසකින් සාමය කඩවන ආකාරයට හෝ ප්‍රචණ්ඩ ලෙස යමෙකු කටයුතු කරනු ලැබුවහොත් පොලිස් ආඥා පනත යටතේ ඊට එරෙහිව කටයුතු කිරීමේ බලය පොලිසියට ඇති බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...