එවැනි දුරක් යා හැක්කේ බොහිමියානුවෙකුටම පමණකි

Share post:

නිර් භීත වැඩක්….එක අතකට අහිංසක හා අවංක වෑයමක්.

තමාම ප්‍රබන්ධ විෂය බවට පත්කරගනිමින් ලියා ඇති විෂ්ණු වාසුගේ රස්තියාදු මතක සංචිතය ‘සිම්පල් සයිමන්’ නම් වේ. තමාගේම ජීවිත සත්‍යය ප්‍රබන්ධයකට ආසන්න තරම් ඇතැම් විට ඊටත් වඩා රමණීය වියමනකි එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘පිං ඇති වරමක් දෙන්නේ’ ස්ව චරිතාපදාන කෘතිය. තමාම තමාගෙන් බැහැරට ගෙන ගෙවී ගිය ජීවිතයේ හොඳ නරක විමසීමට සැලකිය යුතු ආත්ම ශක්තියක් මෙන්ම නිර් භීත බවක් කතෘකයාට තිබිය යුතුය. කමලා දාස් සිය ස්ව චරිතාපදානයේ සිය සැමියාට අමතරව පෙම් කළ අන් පිරිමි ගැන ලියා ඇත. ඒ නිසා කොංග්‍රස් පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ සිය පුතණුවන්ට බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුවූ බව කියනු ලැබේ. එහෙත් ඇය ඒ හේතුවෙන් තමා ලියූ දේවල් ඉවත් කර ගත්තේවත් පාඨකයින්ගෙන් සමාව ඉල්ලා සිටියේවත් නැත. පසු කාලයක ඇය ස්වකීය හින්දු ආගම වෙනුවට සුෆී දහම වැළඳ ගත් අතර ඊටත් ටික කලකට පසු එයද අත්හැර දැමුවාය.

සරච්චන්ද්‍රයන් හා කමලා දාස් සිහිපත් වුණේ සිම්පල් සයිමන් ලියන විෂ්ණුගේ නිර්භීත බවට තව උදාහරණ ඇවැසි වූ නිසාය. අප (කපිල , චූලා, විෂ්ණු හා මම) 1981-1983 පමණ කාලයේ සාමුහිකව නිර්මාණ ජීවිතයකට ආරම්භක පියවරයන් තබන සමයේමත් ඔහුගේ අභිලාෂයන් ටිකක් අමුතු ඒවා විය. ඒ අමුතු මිනිහා ඇල්බෙයා කැමූගේ අමුතු මිනිහා මෙන් පිටස්තරයෙකු නොවී සාමාන්‍ය මිනිසෙකු සැරි නොසරින තරම් කලාපවල සැරි සරමින් අපූර්ව අත්දැකීම් හරි හම්බ කරගත් බව අපි දැන සිටියෙමු. එහෙත් ඒවායේ ප්‍රමාණය හා ආකාරය දැනගන්නේ සිම්පල් සයිමන් කෘතිය මගිනි. බොහිමියානු ජීවිතයක් ගතකරන්නට අපටත් ඇත්නම් යන්න අප වැනි බොහෝ දෙනෙකුට මතුවෙන සිතුවිල්ලකි. එහෙත් සම්ප්‍රදායික ජීවිතයක් ගතකරමින් දෙවන ජීවිතයක් ලෙස බොහීමියානු ජීවිතයක් ගතකළ නොහැකිය. ඒ තෝරා ගැනීම අරබයා අපට වන්දි ගෙවන්නට සිදුවන්නේ අපගේ සම්ප්‍රදායික ජීවිතයෙනි.

විෂ්ණු එ් වන්දිය ගෙවූ කෙනෙකි. සම්ප්‍රදායට යට නොවී සිය ආත්මය ඉල්ලා සිටින දිවිපෙවත තෝරාගත් ඔහු එහි ජයකෙහෙළි නැංවූ අයුරු හා ඉන් විඳි අතීත සුවය හා වර්තමාන සුවය අපට මෙම කෘතිය මගින් විස්තර කරයි.

කිසිදු භාෂා නියරක නොපිහිටා හැඟීම්වල ඇණවුම අනුව සකස් වූ භාෂාවක් ඔහු නිෂ්පාදනය කරගෙන ඇත. එය ඉතා මනරම්ය. මෙම කෘතියේ බරට එම රමණීය භාෂා විලාසය එකතුකර ඇති ප්‍රමාණය සුළුපටු නොවේ. විෂ්ණු මෙම කෘතියෙන් උත්තර භාරතීය සංගීතය ‘සියල්ලම’ යයි සිතන සමාජයකට කර්ණාටක සංගීතයේ රුව ගුණ පෙන්වා ඒ කලා නිධානයේ වපසරිය හා ගැඹුර පෙන්වා දෙයි. එය අපටත් සහභාගි විය හැකි සහානුභූති අත්දැකීමක් බවට පත්කරන්නේ සිය මනරම් භාෂාව ඇසුරින් ගොඩනගන විස්තර රටාව මගිනි.

මිනිසුන්ගේ ලෙන්ගතුකම්වල දිශානතීන් විවිධාකාරය. ඒ විවිධාකාරය පිළිගැනීම දියුණුවේ පමණක් නොව ශිෂ්ටත්වයේ අංගයකි. ඒ ලෙන්ගතුකම් ඔහු නඩත්තු කරන ජීවිතයේ ආත්මය වන්නාසේම අරුතද එයම වන්නේය. ඒ බව තමාම උදාහරණකොට විෂ්ණු සමාජයට පෙන්වයි.

අපිද සාපේක්ෂ වශයෙන් අභිලාෂ ඔස්සේ ජීවිතයේ දුර ගමන් ගිය උදවිය වෙමු. එහෙත් ඒ සැතපුම් ගනනිණි. එහෙත් විෂ්ණු සිය අභිලාෂ ඔස්සේ ගිය දුර මැනිය හැක්කේ යොදුන් ගණනිනි. එවැනි දුරක් යා හැක්කේ බොහිමියානුවෙකුටම පමණකි.

චන්ද්‍රරත්න බණ්ඩාර

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...