“අමාරු කාලවල අද්විතීය දේවල් බිහිවනවා!” – ප්‍රභාත් විතානගේ

Share post:

‘සෝබනකාරයා’ නම්, ප්‍රභාත් විතානගේ ගේ කුළුඳුල් නවකතාව මුද්‍රණද්වාරයෙන් එළි දකින්නේ මීට මාස කීපයකට පෙර ය. මේ දිනවල එය පිළිබඳ සහෘද සංවාදයක් සූදානම් වෙමින් පවතියි. මතු දැක්වෙන්නේ ඒ නිමිති කරගෙන අප ප්‍රභාත් සමග සිදු කළ සංක්‍ෂිප්ත සංවාදයකි.

කාලයක් තිස්සෙ කවිය සහ කෙටිකතාව අභ්‍යාස කළ ඔබ පළමු පොත විදියට නවකතාවකින් අපි ඉදිරියට එනවා. කොහොමද ඒ සඳහා පිටිය සකස් වුණේ?

මට සාහිත්‍ය ගැන න්‍යායිකව හෝ පිළිවෙලකට කරන ලද හැදෑරීමක් නැහැ. ඉතින් කොහොම හරි ෆේස්බුක් නිසා මට ලියන්න අවස්ථාවක් ලැබෙනවා, ඒ වගේම ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර සෑහෙන ඉක්මන්. ඒ කාලයේ මේ ෆේස්බුක් සාහිත්‍යය පිබිදීගෙන ආව කාලය. අපිත් ෆේස්බුක් එකේ සාහිත්‍යය කණ්ඩායම්වල සැරිසරන්න පටන් ගන්නවා. මම ප්‍රධානව අවධානය යොමු කරන්නෙ කෙටිකතා ගැන. මේ අතර මගෙ එක් කෙටිකතාවක් කපිල කුමාර කාලිංග මහතා විසින් ලක්බිමේ පළකරනවා. ‘මටත් පුලුවන්’ කියල විශ්වාසය එන්නෙ ඒකෙන්. මේ අතර මට අනිල් හේරත් විසින් දැනුම් දෙනවා පසුගිය අර්බුද කාලයේ සයුර ප්‍රකාශකයින් නවකතාවක් සොයමින් ඉන්න බව. ‘සෝබනකාරයා’ නම් නවකතාව බිහිවෙන්නෙ එහෙමයි.

නවකතාව ගැන ඔබේ කියැවීම මොකද්ද?

මම හිතන්නෙ නවකතාව කියන්නෙ පරිකල්පිත කතාවක්. මේක සිද්ධි සහ චරිත වල ගැටීම් එක්ක ඇදි ඇදී යනවා. නමුත් සමහරු නවකතාවක් වෙන්නනන් ඒ සඳහා අවශ්‍ය වචන ගණන හෝ පිටු ගණනත් අර්ථ දක්වනවා. මට ඒ වගේ සංඛ්‍යාත්මක අගයන් එක්ක එකඟ වෙන්න අමාරුයි, මොකද මම වඩාත් සැලකිලිමත් වෙන්නෙ ප්‍රමාණයට වඩා අන්තර්ගතයේ ප්‍රභලත්වය ගැන.

‘සෝබනකාරයා’ නිකුත් වෙලා දැන් මාස කීපයක් ගත වුණා. මෙතෙක් ලැබුණු විචාර, ප්‍රතිචාර කොහොමද සහ ඒවා ඔබ තුළ ඇති කළේ මොන වගේ උත්තේජනයක්ද?

දැනට ලැබුණු ප්‍රතිචාර ගැන මම තෘප්තිමත්. විචාර කිහිපයක් ෆේස්බුක් සහ වෙබ් පිටුවල පළවුණා. ඒව ඉතාමත් ධනාත්මක විචාර. අඩුපාඩු ගැනත් විවිධ අදහස් පළවුණා. නමුත් තවමත් මට මේක මීට වඩා හොඳට කරන්න තිබුණා හෝ යම් දේවල් වෙනස් කරන්න තිබුණා කියල පසුතැවීමක් නැහැ.

‘සෝබනකාරයා’ ටිකක් ‘හදිස්සිකාරයෙක්’ වෙලා කියල කවුරුහරි ඔබට කිව්වොත් ඔබ ඒකට දක්වන ප්‍රතිචාරය මොකද්ද?

මම හිතන්නේ පොත වෙනුවෙන් පෙනී ඉන්න වෙන අවස්ථා වල ලේඛකයා පරිස්සම් විය යුතු බවයි. ඒ නිසා මේකට මම කාංචනා අමිලානි විසින් ලියූ විචාරයේ කොටස් දෙකක් උපුටා දක්වමින් උත්තරය දෙන්නම්.

“…ප්‍රභාත් තමන්ගෙ ප්‍රබන්ධය ඇතුළේ චැප්ටර්ස් කෙටි කරලා ලියන්න ගත්ත තීරණයට මම කැමතියි. ඒක හදිස්සියක් වගේ කෙනෙකුට දැනෙන්න පුළුවන් අතරෙම, ඒක අත්‍යවශ්‍ය හදිස්සියක් විදිහට දකින්න මම ආසයි…

…ඉතාම දීර්ඝ විස්තර කිරීමක් බලාපොරොත්තු වෙන හැම ජවනිකාවම ලේඛකයා කරන්නෙ ඒ අවස්ථාව ඉතාම කෙටියෙන් සහ ලුහුඬුවෙන් විස්තර කිරීමයි. මේ හිතුවක්කාර වැඩේ බැණුම් අහන සුළු මුත් ආකර්ශනීයයි. ඉල්ලා සිටින අවස්ථාව නොදී ඔහුට අවශ්‍ය ප්‍රමාණය ලබා දීමේ තීරණය නිර්භීතයි; නමුත් ඕනෑම වෙලාවක කෙළවෙලා යන සුළුයි…”

පොත ඇතුළෙ ඔබ අත්හදා බලන ආකෘතිය අපූර්වත්වයක් ජනිත කරනවා. ඒක මොන විදියෙ අභියෝගයක් සහ අත්දැකීමක් වුණාද?

මට මුලින්ම අවශ්‍ය වුණේ පිටු සීයකට කිට්ටු ගණනකින් කතාවකට කොයි තරම් දුරක් යන්න පුලුවන් වෙයිද කියන එක බලන්න. මේ ආකෘතිය හැදෙන්නෙත් පොතේ කතාව විසින් එය දිගහැරීමට සුදුසුම මාධ්‍ය ලෙස එම වෙනස තෝරාගැනිම නිසා බවයි මගෙ අදහස. කොහොම වුණත් එකිනෙකට වෙනස් කාලයන්, පරිසර සංස්කෘති කිහිපයක් මාරුවෙන් මාරුවට විකාශනය වන නිසා ඒ අභියෝගයෙන් ගොඩ යන්න භාෂාව එම සන්දර්භයන්ට අනුව ඒවාට අනන්‍ය වන පරිදි වෙනස් කරමින් භාවිතා කළා. ඒ වගේම එහෙම පරිච්ඡේදයෙන් ඡේදයට එම වෙනස නිසා පාඨකයාට වෙහෙසක් හෝ අමතර බරක් නොදැනෙන්න ඒ කොටස් සම්බන්ධතා හැකිතාක් සුමට කලා.

වෘත්තිමය වශයෙන් ඔබේ ‘සැරිසරන ජීවිතය’ ඔබේ ලිවීමට එල්ල කරන්නෙ මොන වගේ බලපෑමක්ද?

ඔබ කියන්නෙ මගෙ නාවික රැකියාව සම්බන්ධයෙන්. ඇත්තෙන්ම රැකියාව මට ලොකු රුකුලක්. මොකද මම මාස පහක් පමණ නිවාඩුවක් ගන්නවා, මාස හයකට වැඩට ගියාට පස්සෙ. මේ නිසා මට කාලවේලාව ගැන ප්‍රශ්න නෑ. හැබැයි සෝබනකාරයා ලියැවෙන්නෙ මම නැවේ ඉන්නකොට. ඒ වෙලාවෙ මට ලොකු සහයක් දුන්න මගෙ බිරිඳ සහ අනිල් හේරත්. වෙළඳ නාවික කලාපය ගැනත් යමක් ලියන්න අදහසක් තියනව අපි බලමු ඉදිරියේ.

මේ නිශ්චිත මොහොතෙ ඔබේ පරම්පරාවත් ඇතුළුව සමස්ථ ලියන, කියවන අවකාශය ගැන ඔබේ අදහස කොහොමද?

මේ මොහොත ඇත්තෙන්ම රටේ ගොඩක් ක්ෂේත්‍ර වගේම සාහිත්‍යයටත් හොඳ මොහොතක් නෙවෙයි. නමුත් අමාරු කාලවල අද්විතීය දේවල් බිහිවනවා, ඒ කාලය ගෙවාගැනීමට මිනිසුන්ට රුකුලක් දෙන. ඒ විභවය මේ ලියන කියවන පරපුරට තියනවා කියල මම විශ්වාස කරනවා.

‘සෝබනකාරයා’ ගැන සහෘද සංවාදයක් පැවැත්වෙන බව දැනගන්න ලැබුණා. වැඩේ වෙන්නෙ කොහොමද?

මේ කියවීම සංවිධානය කරන්නෙ මගෙ මිතුරන් වන කල්පනා ඇම්බ්‍රෝස්, අනිල් හේරත් සහ රංගන ප්‍රසාද් ආරියදාස. පොත ගැන මෙහෙදි කතාකරනවා විමල් කැටිපෙආරච්චි, කල්පනා ඇම්බ්‍රෝස්, සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්, රශ්මික මණ්ඩාවල, විවිමරී වැන්ඩපූට්න්, ඩිල්ශානි චතුරිකා දාබරේ. මේ කථිකයින්ට මගේ ස්තූතිය පුද කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම සහභාගි වන ඕනෙම කෙනෙක්ට මේ සංවාදයට දිගටම අරන් යන්න පුලුවන් ඔවුන්ගේ අදහස් එක්කම. වැඩේ පැවැත්වෙන දිනය මේ මාසයේ (අප්‍රේල්) විසිවන බ්‍රහස්පතින්දා. වෙලාව හවස 4.00. තැන ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානය, බොරැල්ල. සියලුම දෙනාට මම ආරාධනා කරනවා.

සංවාදය – කසුන් සමරතුංග

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...