පසුගිය මාර්තු 26 සිට 28 දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වුණු ෆොස්වාල් හෙවත් සාර්ක් ලේඛක සහ සාහිත්‍ය පදනමේ (FOSWAL – Foundation of SAARC Writers And Literature) 63 වැනි සැසිවාරය පිළිබඳව සෑහෙන තරමේ කතාබහක් ශ්‍රී ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ඇති නොවීම පුදුමයට කරුණකි. රාජ්‍ය අනුග්‍රහය නොමැතිව වුවද මෙවරත් ශ්‍රී ලංකාවෙන් ලේඛක ලේඛිකා පිරිසක් ෆොස්වාල් සාහිත්‍ය උළෙලට සහභාගී වූහ. අප රට නියෝජනය කරමින් ඊට සහභාගී වූ දෙදෙනෙකු වන රශ්මික මණ්ඩාවල සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ෆොස්වාල් සම්බන්ධීකාරක කාංචනා ප්‍රියකාන්ත සමඟ කළ සාකච්ඡාවකි මේ.
රශ්මික, මොකක්ද මේ ෆොස්වාල් කියන්නේ?
එයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ප්‍රකට, විශිෂ්ට ඉන්දියානු ලේඛකයකු වන කුෂ්වන්ත් සිං මෙහි මූලිකත්වය දරමින් කටයුතු කළ අයෙක්. කුෂ්වන්ත් සිං සහ අජීත් කවුර් අවුරුදු 35ක පමණ සිට මෙහි සංවිධාන කටයුතු සිදුකළා. 2014දී කුෂ්වන්ත් සිං මියයාමෙන් පසු, වර්තමානයේ අජීත් කවුර් තමයි මේ සමුළුව පැවැත්වීමේ සියළු කටයුතුවල ප්‍රධානත්වය දරන්නේ. දැනට 88 හැවිරිදිව සිටින අජීත් කවුර්ට මේ වැඩකටයුතුවලට සහාය වන්නේ ඉන්දියාවේ ජනප්‍රිය චිත්‍ර ශිල්පිනියක වන ඇගේ දියණිය අර්පනා කවුර්. වියපත්ව සිටියත් අජීත් කවුර් මහත්මිය මේ වැඩකටයුතුවලට සම්බන්ධ වන්නේ අප්‍රතිහත ධෛර්යයකින්. මෑතකදී ඇසේ ශල්‍යකර්මයකට ලක්වී සිටියදී වුවත් සමුළුවේ සෑම සැසිවාරයකටම ඈ සහභාගී වුණා, කතාකළ හැම කෙනෙකුගේම අදහස්වලට සවන් දුන්නා. තරුණ අපට පවා ඇගේ ධෛර්යය අදහාගන්න බැහැ. කුෂ්වන්ත් සිං සහ අජීත් කවුර් දෙදෙනාම ඉන්දියාවේ ඉහළම රාජ්‍ය ගෞරවය වන පද්මභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ අයයි.
දේශපාලන අර්බුද නිසා පාකිස්ථාන සහ ඇෆ්ගනිස්ථාන ලේඛක ලේඛිකාවන්ට මේ සමුළුවට සහභාගී වීමේ අවස්ථාව මේ වනවිට අහිමිවෙලා තිබීම කනගාටුවට කරුණක්. වෙනදාට මෙය සාර්ක් සාහිත්‍ය සමුළුව විදියට හැඳින්වුවත් දැන් එහෙම හඳුන්වන්න බැරිවෙලා තියෙන්නේ ඒ නිසයි. මේ වතාවෙත්, මුලදී බිම්ස්ටෙක් (BIMSTEC) සාහිත්‍ය උළෙල හැටියට නම්කර තිබුණත්, දේශපාලන සහ ගෝලීය ප්‍රශ්නවල බලපෑම නිසා පසුව එයද වෙනස් කරගන්න සිදු වී තිබෙනවා.
ෆොස්වාල් සමුළුවට මීට පෙර ශ්‍රී ලංකාවෙන් බොහෝ ප්‍රවීණයන් සහභාගී වී තිබෙනවා. 1990 ගණන්වල මෙහි සංවිධාන කටයුතු තිස්ස අබේසේකර මහතා විසින් ඉටුකර තිබෙනවා. මහාචාර්යවරුන් වන අර්ජුන පරාක්‍රම සහ කපිල ගුණසේකර මහත්වරු මීට දායකත්වය ලබාදී තිබෙනවා. 2000 වර්ෂයේදී සයිමන් නවගත්තේගම පවා ෆොස්වාල් සමුළුවට සහභාගී වී තිබුණා.
ෆොස්වාල් සාහිත්‍ය උළෙල සාර්ක් කලාපීය සාහිත්‍යය කෙරෙහි වැදගත් වන්නේ මොන විදියටද?
කලාපය තුළ ජීවත්වන ලේඛක ලේඛිකාවන්ට එකිනෙකා හඳුනාගන්න අවස්ථාවක් ලැබීම වැදගත්. ඒක ඔවුන්ගේ පොතක් කියවීමෙන් ලබන්න බෑ. විවිධ රටවල ලේඛක ලේඛිකාවන් ලෝකය දකින්නේ මොන විදියටද කියා ඔවුන්ගේ නිර්මාණ තුළින් අත්විඳින්න සජීවී අවස්ථාවක් ලැබෙනවා. එය ඔවුන්ගේ හඬින්ම අහන්න ලැබෙනවා විතරක් නෙවෙයි, අවශ්‍ය නම් වැඩිදුරටත් ඔවුන් සමග ඒවා ගැන සාකච්ඡාවක යෙදෙන්න වුණත් පුළුවන්. ඒ වගේම, විවිධ රටවල වර්තමාන සාහිත්‍යයේ නව ප්‍රවණතා, ඒ අය සාහිත්‍යය හැටියට දකින්නේ මොනවගේ දේවල්ද, ලෝක මට්ටමේ සාහිත්‍යය එක්ක ඒ රටවල් ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක අවබෝධ කරගන්නත් අවස්ථාවක් ලැබෙනවා. සාහිත්‍ය සහ සංස්කෘතික හුවමාරුවක් කරගන්න ලැබෙන අවස්ථාවත් ඉතා වැදගත්. ඒ අයගේ සාහිත්‍යය තියෙන්නේ මොනවගේ මට්ටමකද, ඔවුන් අපේ සාහිත්‍යය මොන මට්ටමින් ඇසුරු කර තිබෙනවාද කියන දේ අපට තේරුම්ගන්න පුළුවන් වුණා. සොනාලි දැරණියගලගේ Wave, ෂෙහාන් කරුණාතිලකගේ Seven Moons of Maali Almeida, සහ Chinaman කියවපු භූතාන සහ නේපාල ලේඛකයන් මට හමුවුණා.
ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමුළුවක් වන එයට එරට ප්‍රාන්ත ගණනාවකින්, විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ කේරළ, තමිල්නාඩු වගේ දුර ප්‍රාන්තවලින් පවා විද්වතුන් සහභාගී වී සිටියා. තමන්ගේ රටෙන් කණ්ඩාමක් ඊට සහභාගී වන බව බංග්ලාදේශය, නේපාලය, භූතානය වගේ සෑම රටකම පුවත්පත්වල පළවී තිබුණා. ඒත් අවාසනාවකට ලංකාවේ අපි එවැන්නක් දැක්කේ නෑ.
ෆොස්වාල් සාහිත්‍ය උළෙලට සහභාගි වෙන්න රශ්මිකට අවස්ථාව ලැබුණේ කොහොමද?
මුලින්ම මට ආරාධනය ලැබුණේ ගිය අවුරුද්දේ. මේ කාර්යය සම්බන්ධීකරණය කරන්න ලංකාවේ කීපදෙනෙක් තෝරාගෙන ඉන්නවා. ඒ අතරින් ප්‍රධාන සම්බන්ධීකාරක හැටියට කටයුතු කරන්නේ කාංචනා ප්‍රියකාන්ත. ඇය මා පිළිබඳ විස්තරයකුත් එක්ක මගේ ඊමේල් ලිපිනය ඔවුන්ට යවා තිබුණා. ඒ අනුව සංවිධායක කමිටුවෙන් ඊමේල් මගින් මට ඇරයුමක් ලැබුණා. කොහොම වුණත් කොවිඩ්-19 තත්වය සමනය නොවුණ නිසා එය පැවැත්වුණේ මාර්ගගත ක්‍රමයටයි. අප වරක් සහභාගී වුණා නම්, ඊට පසුවත් දිගටම ඔවුන්ගෙන් ආරාධනය ලැබෙන එක සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක්.
කාංචනා, ඔබ ෆොස්වාල් සාහිත්‍ය සමුළුවට සහභාගී වෙන්න පටන්ගත්තේ කොහොමද?
මම මුලින්ම සහභාගී වුණේ 2017 දී ඉන්දියාවේ ජායිපූර්වල පැවැත්වුණු වැඩසටහනට. කෞශල්‍ය කුමාරසිංහ හරහා තමයි මා සම්බන්ධ වුණේ. ලේඛක ලේඛිකාවන් විදියට තුන්දෙනෙක් සහ සංස්කෘතික අමාත්‍යාංශයෙන් පිරිසක් ඊට සහභාගී වෙලා හිටියා. අවුරුද්දකට දෙවතාවක් පැවැත්වෙන මේ උත්සවයේ එකක් කවි උළෙලක් හැටියටත් අනික පොදු සාහිත්‍ය උළෙලක් හැටියටත් තමයි සංවිධානය වෙන්නේ. මා 2018 දී සහභාගී වුණ උත්සවය හැඳින්වුණේ සාර්ක් සාහිත්‍ය උළෙල හැටියටයි. මෙහිදී අපට අපේ කෙටිකතා, කවි, නවකතාවකින් තෝරාගත් කොටසක්, අපි කැමති වෙනත් පොතක කොටසක්, නැතිනම් පත්‍රිකාවක් වගේ ඕනෑම දෙයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ කාලේ ඇෆ්ගනිස්ථානයත් සහභාගි වුණා. ඒත් ඔවුන් නැවත වරක් තලේබාන්ලා යටතට පත්වුණාට පස්සේ මේ අවුරුද්දේ සහභාගී වුණේ නැහැ. 2019 මට සහභාගී වෙන්න ලැබුණේ නෑ. 2020 ඉඳලා 2022 දක්වාම කොවිඩ් නිසා මාර්ගගත ක්‍රමයට තමයි සැසිවාර සියල්ලම පැවැත්වුවේ. අවුරුදු 3කට පස්සේ මේ අවුරුද්දේ තමයි ෆොස්වාල් උළෙල භෞතිකව පැවැත්වුවේ.
එහිදී කාංචනා සම්මානයට පාත්‍ර වුණා. ඒ ගැන යමක් කියනවා නම්…
ෆොස්වාල් උළෙල ඇතැම් අවුරුදුවලදී හැම රටකින්ම එක් අයෙක් තෝරා සම්මානයක් ප්‍රදානය කරනවා. සමහරවිට සහභාගී වූවන් හැමදෙනාම අතරින් එක්කෙනෙක් තෝරා සම්මානයක් දෙනවා. එය වාර්ෂිකව සිදුවන නිත්‍ය ස්වරූපයක දෙයක් නෙවෙයි. මේ අවුරුද්දේ මටත් කෞෂල්‍ය කුමාරසිංහටත් ලැබුණා. මට මතක විදියට, මීට පෙර දයා දිසානායක, තිස්ස අබේසේකර, විවිමරී වැන්ඩර්පූටන් වගේ අයට මේ සම්මානය ලැබී තිබෙනවා.
කාංචනා ප්‍රියකාන්ත
ඔබත් ඇතුළුව මේ සමුළුවට සහභාගී වූ පිරිස ලංකාවෙන් යමක් එතැනට අරගෙන ගියාද?
ඔව්. ලංකාවෙන් සහභාගී වුණ ලේඛිකාවක සහ මාධ්‍යවේදිනියක වන අරුණි කළුපහන ඇගේ ‘රස්තියාදුකාර සින්ඩරෙල්ලා’ නැමැති පොතේ කොටසක ඉංග්‍රීසි පරිවර්තනයක් ඉදිරිපත් කළා. ඊට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. නවක කිවිඳියක මෙන්ම ලයිසියම් විද්‍යාලයේ ගුරුවරියක වන නෙත්මි යශෝධා ඇගේ The Unknown Wanderer කාව්‍ය සංග්‍රහයෙන් කවි තුනක් ඉදිරිපත් කළා. කවියකු වන නිශාන්ත ප්‍රනාන්දුත් ඔහුගේ ‘නුඹ සුළං රැල්ලක්ව’ කාව්‍ය සංග්‍රහයෙන් ඉංග්‍රීසියට පරිවර්තිත කවි තුනක් ඉදිරිපත් කළා. මම කෙටිකතාවක් ඉදිරිපත් කළා. කෞශල්‍ය කුමාරසිංහ ඔහුගේ ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ කෘතියේ තෝරාගත් කොටසක ඉංග්‍රීසි පරිවර්තනයක් ඉදිරිපත් කළා. දිල්ලි විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින යාපනයේ පාක්‍යනාදන් අකිලන් කවියා ඔහුගේ කවි කිහිපයක් ඉදිරිපත් කළා. ඊළඟට, දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හදාරණ බලංගොඩ ප්‍රදේශයේ අරුල්නේසන් කියන තරුණයා – ඔහුත් කවියෙක් – ඉතා දීර්ඝ කවියක් ඉදිරිපත් කළා වතුකරය සම්බන්ධව. රශ්මික පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ සියල්ලම පාහේ ෆොස්වාල් සමුළුවේදී හොඳ ඇගයීමකට ලක් වුණා.
ෆොස්වාල් උළෙලට කාංචනා කළ ඉදිරිපත්කිරීම ගැන යමක් කියනවා නම්…
ඒක ගැහැනියකගේ මනෝභාවයක් පිළිබඳ විනාඩි 15කින් කියවන්න පුළුවන් කෙටිකතාවක්. ඒ ඉදිරිපත්කිරීම සහ අන්තර්ගතය සම්බන්ධයෙන් සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබුණා.
රශ්මික, ඔබේ ඉදිරිපත්කිරීම මොන විදියේ එකක්ද?
එය, ‘සිංහල සාහිත්‍යය තුළ ජීවවාස විචාරය පිළිබඳ හැඳින්වීමක්’ කියන පර්යේෂණ පත්‍රිකාවක්. ඊට මා මූලික කරගත්තේ මංජුල වෙඩිවර්ධන බත්තලංගුණ්ඩුව නවකතාවේදී පරිසරය රෝමාන්තිකකරණය නොකර, එය අපත් සමග එකට සම්බන්ධවන තවත් මහා ජීවියකු හැටියට ඉදිරිපත් කරන ආකාරයයි. හොඳ ප්‍රතිචාර ලැබුණා. නේපාලයේ කත්මණ්ඩු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු සහ ‘ගෝර්කා ටයිම්ස්’ සාහිත්‍ය සඟරාවේ හිටපු සංස්කාරක වන මහේෂ් පෞද්යාර් මේ ඉදිරිපත්කිරීම ගැන මා සමග දීර්ඝව සාකච්ඡා කළා. කලාපයේ බොහෝ ලේඛකයන්ට තවමත් ජීවවාස විචාරය සහ ජීවවාස නවකතාකරණය ගැන ඇති අවබෝධය මඳ බවත්, පරිසරය රෝමාන්තිකකරණයෙන් ඉදිරිපත් කරනවා විනා, එය නිර්මාණය තුළ ක්‍රියාකාරී ජීවියකු බවට පත් කරන්නේ නැතිබවත් ඔහු කීවා. එවැනි සැසිවලදී පවා ඉදිරිපත් කෙරෙන්නේ යල්පැන ගිය පරිසර රෝමාන්තිකකරණ නිර්මාණ බවත් ඔහු පළ කළ අදහසක්. මගේ පත්‍රිකාවේ ඉදිරිපත් වුණ ‘මිනිසා සහ පරිසරය එකිනෙකින් වෙන් කළ නොහැකිය’ කියන කාරණය ගැන බංග්ලාදේශයෙන් පැමිණි මහාචාර්යවරයකු වන කම්බරූල් හසන් කවියාත් මා සමග දීර්ඝ වශයෙන් කතා කළා.
කාංචනා, ඉදිරි ෆොස්වාල් සාහිත්‍ය උළෙලකට සහභාගී වෙන්න බලාපොරොත්තු වන ලේඛකයකුට වැදගත් විය හැකි යමක් ඔබට කිව හැකිද?
ඇත්තටම ෆොස්වාල් උළෙලට යන්න පුළුවන් කවි, කෙටිකතා, නවකතා ලියන ලේඛකයන්ට විතරක් නෙවෙයි. පුවත්පත් විශේෂාංග රචකයන්, නාට්‍ය හෝ වෙනත් වැඩසටහන්වල පිටපත් රචකයන්, මුද්‍රිත මාධ්‍යවල මාධ්‍යවේදීන් වගේ අයටත්, ඇකඩමික ප්‍රජාවටත් – පොත් පළ කරලා තිබුණත් නැතත් – සහභාගී වෙන්න පුළුවන්. තමන් ලියන භාෂාව කොහෙත්ම අදාල නැහැ. ලංකාවේ ප්‍රධාන සම්බන්ධීකාරක හැටියට මට පුළුවන් එහි සංවිධායකයන් අනුමත කරන පුද්ගල සංඛ්‍යාවක් රැගෙන යන්න. ඊට අමතරව, ෆොස්වාල් සංවිධායකයන්ගෙන් කෙලින්ම ඇරයුම් ලබන අය සිටිනවා. ඒ කවුරු වුණත් තමන්ගේ ගුවන් ගමන් ගාස්තු දැරිය යුතුයි. උළෙල පැවැත්වෙන කාලසීමාවේදී නවාතැන්, ආහාරපාන ආදී වියදම් ෆොස්වාල් උළෙල විසින් දරණු ලබනවා. මම නිතරම උත්සාහ කරන්නේ කලින් වතාවක නොගිය අළුත් කෙනෙක් මට නම්කළ හැකි සීමිත සංඛ්‍යාවට ඇතුළත් කරන්නයි.