වරදක් කර නැතත් හිරේ යන්න ලෑස්තිවෙන්න : නව ත්‍රස්ත විරෝධී පනතෙන් මහේස්ත්‍රාත්වරුන්ගේ තීරණාත්මක බලතල කපාදමයි !

Share post:

නව ත්‍රස්ත විරෝධී පනතෙන් මහේස්ත්‍රාත්වරුන් සතු බලතල පවා අහිමි කෙරෙන බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු අවධාරණය කරති.

මේ කෙටුම්පතේ සඳහන් ආකාරයට වරදක් නොකළ පුද්ගලයෙකු වුවද නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ අනුමැතිය යටතේ රඳවාගැනීමට හැකියාව ලැබේ. මීට පෙර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සැකකරුවෙකු රඳවා තබා ගත හැක්කේ ජනාධිපතිවරයාගේ, ආරක්ෂක ඇමතිවරයාගේ අනුමැතියෙනි.

කෙටුම්පත මගින් මහේස්ත්‍රාත්වරුන්ගේ බලතල අහිමි කිරීම පිළිබඳව අදහස් දක්වමින් නීතිඥ සාරංග වාදසිංහ මෙසේ පවසයි.

‘1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රබලතම වගන්තිය ලෙස මා විශ්වාස කරන්නේ 115 වගන්තිය යි. මේ වගන්තියට අනුව සැකකරුවෙකු ඕනෑම අවස්ථාවක නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය ලබා දී තිබුණා.

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ 44 වගන්තිය මගින් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115 වගන්තියේ විධිවිධාන මෙම පනත් කෙටුම්පත යටතේ වන සැකකරුවෙකු සම්බන්ධයෙන් අදාළ කරගනු නොලැබිය යුතු බව දක්වා තියෙනවා.

ඒ වගේම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ 36 (5) (ඇ) වගන්තියේ දක්වා ඇත්තේ සැකකරු විසින් මේ පනත යටතේ වන වරදක් සිදු කර ඇති බවට විශ්වාස කිරීමට හේතු නොමැති අවස්ථාවක දී ඔහු ඇප මත මුදාහරිනු ලැබිය යුතු බවයි. නමුත් එවැනි අවස්ථාවක කළ යුතු වන්නේ සැකකරු නඩුවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීම මිස තවදුරටත් නඩු කටයුතු පවත්වාගෙන යෑම නෙමෙයි. වරදක් කළ බවට සාක්ෂි නොමැති පුද්ගලයෙකුට එරෙහිව නඩුවක් පවත්වාගෙන යෑම විශ්වීයව පිළිගත් අපරාධ නඩු කාර්යපටිපාටි රීතීන්ට පටහැනියි.

මේ නිසා ඉහත වගන්ති එකට ගෙන කියවා බැලීමේදී පෙනීයන්නේ මහේස්ත්‍රාත්වරයෙකු සතු බලතල අහිමි කරමින් ත්‍රස්ත විරෝධී පනත යටතේ වරදක් නොකළ පුද්ගලයෙකු වුවද රඳවා තබාගත හැකි ආකාරයෙන් යෝජිත පනත් කෙටුම්පත හරහා ඉතා අයුක්තිසහගත ලෙස ප්‍රතිපාදන සලසා ඇති බවයි. සැබෑ ලෙස ම මෙවන් පනතක් ගෙන ඒමේ අරමුණ ත්‍රස්තවාදය වැලැක්වීම ද, නොඑසේ නම් පුරවැසියන් මර්දනය කිරීම ද යන්න පිළිබඳව මෙම වගන්ති කියවීමේදී සැකයක් මතුවීම වලක්වන්න බෑ.’

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...