සංස්කෘතික සහ සාහිත්‍යයික මූලමණ්ඩල ඇසුරු කරමින් ද ඒ පරාමිතීන් බිඳහෙළා නව අදහස් මතුකරමින් ද යන මේ ආකාර දෙකෙහි ම එකතුවක් ලෙස කලා නිර්මාණවල අත්තිවාරම් තැනීම සාධනීය දෙයකි. ඉපැරණි සාහිත්‍ය කියැවීම හොඳ නැතැයි කියා හෝ ලෝක සාහිත්‍යයෙන් පලක් නැතැයි කියා හෝ අන්තගාමී වීමෙන් සිදුවන්නේ, නිර්මාණකරුවා ළිං මැඬියෙකු වීම මිස අනෙකක් නොවේ. මේ පැති දෙක ම කියවන්නෙකු මෙන් ම ලියන්නෙකුව ද අනවරතව පෝෂණය කරන්නකි. Classic Literature යළි යළි කියවීමේ වැදගත්කම ගැන කියන ඉතාලෝ කැල්විනෝගෙ සටහන් අප යළි කියැවිය යුතු වන්නේ එහෙයිනි. ඒවා අවශෝෂණය කරගෙන, නව අදහස් පද්ධති ගොඩගැනීම නිර්මාණකරුවෙකුගෙන් වියයුතු දෙයකි.
චලක පමුදිත ලුණුවිලගේ ‘අක්කරෙයිපත්තු අක්ෂර’ ලියන්නේ, මීට වසර 7කට පෙර දී ය. මෑතක දී ඔහු සිය දෙවන කවි පොත, ‘සමනල කවුළු තටු’ පළකරද්දී, මේ පොත් දෙක අතර ගත වූ වසර කිහිපය තම අවි මුවහත් කරගෙන ඇති සැටි අපට පෙනේ. මේ කවි පොත් දෙක ට ම පොදු සාධකයක් වෙයි. එනම්, චලකගේ කවි, අප ඉහත කී දෙජාතියේ ම මුහුවක් සහිතව ගොඩනැගෙන්නකි. ඔහුගේ මුදුන්මුල් දේශීය විශයෙහි ගොඩනැගෙන්නේ,
ඉතිහාස කතා – රජ කතා
බෞද්ධ කතා
කාන්තා චරිත විශයෙහි කතා ඇසුරිනි.
ලෝක සාහිත්‍යය ඇසුරින් ඔහුගේ මුදුන්මුල්,
සුරංගනා කතා
ග්‍රහවස්තූන් ගැන කතා
හයිකු වෙත දිවයයි.
චලකගේ මුල් කාව්‍ය සංග්‍රහය සමඟ නව කාව්‍ය සංග්‍රහය යළි කියවීමේ දී පැහැදිලිව පෙනෙන කරුණු කිහිපයකි. ඔහු ‘අක්කරෙයිපත්තුවේදී’ තරව අල්ලා වැළඳගත්, අත්තිවාරම් පද්ධතිය ‘සමනල කවුළුවේදී’ ද අත් නොහැර ඇති බව එකකි. රිද්ම ලක්ෂණ, ගායනීය බව, ශබ්ද රසය, විරාම තැබීම් ආදිය පිළිබඳව දෙවන කෘතියේ දී වැඩි අවධානයක් දී ඇති බව තවෙකකි. සිව් පද සහ දෙපද කවියට නැඹුරුවීම තවත් කරුණකි. අක්කරෙයිපත්තුවේදී සිතට එන සිතුවිලි කවියට සෘජුව ගෙන ඇති තැන් හමුවන අතර, සමනල කවුළුවේදී ඒවා යළි යළි සංස්කරණයට ලක්කර, සකසා, වඩා හොඳ නිමැවුමක් වෙනුවෙන් වෙහෙස වී ඇති බව පෙනෙයි. මේ කෘති දෙකෙහි ම පොහොසත් කවිකම් සහ පරිකල්පන හැකියාව කැපී පෙනෙන නිශ්චිතව කිව හැකි කාව්‍ය නිර්මාණ හමුවෙයි. විශේෂයෙන් නිර්ප්‍රභූ කෝණයකින් ප්‍රභූ පැලැන්තියේ ලුහුඬුතා නිරීක්ෂණය කරන කවි මෙහි වෙයි. චලකගේ සමාජ නිරීක්ෂණය, එකල මෙන් ම මෙකල ද පැහැදිලි නමුත්, තම අදහස කියන ස්වරූපය ගැන පෙරටත් වඩා දැන් ඔහුට වැටහීමක් ඇති සෙයකි. වසර හතක් දුෂ්කර ක්‍රියාවේ යෙදීමේ ප්‍රතිඵල අපට පෙනෙයි.
‘සමනල කවුළු තටු’ කාව්‍ය සංග්‍රහයේ ලෙහා බලා විමසිය යුතු, කොහොම මෙහෙම ලිව්වාද කියා හිතෙන කවි අතලොස්සක් කෙටි විමසුමට ලක්කරමු. අක්කරෙයිපත්තුවේ ඇතැම් කවි ද මෙහිදී අවශ්‍ය ලෙස උපුටා ගනිමු.
‘මණ්ඩුක මළගමක සංවාද’
සමස්ත කාව්‍ය සංග්‍රහයෙන් අප ප්‍රියකරන ම කාව්‍ය නිර්මාණය මෙයයි. Masterpiece එක මෙය යි. මේ නිමැවුම කියවාගෙන යද්දී, තැනින් තැන නතරවෙවී කවියා මෙය කොහොම පරිකල්පනය කළේදැයි සිතන්නට ම වෙලාවක් වෙන් වූ බව කිව යුතුය. ඊට හේතුව, මේ කවිය කොයි අතින් බැලුවත් ස්ථර ගැලවිය හැකි, පැදුරු එළා, ලිහා බැලිය හැකි එකක් බැවිනි. මේ කවියට චලක ආශ්‍රය කරගන්නා දෑ තුනකි. මේ කරුණු තුන හොඳින් අනා, කවිය ගොතන හැටි රසවත්.
අන්දරේගේ කතාව – අතීත කතා
පණ්ඩුකාභයගේ කතාව – ඉතිහාස රජ කතා
ගෙඹි කුමාරයාගෙ කතාව – ලෝක සාහිත්‍යයේ සුරංගනා කතා
රජ ගෙදර පොකුණේ හිටි ගෙම්බාව අන්දරේ ඇල්ලූ නිසා ඔහුට ගෞරව නාම දුන්නු පුවත ගැන පොකුණේ සිටින, කොකා, කක්කුට්ටා, දිය නයා, දිය කාවා කරන අදහස් දැක්වීමක්, ඕපාදූප කථනයක් හැටියටයි කවිය ගොඩනැගෙන්නේ. මේ, සමාජයේ ඉහළපෙළේ පිරිසක් ගැන, නිර්ප්‍රභූ, සාමාන්‍ය ජනතා ප්‍රවේශයක් ලෙසින් කරන කතාබහක් ය. මෙය ආස්වාදනීය ක්‍රමයකි. කෝණයකි. කවි පොත එළිදැක්වූ දා මහේෂ් හපුගොඩ (සුදු ඉර කවිය සම්බන්ධයෙන්) පැවසූ, ‘යට සිට උඩ දකින කෝණය, එනම් දෙවියන්ගේ කෝණයෙන් නොව අපායේ සිට බලන කෝණයෙන්’ ලියූ මෙවන් කවි පොත පුරා හමුවේ. ඔහුගේ මුල් කවි පොතේ එන, ‘අනෝමාවේ මත්ස්‍යයෝ මෙසේ කීහ’ කවියෙන්, බුද්ධ චරිතය සම්බන්ධයෙන් සුළු, අදාළ නොවන ම පිරිසක් වන අනෝමා ගඟේ මාලු කැළගේ ආත්ම කථනයක් පළවෙයි.
මේ කවියෙ, මණ්ඩුක(ගෙම්බා) අන් අයෙකු නොව ඉතිහාසයෙන් අපට හමුවුණු පණ්ඩුකාභය කුමාරයා බව මේ සතුන්ගෙ කතාබහේදි හෙළිවෙයි. ගෙම්බාගේ චරිත ලක්ෂණවල සිට පණ්ඩුකාභයගෙ ලක්ෂණ දක්වා සංවාද ස්වරූපයෙන් විස්තර වෙයි. මෙය කෙටිකතාවක් නොව කවියක් ය කියා ඔළුවට මතක් කරදීමට සිදුවූ බව කිව යුතු ය. මෙය කෙටිකතාවක් ලෙස හිතාගන්නට සැලැස්වීම ම චලකගේ පරිකල්පනයේ යහ ලකුණකි.
‘ඔහේ පැන පැන ආපු බව මිස
මණ්ඩුකගෙ අපි දන්නෙ මොනවද
කතන්දර නම් කිව්වෙ ගොත ගොත
අම්මා එක්ටැම්ගෙයක උන් වග
තාත්තලා දෙන්නෙකුගෙ විස්තර
කෙප්ප කියලයි මට හිතෙන්නෙ ම
එහෙම වෙන්නට හැකිද කෙනෙකුට’
චලක මේ කවියේදී, මෙරට අතීතයේ සිදුවූ මිනිස් ඝාතන ගැන වුව ඉඟි කරයි. නොකියා කියයි. අඟවයි.
‘පහුවදා උදේ සිට
මණ්ඩුකව නෑ දැක්කේ
මිනියවත් නැහැ තිබ්බේ
පණපිටින් කුදලන් යන්න ඇත්තේ’
මේ කවියේ රිද්ම ලක්ෂණ, භාෂා හැසිරවීම් විලාස(කටවහර කවියට ගන්නා සැටි) සිරිලාල් කොඩිකාරගේ ‘මානස විල සහ කණේරු මල්’ මට සිහිකළ බව කිවයුතු ය.
‘හොඳටම වැඩිය පුරපතියාටත් වෙරිය –
නෑ ඌ ටිකයි බිව්වේ අපි වැඩි හරිය…’ (මානස විල සහ කණෙරු මල්)
අනෙක් අතින්, මේ පොකුණේ සිටින හැම චරිතයක් වෙනුවෙන් කවියා ඉදිරිපත්ව අපට චරිත සහතිකයක් දෙයි. ‘කුසීත කොකා’ ‘උද්දච්ච කක්කුට්ටා’ ආදි වශයෙන්. මණ්ඩුක හෝ පණ්ඩුකාභය ගැන ඕපාදූප කියමින් සිටින අයගේ ස්වභාවයත් එවැනි ම බව, අනුන්ගේ වැරදි කතාකරන මේ අය තුළ ම දුර්වලතා ඇති බව ද පෙන්වා දෙන සෙයකි. මේ කවියේ අවසානයේදී, චලක අන්දරේව අස්වයාගෙ පිටින් බිමට වට්ටවා මරාදමයි. ගරු නම්බුනාම ලැබී ඒවා හිස තබාගෙන අස්ව රේස් යන කවරෙකුට වුව, අසු පිටින් වැටෙන්නට සිදුවේය යන්න කවියා නොකියා කියන්නාක් මෙනි.
‘බෝසත් තුරු’
චලක බෞද්ධ කතා සහ බෞද්ධ සාහිත්‍ය තමා සන්තකයේ තබාගෙන, නිරාමිස සුව දැනෙන, තෘෂ්ණාව ඉවත්කරන, ලොව දෙස දන්දෙන සිතින් බලන තැන්වලදී ඒ තුරුම්පු භාවිතයට ගනී,( ‘ප්‍රේම නිර්වාණය’ යනුවෙන් ම කවියක් මෙහි තිබෙයි). බය නැතිව පරිකල්පනය වවයි. බයිබලයෙන් වුව ඔහු ඵල නෙළයි. අක්කරෙයිපත්තුවේදී ඔහු ලියූ, ‘යශෝදරා අභිනිෂ්ක්‍රමණය’, ‘කොන්තය සහ දහම්සක’, ‘අම්බපාලිට’, ‘ඒවගේ ඒ පෙම’ ආදිය නිදසුන් කවි කිහිපයකි.
මේ කවියෙ අන්තිම පාදය,
‘අනුන් වෙනුවෙන් රැඳෙන තුරුමයි සදාකාලික බොසතුන්’.
‘හුළං එන සැරයක් ගානෙ තමන්ගෙ පත් දන් දෙන, තමන්ගෙන් මල් පැහැරගත්ත අය ගැනවත් කාටවත් ගතු නොකියන, හැමෝටම හුස්මගන්න දෙන, ගස් මිස, අට විසි බුදුවරු නෙමෙයි බෝසත්තු’ – චලක කියයි. මෙතැනදිත් සිහිකළ යුත්තේ ඔහුගේ බොහෝ කවිවල පෙනෙන ලකුණයි. එනම්, කවියට වහල් කරගන්නා මූලාශ්‍රයේ දී ප්‍රධාන දේ පසෙකට කර, පසෙක හිඳිනා අප්‍රධාන දෑ වෙනුවෙන් දෙන වැදගත්කමයි.
‘නුවරක හරි මැද’
අක්කරෙයිපත්තුවේදී අක්කරෙයිපත්තුව ගැනත් කිඹුල්වත ගැනත් ලියූ චලක, නව කවි එකතුවේදී, ඇඳන් ඉන්නා ඩෙනිම පිටින් ම පංචිකාවත්තට බසී. මේ කවියේ ගලායාමටත්, අවසානයටත් වැඩි රුචියක් නොවෙතත්, ආරම්භය සිත්ගනී.
‘පංච සෙල්ලම් නිතර නොවෙනා
පංච මහ බලවේගය නැවතුණ
පංචසිඛලා විටෙක හිනැහෙන
නගරයකි ගමකි වත්තකි
පංචිකාවත්ත යැයි නම් ලද’
සන්දේශ කාව්‍යවලදී නගරයේ නමට එළිවැට පිහිටුවන සේ කවි ලියූ ආකාරයෙන් ඔහු මෙහිදී ද එවැනි යමක් කරයි. නමුත්, මේ නගරයේ නම කියද්දී කියවන්නාට හැඟෙන දැනෙන සංඛේත, භාෂා පද්ධතිය ඊට අදාළව ගළපා කවියේ ඉතිරිය ගොඩනැගුවේ නම් වඩාත් සුදුසු බව අපගේ අදහස යි. ඇතැම් කවි දියවන්නට ඉඩදීම යුතු නොවෙයි.
තවත් කවි
ලිහෙන ගිලිහෙන, ක්ෂණික හමුවෙන, ළඟදි වෙන්වෙන, වෙන්ව හමුවෙන මිනිස් සබඳතා ගැන චලකගේ කවි ඇත්ත කියයි. එවැනි කවි මේ පොතේ ඇත. කවි ලියන්නට කියා නැති මනුස්සකම් මවන්නට ඔහු දඟ දමන්නේ නැත. පාරෙ හිටගෙන ඉද්දී, දුරකථනයෙන් අමතද්දී බොරුව නොකර, එක් එක් ජීවියා වෙත ඇවිත්, කිල්ලෝට ලිහා බලන්නා සේ ඔහු ලියයි. දැනමුතුකම් දෙන්නට වුවත් සැරසෙයි. එක්කෝ ඕනේ නෑ කියා සිතා, හිතින් මුමුණනමින් ඇණ තියා ගනී. අක්කරෙයිපත්තුවේදී සරස්වතියට, පාර්වතියට, විහාරමහාදේවියට කවි ලියූ ඔහු සමනල කවුළුවේ දී පොදුවේ පෙම්වතියන් විශයෙහි අදහස් කවි කර තිබේ.
‘සොඳුරිය,
මේ ගෙවෙන්නේ
අඳුර පැතිරෙන සමයයි
ඔබ – මා
ඇස් ඇරිය යුත්තේ
අඳුර දෙසට ම පමණයි’
අඳුර නොව ආලෝකය වෙත යායුතුය, යන්න පොදු මිනිස් අදහසයි. නමුත් මේ පෙම්වතා කියන්නේ, බැලිය යුත්තේ අඳුර දෙස බවයි. මේ අඳුර යනු ආලෝකය නැතිකම නොවේ. ‘රිදවීම්, බිදවීම්, අසාර්ථකවීම්, පරාජයන්’ ය. අපි දිනමු, අසවල් විදියේ ජීවිතයක් ගෙවමු, අසවල් අසවල් දේ අරගමු වැනි දෑ පෙම්වතා නොකියයි. සම්බන්ධතාවය ඉදිරියට පවතින්නේ ලුහුඬුතා දැනගෙන සිටියොත් පමණියි ඔහු විශ්වාස කරයි. ‘ඒ තැන් දෙස බලා, පන්නරය ලැබීම, දුබලතා අවබෝධ කරගැනීම යි අප දකින ආලෝකය’- චලක මේ කවියෙන් කියයි. මේ වෙනස් කියවීම, පෙම්වතියව පමණක් නොව අපව ද දාර්ශනික ප්‍රවේශයක් වෙත ගෙනයාමට සමත් වේ. හේගල් සහ රූමි කියන්නේත් මෙය නොවේද?
‘ඔබ වටා පෙනෙන්නට තිබෙන්නේ අන්ධකාරය පමණක් ම නම්, නැවත බලන්න! ආලෝකය ඔබ විය හැකියි…’ – රූමි
‘ආලෝකය ඇතුල් වෙන්නේ හදවත තුවාල වූ තැනිනි’ – රූමි
‘ප්‍රඥාව නමැති බස්සා උගේ තටු සලන්නේ කලුවරේ දී ය’
- හේගල්