මාධ්‍යවේදීන්ට පහරදීම්වලට කඩිනම් විමර්ශන අත්‍යවශ්‍යයි : මාර්ගෝපදේශ මාලාවක් සකසන්න – මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පතිට ලියයි !

Share post:

විරෝධතා සහ උද්ඝෝෂණවලදී මාධ්‍යවේදීන්ගේ රාජකාරි සිදුකිරීමට අදාළ ව පොලිස් නිලධාරීන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පති චන්දන වික්‍රමරත්නට අවධාරණය කර සිටී.

පසුගිය 31දා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ජාතික සංවිධායක, මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පොලිස් නිලධාරීන් විසින් පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙස ද එම එකමුතුව පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානය සහ දකුණු ආසියානු නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව පොලිස්පතිවරයා වෙත අද (02) මීට අදාළ ලිපිය යොමුකර තිබේ.

එම එකමුතුව යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පහර දීම ඇතුළු මාධ්‍යවේදීන්ට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය පියවර ගැනීම.

වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ජාතික සංවිධායක, මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පොලිස් නිලධාරීන් විසින් මාර්තු 31දා මිරිහාන, ජුබිලි කණුව මංසන්ධිය අසල පැවති විරෝධතාවක් අතරතුර පහරදීමේ සිදුවීම මාධ්‍ය සංවිධාන එකමුතුව ලෙස අපි තරයේ හෙළාදකිමු.

මාධ්‍යවේදීන්ට සිය වෘත්තීය කටයුතු කරගැනීම සඳහා සහාය වීම නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට බැඳීසිටින පොලිස් නිලධාරීන්ගේ අත්හළ නොහැකි වගකීමක් බව අපි විශ්වාස කරමු. මාධ්‍යවේදීන් ඉලක්ක කොට සිදුකරනු ලබන මෙවැනි ප්‍රහාර යනු ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි.

චේතනාන්විතව මාධ්‍යවේදීන් ඉලක්ක කොට ප්‍රහාර එල්ල කිරීම 2022 මාර්තු 31දා සිට සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව අප නිරීක්ෂණය කර තිබේ. තර්ජනය කිරීම්, පහර දීම්, අත්අඩංගුවට ගැනීම් සහ මාධ්‍ය උපකරණවලට අලාබහානි කිරීමේ සිදුවීම් රැසක් මේ කාලය තුළ වාර්තා විය. එම සිදුවීම් පිළිබඳව ඉදිරිපත් කළ පොලිස් පැමිණිලි සම්බන්ධයෙන් වන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව ද සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් දැනට නොමැත. මෙවැනි පහරදීමක සම්පූර්ණ වගකීම අදාළ ස්ථානයේ අණදෙන නිලධාරියා විසින් දැරිය යුතු බව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ඉදිරිපිටදී මාධ්‍යවේදීන්ට පහරදීමේ සිදුවීම පිළිබඳ විමර්ශනයේදී මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ද අවධාරණය කර ඇත.

මේ තත්ත්වය යටතේ බාධාවකින් තොරව මාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතු සිදුකරගෙන යෑමට අවස්ථාව සැලසීම මගින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ඔබගේ නිශ්චිත වගකීමකි.

මේ නිසා මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පහරදුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, මෙවැනි අවස්ථාවලදී මාධ්‍යවේදීන් සිය රාජකාරි සිදුකිරීමට අදාළ ව පොලිස් නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙසත් සමස්ත මාධ්‍ය සමාජය නියෝජනය කරන මාධ්‍ය සංවිධාන එකමුතුව ලෙස අපි ඔබට අවධාරණය කර සිටිමු.       

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...