මෙරට සිනමාවේ දෙවැනි පරපුරේ දඟකාර යෞවනයා අමරසිරි කලංසූරිය

Share post:

මා දකින අමරසිරි කලංසූරිය කෙබඳුද ?

මෙරට සිනමාවේ තමාටම ආවේණික රංගන සම්ප්‍රදායේ දෙවැනි පරපුරේ අති-දක්ෂ චරිතාංග සිනමා නළුවකු ලෙස මම නැසීගිය අමරසිරි කලංසූරිය ( 1940 – 2023 ) මහතා දකිමි. එහි සුවිශේෂීත්වය වන්නේ ඔහුගේ රංගන අනන්‍යතාවය හෝ පෞරුෂය කලාත්මක හා වාණිජ යන මේ දෙවර්ගයේම චිත්‍රපටය තුළ අතිශයින්ම ප්‍රශස්ථ ආකාරයෙන් සනිටුහන් කිරීමට ඔහුට හැකියාව ලැබීමයි . ඊට ප්‍රබලතම උදාහරණ වශයෙන් මා මෙහිලා දක්වන්නේ “ඔඹරු ඇවිත්” – 1978 හා “අපේක්ෂා” – 1978 යන චිත්‍රපටය යුගලයි.

අමරසිරි කලංසූරියගේ සිනමා චාරීකාවේ ස්වර්ණ අවදිය වශයෙන් 1974 – 1985 යන කාලවකවානුව හැදින්වීම පුලුවනි. එහිලා අහස් ගව්ව – 1974 , බඹරු ඇවිත් – 1978 ,අනුපමා 1978, පරිත්‍යාගය – 1978 , අපේක්ෂා – 1978 , පාරදිගේ – 1980, වජිරා – 1981 , යස ඉසුරු – 1982 යනාදී චිත්‍රපට අතිශයින්ම ඔහුගේ තමාටම ආවේණික වූ ( සිනමා ) රංගන පෞරුෂ මැනවින් ප්‍රකට කරන්නේ ය.

මා ඔහුගේ විශිෂ්ටතම සිනමා රංගන පෞරුෂය චිත්‍රපට දෙකක් තුළින් දකිමි. එනම් ඒ පූජා – 1986 හා පොඩි විජේ – 1987 යන චිත්‍රපටය දෙකයි.
ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද “අහස්ගව්ව” – 1974 චිත්‍රපටය මෙරට දෙවැනි කැරැල්ලේ ආරම්භය වන අතර ශ්‍රීලාංකේය නව සිනමාවේ සමාරම්භක චිත්‍රපටය වන්නේ ය. එහිලා ඔහුගේ රංගන දායකත්වය අතිශයින්ම වැදගත් බව මම පෞද්ගලික සිතමි. එපමණක්ද නොව මෙරට නව රැල්ලේ සිනමාවේ මුල්පෙලේ නළුවකු වශයෙන්ම ද නැසීගිය අමරසිරි කලංසූරිය මහතා යමෙකු විසින් හැදින්වුවහොත් එය යුක්ති-යුක්ත වන්නේ ය.

මෙරට රූපවාහිනී ටෙලි නාට්‍ය වංශකතාවේ සමාරම්භක ටෙලි නාට්‍ය වන ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මහතා විසින් නිර්මාණය කරන ලද “දිමුතු මුතු” – 1983 තුළින් මෙරට පළමු චරිතාංග ටෙලි නාට්‍ය නළුවා වශයෙන් බෞතීස්ම ලබන ඔහු එම රංගනය තුළින් ද තමාගේ රංගන අනන්‍යතාවය ටෙලිනාට්‍ය කලාව මත සදා නොමැකෙන ආකාරයෙන් සනිටුහන් කළේ ය.

මොහුගේ සිනමා රංගනයේ මා දකින සුවිශේෂී කාරණාව නම්, තමා උප්පත්තියෙන්ම තුරුළු කරගෙන පැමිණි රංග ප්‍රතිභාව තමාට ලැබෙන චරිතය තුළට මැනවින් මුසුකිරීමයි. එය Freestyle Acting යනුවෙන් හැදින්විය හැකිය.මා කියන මෙම රංගන ක්‍රමවේදයේ අසමසම ප්‍රතිරූපය වන්නේ ජෝ අබේවික්‍රමයන් ය. එනම් ඒ ඉතා නිදහස්ව තමාට ලැබෙන චරිතයට උපරිම සාධාරණය ඉෂ්ට සිද්ධ කිරීමයි. එහිලා ව්‍යාජ සිනමා පාණ්ඩිත්‍යයකින් ඔලුව පුරෝගෙන නොමැත. තම ජනප්‍රියත්වයෙන් ඔළුව ඉදුම්මාගෙන නොමැත.ඉතා නිදහස්ව හා නිවහල්ව තමාට ලැබෙන චරිතය අවබෝධ කරගෙන ඊට අනුගත වීමයි. මොහු කිසිවිටෙකත් ඕනෑම චරිතයක් මහා ලොකු බරක් යයි කියා සිතූ නළුවකු නොවේ යයි මම නොබියව කියමි. එය ඔහුගේ සෑම සිනමා රංගනයක් තුළින්ම මැනවින් ප්‍රකට වන්නේ ය. ඊට මා ඉතා කැමතියි. එහෙත් මෙම රංගන පෞරුෂය මෙරට වර්තමානයේ බොහෝ නළු- නිළියන් තුළ දකින්ට නැති තරම් ය. අන්න .. ඒ නිසයි වර්තමාන මෙරට ඔය මාධ්‍ය විසින් පුම්බන හෝ තමා විසින්ම පුම්බනගෙන ඉන්න ඇතැම් නළු නිළියන්ගේ රංගන බහුතරයක්ම කෘතීම වන්නේ … !!

මෙරට අදට වඩා උදාවන හෙට දින මොහුගේ සිනමා රංගන පෞරුෂය පිළිබඳව කතාබහ කරනු ඇත. පොතපත ලියනු ඇත. මොකද .. ඒ මෙරට සැබෑ කලාකාරයකුගේ අගය සමාජයට දැනෙන්නේ අද නොව උදාවන හෙට දින වන බැවිනි.
මෙරට සිනමාවේ දෙවැනි පරපුරේ දඟකාර යෞවනය ප්‍රේක්ෂකාගරය තුළ සදා-ජීවමාන කරන ලද එකම සිනමා නළුවාද වන්නේ ද අමසිරි කලංසූරිය බව මගේ පෞද්ගලික කියවීමයි .

එතුමා උතුම් නිවනින් සැනසෙත්වා . !!

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...