මෙරට සිනමාවේ දෙවැනි පරපුරේ දඟකාර යෞවනයා අමරසිරි කලංසූරිය

Share post:

මා දකින අමරසිරි කලංසූරිය කෙබඳුද ?

මෙරට සිනමාවේ තමාටම ආවේණික රංගන සම්ප්‍රදායේ දෙවැනි පරපුරේ අති-දක්ෂ චරිතාංග සිනමා නළුවකු ලෙස මම නැසීගිය අමරසිරි කලංසූරිය ( 1940 – 2023 ) මහතා දකිමි. එහි සුවිශේෂීත්වය වන්නේ ඔහුගේ රංගන අනන්‍යතාවය හෝ පෞරුෂය කලාත්මක හා වාණිජ යන මේ දෙවර්ගයේම චිත්‍රපටය තුළ අතිශයින්ම ප්‍රශස්ථ ආකාරයෙන් සනිටුහන් කිරීමට ඔහුට හැකියාව ලැබීමයි . ඊට ප්‍රබලතම උදාහරණ වශයෙන් මා මෙහිලා දක්වන්නේ “ඔඹරු ඇවිත්” – 1978 හා “අපේක්ෂා” – 1978 යන චිත්‍රපටය යුගලයි.

අමරසිරි කලංසූරියගේ සිනමා චාරීකාවේ ස්වර්ණ අවදිය වශයෙන් 1974 – 1985 යන කාලවකවානුව හැදින්වීම පුලුවනි. එහිලා අහස් ගව්ව – 1974 , බඹරු ඇවිත් – 1978 ,අනුපමා 1978, පරිත්‍යාගය – 1978 , අපේක්ෂා – 1978 , පාරදිගේ – 1980, වජිරා – 1981 , යස ඉසුරු – 1982 යනාදී චිත්‍රපට අතිශයින්ම ඔහුගේ තමාටම ආවේණික වූ ( සිනමා ) රංගන පෞරුෂ මැනවින් ප්‍රකට කරන්නේ ය.

මා ඔහුගේ විශිෂ්ටතම සිනමා රංගන පෞරුෂය චිත්‍රපට දෙකක් තුළින් දකිමි. එනම් ඒ පූජා – 1986 හා පොඩි විජේ – 1987 යන චිත්‍රපටය දෙකයි.
ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද “අහස්ගව්ව” – 1974 චිත්‍රපටය මෙරට දෙවැනි කැරැල්ලේ ආරම්භය වන අතර ශ්‍රීලාංකේය නව සිනමාවේ සමාරම්භක චිත්‍රපටය වන්නේ ය. එහිලා ඔහුගේ රංගන දායකත්වය අතිශයින්ම වැදගත් බව මම පෞද්ගලික සිතමි. එපමණක්ද නොව මෙරට නව රැල්ලේ සිනමාවේ මුල්පෙලේ නළුවකු වශයෙන්ම ද නැසීගිය අමරසිරි කලංසූරිය මහතා යමෙකු විසින් හැදින්වුවහොත් එය යුක්ති-යුක්ත වන්නේ ය.

මෙරට රූපවාහිනී ටෙලි නාට්‍ය වංශකතාවේ සමාරම්භක ටෙලි නාට්‍ය වන ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මහතා විසින් නිර්මාණය කරන ලද “දිමුතු මුතු” – 1983 තුළින් මෙරට පළමු චරිතාංග ටෙලි නාට්‍ය නළුවා වශයෙන් බෞතීස්ම ලබන ඔහු එම රංගනය තුළින් ද තමාගේ රංගන අනන්‍යතාවය ටෙලිනාට්‍ය කලාව මත සදා නොමැකෙන ආකාරයෙන් සනිටුහන් කළේ ය.

මොහුගේ සිනමා රංගනයේ මා දකින සුවිශේෂී කාරණාව නම්, තමා උප්පත්තියෙන්ම තුරුළු කරගෙන පැමිණි රංග ප්‍රතිභාව තමාට ලැබෙන චරිතය තුළට මැනවින් මුසුකිරීමයි. එය Freestyle Acting යනුවෙන් හැදින්විය හැකිය.මා කියන මෙම රංගන ක්‍රමවේදයේ අසමසම ප්‍රතිරූපය වන්නේ ජෝ අබේවික්‍රමයන් ය. එනම් ඒ ඉතා නිදහස්ව තමාට ලැබෙන චරිතයට උපරිම සාධාරණය ඉෂ්ට සිද්ධ කිරීමයි. එහිලා ව්‍යාජ සිනමා පාණ්ඩිත්‍යයකින් ඔලුව පුරෝගෙන නොමැත. තම ජනප්‍රියත්වයෙන් ඔළුව ඉදුම්මාගෙන නොමැත.ඉතා නිදහස්ව හා නිවහල්ව තමාට ලැබෙන චරිතය අවබෝධ කරගෙන ඊට අනුගත වීමයි. මොහු කිසිවිටෙකත් ඕනෑම චරිතයක් මහා ලොකු බරක් යයි කියා සිතූ නළුවකු නොවේ යයි මම නොබියව කියමි. එය ඔහුගේ සෑම සිනමා රංගනයක් තුළින්ම මැනවින් ප්‍රකට වන්නේ ය. ඊට මා ඉතා කැමතියි. එහෙත් මෙම රංගන පෞරුෂය මෙරට වර්තමානයේ බොහෝ නළු- නිළියන් තුළ දකින්ට නැති තරම් ය. අන්න .. ඒ නිසයි වර්තමාන මෙරට ඔය මාධ්‍ය විසින් පුම්බන හෝ තමා විසින්ම පුම්බනගෙන ඉන්න ඇතැම් නළු නිළියන්ගේ රංගන බහුතරයක්ම කෘතීම වන්නේ … !!

මෙරට අදට වඩා උදාවන හෙට දින මොහුගේ සිනමා රංගන පෞරුෂය පිළිබඳව කතාබහ කරනු ඇත. පොතපත ලියනු ඇත. මොකද .. ඒ මෙරට සැබෑ කලාකාරයකුගේ අගය සමාජයට දැනෙන්නේ අද නොව උදාවන හෙට දින වන බැවිනි.
මෙරට සිනමාවේ දෙවැනි පරපුරේ දඟකාර යෞවනය ප්‍රේක්ෂකාගරය තුළ සදා-ජීවමාන කරන ලද එකම සිනමා නළුවාද වන්නේ ද අමසිරි කලංසූරිය බව මගේ පෞද්ගලික කියවීමයි .

එතුමා උතුම් නිවනින් සැනසෙත්වා . !!

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...