ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ජාතික සංවිධායක මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පොලිස් නිලධාරීන් පිරිසක් බරපතළ ලෙස පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පැවැත්විය යුතු බව නීතිඥවරු, මාධ්‍යවේදීහු සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෝ අවධාරණය කරති.
කැමරාව පෙන්වමින් තමන් වෘත්තීය කටයුතුවල නිරතව සිටින බව යළි-යළිත් පවසන විට නිල ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇත. ඊයේ (31) මිරිහාන, ජුබිලි කණුව අසල පැවති සාමකාමී විරෝධතාව අවස්ථාවේදී මෙම පහරදීම සිදුකර ඇත.
මීට අමතරව සිවිල් ක්‍රියාකාරීන් පිරිසකට ද පොලිස් නිලධාරීන් විසින් පහර දී ඇති අතර, කැමරා රැගත් මාධ්‍යවේදීන්ට පොලිස් නිලධාරීන් විසින් තර්ජනය කිරීම ද කැපී පෙනිණි. මෙසේ තර්ජන එල්ල කෙරුණු මාධ්‍යවේදීන් අතර වින්දන ප්‍රසාද් කරුණාරත්න ද වේ.
‘රාජකාරිය වැලැක්වූවා’
මේ සම්බන්ධයෙන් thetime.lk වෙත අදහස් දක්වමින් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය පැවසුවේ තමන් ඔවුන්ගේ රාජකාරියට බාධා කරන බව පවසමින් දිගින්-දිගටම පහර දුන් බවයි. සිවිල් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකරට පොලිස් නිලධාරීන් විසින් පහරදෙමින් සිටි බවත්, එය ආවරණය කිරීමට උත්සාහ කිරීමේදී මෙසේ පොලිස් නිලධාරීන් තමන්ට බරපතළ ලෙස පහර දුන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

‘වාර්තා වෙලා නෑ’
මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ මාධ්‍යවේදියෙකුට පහරදීමක් සම්බන්ධයෙන් තමන්ට වාර්තා වී නැති බවයි. කිසිදු මාධ්‍ය ආයතනයක් අද (01) දිනය තුළ මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් තමන්ගෙන් විමසීමක් නොකළ බව ද සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ පිළිබඳ සොයාබලන බව පැවසීය.

ඒකාබද්ධ සටනක් අවශ්‍යයි !
මාධ්‍යවේදීන්, නීතිඥයන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් අවධාරණය කරන්නේ පසුගිය කාලය තුළ මාධ්‍යවේදීන් ඉලක්ක කර පහරදීමේ ප්‍රවණතාවක් පොලිසිය පාර්ශ්වයෙන් දැකිය හැකි බවයි. ජනතාව වෙත සත්‍ය තොරතුරු ගලා යෑම වැලැක්වීමේ අරමුණින් මෙසේ මාධ්‍යවේදීන් බියගැන්වීම සිදුකරන බවත්, සමස්ත ක්‍රියාකාරීන් එක්ව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඒකාබද්ධ සටනක් කළ යුතු බවත් ඔවුහු පෙන්වා දෙති.
අණදෙන නිලධාරියාගේ වගකීම කුමක්ද ?
පසුගිය ජූලි 09දා එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස අසලදී මාධ්‍යවේදීන්ට පහරදීම වැලැක්වීමට කටයුතු නොකිරීමේ චෝදනාව මත එහි සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ලියනගේගේ වැඩ තහනම් කිරීමට පොලිස්පති චන්දන වික්‍රමරත්න කටයුතු කළේය. එසේ ම මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කළේ අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වහාම කොළඹින් පිටතට ස්ථාන මාරු කළ යුතු බවයි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ සඳහන් කළේ අදාළ නිර්දේශය පිළිබඳව පොලිස්පත්වරයා දැනුවත් කර ඇති බවත්, සිදුවීමට අදාළ විමර්ශන අපක්ෂපාතී විය යුතු බවත් ය. මෙම ස්ථානයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර තිබුණේ මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ය.

චේතනාන්විත පහරදීම්
මාධ්‍යවේදීන්ගෙන් පොලිසියට කිසිදු තර්ජනයක් නොමැති බවට කිසිදු සැකයක් නොමැති මෙවැනි අවස්ථාවලදී චේතනාන්විතව පොලිසිය මගින් මාධ්‍යවේදීන්ට පහර දීම කිසිදු ආකාරයකින් සාධාරණීකරණය කළ නොහැකි බව මෙසේ මාධ්‍යවේදීන්ට පහරදීම පිළිබඳ කළ විමර්ශන ගණනාවකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කර තිබිණි. ඒ පිළිබඳව පොලිස්පතිවරයා ඇතුළු වගකිවයුතු සියලු පාර්ශ්වවලට ලිඛිතව දැනුම්දීමට ද කොමිසම වැඩිදුරටත් කටයුතු කර තිබිණි.
සමාජයට කරන බලපෑම
සාමකාමී විරෝධතාවකදී කිසිදු ආකාරයක පහරදීමක් සිදුනොවිය යුතු බවත්, විශේෂයෙන්ම මාධ්‍යවේදීන් ඉලක්ක කොට සිදුකරන ප්‍රහාර ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත් මානව හිමිකම් කොමිසම මෙවැනි අවස්ථාවලදී අවධාරණය කර ඇත. නිදහස් මාධ්‍ය යනු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අභ්‍යන්තර කොටසක් බව ද ඔවුහු පෙන්වා දෙති. නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිස් නිලධාරීන්ගේ වගකීම් විරහිත හැසිරීම් සමාජයේ ආරක්ෂාවට දරුණු සහ බරපතළ බලපෑමක් බව ද එම කොමිසම වැඩිදුරටත් සඳහන් කර ඇත.
විමර්ශන නැති පැමිණිලි
මේ අතර 2022 අප්‍රේල් 01දා මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විමර්ශනයක් කර නැත. මරණ තර්ජනය කිරීමක් සහ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් CIB/ii/283/300 අංකය යටතේ මෙම පැමිණිල්ල සිදුකර තිබේ.
මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස ආසන්නයේ 2022 මාර්තු 31 රාත්‍රියේ සිදු වූ සිදුවීමෙන් පසු, එහි තත්ත්වය සොයාබැලීම සඳහා පසුදින උදෑසන එහි ගිය මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට ජනාධිපති මාධ්‍ය අංශයේ යැයි හඳුන්වාගත් පිරිසක් විසින් තර්ජනය කර, ඔහුට වෘත්තීය කටයුතු සිදුකිරීම අවහිර කර තිබිණි. මේ සම්බන්ධයෙන් ඔහු විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

පිල්ලෙයාන්ගේ තර්ජනය
මේ අතර පෙරේදා (30) පැවති මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් මාධ්‍යවේදී පුන්‍යමූර්ති සෂිකරන්ට තර්ජනය කර තිබිණි. මේ සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදියා විසින් CIB/iii/249/192 අංකය යටතේ මඩකලපුව මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

විමර්ශනය සැඟවීම
එසේ ම මාධ්‍යවේදී රාමචන්ද්‍රන් සනත්ට ලබන 06දා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නුවරඑළිය කාර්යාලයේ පෙනීසිටින ලෙස දැනුම් දී තිබේ. පුස්සැල්ලාව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් ඊයේ (31) මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ සිංහල භාෂාවෙන් ය. එය තමන් භාවිත කරන දෙමළ භාෂාවෙන් ලබාදෙන ලෙස මාධ්‍යවේදියා පොලිසියෙන් ඉල්ලීමක් කර තිබේ. මෙම කැඳවීමට හේතුව ලෙස අදාළ දැනුම්දීමේ සඳහන්ව ඇත්තේ එම කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයකට අදාළ ව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා යනුවෙනි. මීට පෙර ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසයෙන් ඔහුට විවිධාකාර බලපෑම් සිදු කර තිබිණි.
ඔහු සුඩර්ඔලි පුවත්පතේ සහකාර ප්‍රවෘත්ති කර්තෘවරයා සහ පාර්ලිමේන්තු වාර්තාකරු ලෙස කටයුතු කළ අතර, මේ වන විට ඔහු නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස ආයතන කිහිපයක් සමග සම්බන්ධ වී කටයුතු කරයි.