තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන, වත්කම් බැරකම් පනතේ ප්‍රතිපාදනවලට වඩා ඉහළින් ඇති බව අභියාචනාධිකරණය ඊයේ (28) තීරණය කළේය.
වත්කම් බැරකම් ප්‍රකාශ ලබානොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව ගත් තීන්දුවක් බලරහිත කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගොනු කර තිබූ අභියාචනයක් නිශ්ප්‍රභා කරමින් අභියාචනාධිකරණය මේ බව සඳහන් කළේය.
මෙම තීන්දුව ලබාදුන්නේ සම්පත් බී. අබේකෝන් සහ පී. කුමාරරත්නම් යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසිනි.
වත්කම් බැරකම් ප්‍රකාශ ලබානොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ඉල්ලමින් මාධ්‍යවේදී චාමර සම්පත් පාර්ලිමේන්තුවට යොමු කළ තොරතුරු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කෙරිණි. ඉන්පසු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට ඒ සම්බන්ධයෙන් යොමු කළ අභියාචනය දීර්ඝ ලෙස විභාග කිරීමෙන් පසුව අදාළ තොරතුරු මුදාහරින ලෙස කොමිසම පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරිවරයාට දැනුම් දුන්නේය.
එම තීන්දුව ගනු ලැබුවේ තොරතුරු කොමිසමේ හිටපු කොමසාරිස්වරුන් වන මහින්ද ගම්මන්පිල, හිටපු විනිසුරු රෝහිණී වල්ගම, නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ එස්. ජී. පුංචිහේවා සහ සෙල්වි තිරුචන්ද්‍රන් විසිනි.
එම තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් අභියාචනාධිකරණයට අභියාචනයක් ගොනුකරන ලදි. ඊයේ ලබාදුන්නේ එම අභියාචනයට අදාළ තීන්දුවයි.
මෙහිදී මාධ්‍යවේදී චාමර සම්පත් වෙනුවෙන් නීතිඥ නිලූකා දිසානායකගේ උපදෙස් පරිදි නීතිඥ තිෂ්‍ය වේරගොඩ සහ නීතිඥ සුභාංගි විමලනාදන් පෙනීසිටියහ. නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ලව සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා පෙනී සිටි අතර, තොරතුරු කොමිසම වෙනුවෙන් නීතිඥ හිමාලි කුලරත්න සහ නීතිඥ ජයනි ඇල්ලේපොල පෙනීසිටියහ.
2018 සිට
2018 ජුනි 21 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කරන ලද අදාළ තොරතුරු ඉල්ලුම්පත්‍රය මගින් පහත තොරතුරු ඉල්ලා තිබිණි.
01. 2018 වර්ෂයේ තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක්.
02. 2010 වසරේ සිට 2018 දක්වා වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක්.
ලැයිස්තුවක් පමණයි !
මාධ්‍යවේදියෙකු වන චාමර සම්පත් ඉල්ලා තිබුණේ වත්කම් – බැරකම් පිළිබඳ විස්තර නොවේ. ඒවා බාර දුන් – නොදුන් පිරිසගේ නම් ලැයිස්තුවකි. පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා විසින් ඉල්ලුම්කරුට දැනුම් දී තිබුණේ මේ තොරතුරු අවශ්‍ය නම්, ඒ බව කතානායකවරයාට දැනුම් දිය යුතු බවයි. මේ නිසා ඉල්ලුම්කරු විසින් තොරතුරු පනතේ ප්‍රතිපාදන අනුව, නම් කළ නිලධාරියා වෙත තමන්ගේ අභියාචනය යොමුකරන ලදි. එහිදී ද සිදුවූයේ 1975 වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය උපුටා දක්වමින් මේ තොරතුරු රහස්‍ය ඒවා බව පුන-පුනා කීම ය. මෙසේ තොරතුරු සැඟවීමේ උත්සාහයට විරෝධය පළකරමින් ඉල්ලුම්කරු විසින් මෙය තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත යොමුකරන ලදි.
කොමිෂන් සභාවේ පැවැති අභියාචනා විභාගයේදී කරුණු දක්වමින් පාර්ලිමේන්තුව පාර්ශ්වයෙන් සඳහන් කර තිබුණේ කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා යනු එකිනෙකට වෙනස් තනතුරු දෙකක් වන බවත්, මේ නිසා කතානායකවරයා සතුව ඇති තොරතුරක් ලබාදීමේ හැකියාවක් මහ ලේකම්වරයාට නැති බවත් ය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය
මේ කරුණ සනාථ කිරීම සඳහා පාර්ලිමේන්තුව පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන ලද තර්කය වූයේ දිවි නැගුම පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් විභාගයේදී සිදු වූ ක්‍රියාවලියකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ පෙත්සම් පිටපතක් කතානායකවරයා වෙත බාරනොදීම නිසා අදාළ පෙත්සම් නිශ්ප්‍රභ කරන ලෙස ඉල්ලීමක් කෙරිණි. එහෙත් අධිකරණයෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය. ඊට හේතු වූයේ අදාළ පෙත්සම් පිටපත් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත බාරදී තිබීම ය. එය ප්‍රමාණවත් බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය විය. කෙසේ වෙතත් එවකට පාර්ලිමේන්තුව විසින් ඊට වෙනස් මතයක් ඉදිරිපත් කරන ලදි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පිළිනොගැනිණි.
මේ කරුණ සහ මන්ත්‍රීවරුන්ගේ වත්කම් – බැරකම් ප්‍රකාශවල පාලනය කතානායකවරයා සතු වීම පැහැදිලි කරමින් පාර්ලිමේන්තුව පාර්ශ්වයෙන් කොමිෂන් සභා විභාගයේදී තම මතය සාධාරණීකරණය කරන ලදි.
කෙසේ වෙතත් තොරතුරු පනතේ 5 (1)හි සඳහන් ආකාරයට තොරතුරු නිලධාරියා විසින් මේ පිළිබඳ කිසිදු අවස්ථාවක කොමිෂන් සභාවේ උපදෙස් විමසීමක් සිදු කර නැත. එසේම තොරතුරු පනත මගින් පාර්ලිමේන්තු බලතල, වරප්‍රසාද හීන නොවන බවට 3(2) හි සඳහන් කරුණ ඔවුන් වැඩිදුරටත් උපුටා දක්වනු ලැබිණි. සියල්ල එසේ තිබියදී, සමාජ සුබසිද්ධිය වෙනුවෙන් තොරතුරු හෙළිදරව් කිරීමේ වැදගත්කම පිළිබඳ කරුණු සියල්ල උපක්‍රමශීලීව සඟවනු ලැබිණි.
මගහැරීමේ උපක්‍රම
කොමිෂන් සභාවේ පැවැති අභියාචනා විභාගයේදී ඉල්ලුම්කරුගේ පාර්ශ්වය විසින් පෙන්වා දෙනු ලැබුවේ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව මගින් ප්‍රකාශිත රීති සහ රෙගුලාසි අනුව අදාළ ඉල්ලීම කතානායකවරයා වෙත යොමුකිරීමට මහ ලේකම්වරයා බැඳීසිටින බවයි. එය හිතාමතාම මගහැර ගොස්, වෙනත් උපක්‍රමයක් හරහා ජනතාවට අත්‍යවශ්‍ය තොරතුරක් ලබානොදී සිටීමේ උත්සාහයක පාර්ලිමේන්තු පාර්ශ්වය යෙදී සිටින බව ඔවුන්ගේ තර්කය විය. අදාළ තොරතුරු හෙළිදරව් වීම වළක්වන ලෙස ඒ තරම්ම ඔවුන්ට උපදෙස් ලැබී තිබුණා විය හැකිය.
ඉන්පසු තොරතුරු කොමිසමේ මෙහෙයවීම මත මේ පිළිබඳ කතානායකවරයා දැනුවත් කෙරුණු අතර, කතානායකවරයාගේ පාර්ශ්වයෙන් පවසා ඇත්තේ ඉල්ලා ඇත්තේ නම් ලැයිස්තුවක් පමණක් වන බැවින්, එය ලබාදෙන ලෙස තමන් මහ ලේකම්වරයාට දැනුම් දුන් බවයි. කෙසේ වෙතත් මහ ලේකම්වරයා මෙය පිළිගෙන නොතිබිණි. ඊට අදාළ ව නීති උපදෙස් ලබාගත යුතු බව ඔහුගේ මතය විය. ඒ අනුව නීතිපතිවරයාගෙන් විමසූ විට, ඔහුගේ මතය වී ඇත්තේ මෙය මහ ලේකම්වරයාගේ කාර්යයක් නොවන බවත්, කතානායකවරයාගේ කාර්යයක් වන බවත් ය. කෙසේ වෙතත් මහ ලේකම්වරයාගේ පාර්ශ්වයෙන් නීති උපදෙස් ලබාගැනීමේදී කතානායකවරයා යටතේ වෙනම තොරතුරු නිලධාරියෙක් නැති බව සඟවා ඇතැයි තොරතුරු කොමිසම නිරීක්ෂණය කර තිබිණි. පාර්ලිමේන්තුවේ සිටින්නේ එක් තොරතුරු නිලධාරියෙකු පමණි.
මෙසේ දෙපාර්ශ්වය අතර තර්ක ගොඩනැගෙමින් තිබියදී, මේ හා සමාන නඩුවක් අභියාචනාධිකරණයේදී විභාග වීම ඇරඹිණි. ඒ අගමැතිවරයාගේ වත්කම් ප්‍රකාශය ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කරන ලද තොරතුරු ඉල්ලීමකට අදාළව කොමිසමේ නියෝගයක් නොසලකා හැරීමට එරෙහිව ය.
වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ නීතියේ 4(අ) සහ 4(ආ)හි මෙසේ සඳහන් වේ.
(අ) පාර්ලිමේන්තු කතානායකවරයා විසින්, කැබිනට් ඇමැතිවරුන්, අනෙකුත් ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් විසින්, ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විනිසුරුවරුන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් වත්කම් සහ වගකීම් ප්‍රකාශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය.
(ආ) අනෙකුත් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කතානායකවරයා වෙත වත්කම් සහ වගකීම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය.
මේ අතර මෙහි 5(3) යටතේ සඳහන් වන්නේ ඕනෑම පුද්ගලයෙකුට නියමිත ගාස්තුවක් ගෙවීමෙන් වත්කම් ප්‍රකාශන ලබාගත හැකි බවයි.
එක සමාන නඩුවක් පවතින නිසා තොරතුරු කොමිසමේ තීන්දුව ලබාදීම අභියාචනාධිකරණ තීන්දුව ලබාදෙන තෙක් කල් දැමීමට ද වරක් තීරණය විය. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව පාර්ශ්වයේ නිගමනය වූයේ සෑම අවස්ථාවකදීම වත්කම් සහ බැරකම් නීතිය අනෙකුත් නීති අබිබවා යන බවයි. තොරතුරු පනතේ 4 වගන්තියේ ද එය එසේ ම සඳහන් වේ.
‘වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, මේ පනතේ විධිවිධාන බලාත්මක විය යුතු අතර, මේ පනතේ විධිවිධාන සහ යම් ලිඛිත නීතියක විධිවිධාන අතර අනනුකූලතාවක් හෝ ගැටීමක් ඇති වන අවස්ථාවක, මේ පනතේ විධිවිධාන බලාත්මක විය යුතුය.’
මන්ත්‍රීවරයා යනු කවුද?
මේ සියලු කරුණු සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලුම්කරු විසින් ඉදිරිපත් කරන ලද වැදගත්ම තර්කය වන්නේ මෙවැනි ලැයිස්තුවක් ලබාදීමක් පිළිබඳ කිසිවක් වත්කම් හා වගකීම් නීතියේ සඳහන් නොවන බවයි. ඔහු ඉල්ලා ඇත්තේ වත්කම් ප්‍රකාශ නොවේ. ලැයිස්තුවක් පමණි. ලැයිස්තුවක් අනාවරණය වීම වැළැක්වීම සඳහාත් දීර්ඝ කරුණු දැක්වීම් රැසකි.
තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව මගින් මීට අදාළ නියෝගය ලබාදෙමින් මුලින්ම සඳහන් කරන ලද්දේ පාර්ලිමේන්තුව නම් එකම ආයතනය තුළ කතානායකවරයා සහ මහ ලේකම්වරයා යනු වෙනම කටයුතු කරන ආයතන දෙකක් නොවන බවයි. එසේම ආයතනය සතු තොරතුරකට අදාළ ලැයිස්තුවක් සකස් නොකිරීම පිළිගත නොහැකි කරුණක් බව ද කොමිසම සිය නියෝගයේ සඳහන් කර තිබේ. මන්ත්‍රීවරයෙකු ඉටු කරන්නේ මහජන කාර්යභාරයකි. එම නිසා ඉහළ ම මට්ටමේ මහජන නිරීක්ෂණයකට ඔවුන් යටත් විය යුතුය යන්න කොමිසම මගින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් එදිරිව ජනාධිපති ලේකම් කාර්යාලය නියෝගයේ ද පැහැදිලිව පෙන්වා දී ඇත. වැදගත්ම කරුණ වන්නේ පාර්ලිමේන්තුව පාර්ශ්වයෙන් පෙන්වා දෙන පරිදි මෙහි පෞද්ගලිකත්වය පිළිබඳ ගැටළුවක් නැත. ඉල්ලා ඇත්තේ නම් ලැයිස්තුවකි. එමගින් මහජන සුබසිද්ධිය ඉටුවීමක් සිදුවන්නේ යැයි ද නියෝගයේ සඳහන් ය.
තොරතුරු කොමිසම සිය නියෝගයේ දිගින්-දිගටම සඳහන් කර ඇත්තේ මේ ලැයිස්තුව හෙළිදරව් වීම වැළැක්වීමේ උත්සාහය ප්‍රශ්නසහගත බවයි. තොරතුරු හෙළිදරව් කිරීමේ සංස්කෘතියක් වෙනුවෙන් මුළු ලෝකය ම කටයුතු කරමින් සිටියදී, පාර්ලිමේන්තුව තොරතුරු වසන් කිරීම වෙනුවෙන් සියලු නීති ප්‍රතිපාදන ගෙනහැර දක්වමින් සිටී.
අගමැතිවරයාගේ වත්කම් ප්‍රකාශය පිළිබඳ අභියාචනාධිකරණ තීන්දුව ලබාදෙන තුරු මුලදී කල්දැමුණද, වසර දෙකකට අධික කාලයක් ඇදුණු මේ කරුණට අදාළ කොමිසමේ නියෝගය ඊට පෙර ලබාදීමට තීරණය කෙරුණේ ඉල්ලුම්කාර මාධ්‍යවේදී චාමර සම්පත් විසින් යළිත් ගොනුකරන ලද අභියාචනයක් නිසා ය. කෙසේ වෙතත් කොමිසමේ අවසාන නියෝගයේ පැහැදිලිව සඳහන් වූයේ මේ තොරතුරු ලබාදිය යුතු වන බවයි.
කොමිසමේ නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයට
කොමිසමේ එම නියෝගයට එරෙහිව ය, පාර්ලිමේන්තු මහ ලේකම් විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකරන ලද්දේ.