අනාගතය හදාගන්න ලබන වසරේ ඡන්දයක් : මම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙක් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Share post:

ලබන වසරේදී තම ඡන්දය භාවිත කර, රටේ සිදු කළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කරගැනීමට පසුබිම සකස් වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (18) කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති රොටරි සමාජයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළත් වන දිස්ත්‍රික් 3220 විසින් සංවිධානය කරන ලද 32 වැනි රොටරි දිස්ත්‍රික් සමුළුව අමතමින් ය.

රජය ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත්වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

රටේ ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා, මේ වසර අවසන්වීමට පෙර රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රියව ක්‍රියාත්මක වන සමාජයක් ගොඩනඟන බවට ද සහතික වී තිබේ. එසේ ම රටේ ආර්ථික ගැටළු විසඳා ගැනීමත් සමග තවදුරටත් ජනතාවට පීඩාවට පත්වීමට ඉඩ නොතබන බව අවධාරණය කළ ජනාධිපතිවරයා, රජය සියලු තීන්දු තීරණ ගන්නේ ඒ වෙනුවෙන් බව ද කියා සිටියේය.

තමන් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙකු බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නමුත් රටකට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පළමුව මහජන සාමය අවශ්‍ය බවත්, ඒ සඳහා නීතිය හා සාමය පවත්වාගැනීම අවශ්‍ය බවත් සඳහන් කළේය.

රටක නීතිය හා සාමය නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය නොහැකි අතර, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දෙවනුව ස්ථාවර ආර්ථිකයක් අවශ්‍ය බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. නීතිය, සාමය සහ ආර්ථික ප්‍රකෘතිය නොමැති රටක ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය නොව අරාජිකත්වය බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රට අරාජිකත්වයේ මාවතේ පහළට ගෙනයෑමට තමන් කිසිවිටක ඉඩ නොතබන බවත්, රටේ නීතිය හා සාමය සහතික කිරීමට කැපවන බවත් අවධාරණය කළේය.

පෝලියෝ මර්දන ව්‍යාපාරය, සුනාමිය සහ ඖෂධ හිඟය ඇතුළුව පසුගිය කාලය තුළ ඇතිවූ අර්බුදකාරී අවස්ථාවන්හිදී මෙන්ම වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ද රොටරි සමාජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...