2002 රනිල් : 2007 ගෝඨාභය : 2017 මෛත්‍රිපාල : 2023 රනිල් :: ඇමෙරිකානු ආරක්ෂක ප්‍රධානියා ලංකාවට ඇවිත් ගියේ ඇයි ?

Share post:

ඇමෙරිකාවේ ඉහළ පෙළේ ආරක්ෂක නියෝජිත පිරිසක් සමග ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මේ සතියේ කළ සාකච්ඡා පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ විශේෂ අවධානය යොමුවී තිබේ.

ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්නගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡා පැවැත්විණි. මේ සඳහා පැමිණ තිබුණේ ඇමෙරිකාවේ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් : ඉන්දු – පැසිෆික් ආරක්ෂක සම්බන්ධතා (Principal Deputy Assistant Secretary of Defence for Indo-Pacific Security Affairs – PDASD) ජේ. පී. රෝයල්ගේ මූලිකත්වයෙන් යුත් නියෝජිත පිරිසකි. ඔවුන් මෙරටට පැමිණ තිබුණේ පසුගිය 14දා රාත්‍රියේ ය. මෙම සාකච්ඡාවලදී කලාපීය ආරක්ෂක ස්ථාවරභාවය සහ දෙරට අතර ආරක්ෂක සම්බන්ධතා ප්‍රවර්ධනය පිළිබඳ දීර්ඝ ව අදහස් හුවමාරු කරගෙන ඇත.

මෙම සාකච්ඡා සඳහා මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් ඇතුළු පිරිසක් ද, මෙරට ආරක්ෂක අමාත්‍යංශය පාර්ශ්වයෙන් එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ආරක්ෂක) හර්ෂ විතානාරච්චි ඇතුළු පිරිසක් ද සහභාගි වී ඇත.

ලංකාවට පෙර ඉන්දියාවට

ලංකාවට පැමිණීමට පෙර මෙම පිරිස ඉන්දියාවේ ද විශේෂ සාකච්ඡා කිහිපයක් සඳහා සහභාගි වී තිබේ. ඉන්දියාවේ ඇමෙරිකානු තානාපති කාර්යාල වෙබ්අඩවිය වාර්තා කරන්නේ පසුගිය සඳුදා (13) එම සාකච්ඡා පැවති බවයි.

ඉන්දු – පැසිෆික් කලාපයේ ප්‍රගමනය වෙනුවෙන් නිදහස්, විවෘත සහ එකිනෙකට සම්බන්ධ වන මෙහෙයුම් රැසක් ඉන්දියාව සහ ඇමෙරිකාව අතර සිදු වන බවත්, සයිබර් ආරක්ෂාව සහ දේශගුණ විපර්යාස ඒ අතරට අලුතින් එක්වී තිබෙන බවත් මෙම සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින් ඉන්දියාවේ ඇමෙරිකානු තානාපති එලිසබෙත් ජෝන්ස් සඳහන් කර තිබිණි.

තාක්ෂණික මධ්‍යස්ථානය

මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමෙරිකාවේ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් (ඉන්දු – පැසිෆික් ආරක්ෂක සම්බන්ධතා) ජේ. පී. රෝයල් පවසා තිබුණේ දෙරට අතර සමීප සම්බන්ධතා සහ තාක්ෂණික හුවමාරු මෙහෙයුම් මගින් ඉන්දියාවේ නව රැකියා අවස්ථා දහස් ගණනක් බිහි වන බවයි. ඉන්දියානු විද්‍යාඥයන්ගේ සහ විශේෂඥයන්ගේ සහායෙන් සිදුකරන ඇමෙරිකානු ආයෝජන මගින් කලාපයේ ඉංජිනේරු සහ තාක්ෂණික මධ්‍යස්ථානය බවට ඉන්දියාව පත්වනු ඇතැයි ද ඔහු සඳහන් කර තිබිණි. ඇමෙරිකානු සහයෝගිතාව මත ඉදිකරන ලද එරෝ-ඉන්දියා (Aero-India) මධ්‍යස්ථානයක් ද මෙම සංචාරයේදී විවෘත කර ඇත.

ලංකාවේදී අරමුණ කුමක්ද?

රාජ්‍ය තාන්ත්‍රික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ජේ. පී. රෝයල්ගේ මෙරට සංචාරයේදී කලාපීය තාක්ෂණික මධ්‍යස්ථානයකදී ලංකාවේ වැදගත්කම සහ කාර්යභාරය පිළිබඳව ද අවධානය යොමුකර ඇති බවයි. ඉන්දියාව සහ ලංකාව ඒකාබද්ධ තාක්ෂණික – ආරක්ෂක කලාපයක් නිර්මාණය කිරීම ඇමෙරිකාවේ අරමුණ බව ද පෙන්වා දෙන ඔවුහු, ඒ සම්බන්ධයෙන් කඩිනම් ව්‍යාපෘතියක් හඳුන්වා දීමට නියමිත බව ද සඳහන් කරති.

2017 ගිවිසුම

මේ අතර 2017 වසරේදී ශ්‍රී ලංකා රජය සහ ඇමෙරිකානු රජය අතර අත්සන් කරන ලද ACSA – Acquisition and Cross-Services Agreement ගිවිසුම මෙතෙක් නිල වශයෙන් හෙළිදරව් කොට නැත. මෙම ගිවිසුමට මුලින්ම අත්සන් කරන ලද්දේ 2007 වසරේදී මෙරට ආරක්ෂක අමාත්‍යංශයේ එවකට ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ සහ එවකට මෙරට ඇමෙරිකානු තානාපති රොබට් බ්ලේක් ය. එහි අන්තර්ගතය වූයේ ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් සම්බන්ධයෙනි.

පිටු 08 සිට 83 දක්වා

එහෙත් 2017දී අලුත් කරන ලද මෙම ගිවිසුම පිටු 83ක් විය. 2007 ගිවිසුම පිටු 08ක් බව සඳහන් ය. එය තාක්ෂණික සහ ආරක්ෂක ගිවිසුමක් ලෙස හැඳින්විණි. මේ ආකාරයට ම ඉන්දියාව සමග ද තාක්ෂණික සහ ආරක්ෂක ගිවිසුමකට එළඹීමට ඇමෙරිකාව කටයුතු කළේය. රාජ්‍ය තාන්ත්‍රික විශ්ලේෂකයන් මෙම ඇමෙරිකානු ව්‍යාපෘතිය හඳුන්වන ලද්දේ චීනයේ ආර්ථික සහ භූදේශපාලනික ව්‍යාප්තිය වැලැක්වීමේ මෙහෙයුමක් ලෙස ය. චීනය ඉන්දු – පැසිෆික් කලාපය ඉලක්ක කරගත් විශේෂ ආර්ථික මෙහෙයුමක නිරත ව සිටී.

2002 පලාලි

මීට අදාළ මූලික සාකච්ඡා ආරම්භ වූයේ 2002 වසරේදී ය. එවකට පැවති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමග මෙම සාකච්ඡා පැවති බව සඳහන් වන්නේ පලාලි හමුදා කඳවුරේදී ය. මෙරට ආණ්ඩුව පාර්ශ්වයෙන් රනිල් වික්‍රමසිංහ සහ එවකට ආරක්ෂක ඇමති තිලක් මාරපන සමග ආරක්ෂක ප්‍රධානීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී තිබේ. දකුණු ආසියානු සම්බන්ධතා පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ක්‍රිස්ටිනා රොකා සහ බ්‍රිගේඩියර් ජෙනරාල් ටිමෝති ගෝර්ම්ලි ඇතුළු පිරිසක් ඇමෙරිකාව පාර්ශ්වයෙන් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත. එම කාලයේදී ම ඇමෙරිකානු ආරක්ෂක සහ නීති ක්ෂේත්‍රවල විශේෂඥයන් සිව්දෙනෙකු මෙරටට පැමිණ ඇති බවට විදේශ කටයුතු අමාත්‍යංශ ලේඛන සාක්ෂි දරයි. එහෙත් එය ප්‍රසිද්ධ සංචාරයක් නොවීය.

පරණ කතාව අලුත් පාරක ?

ඇමෙරිකාව සමග මීට පෙර අත්සන් කරන ලද Status of Forces Agreement (SOFA) සහ Visiting Forces Agreement (VFA) යන ගිවිසුම්වලට එහා යමින් මෙරට භූමියට ඇමෙරිකානු ආරක්ෂක අංශවලට ඇතුළු වීමේ හැකියාව මෙම ACSA ගිවිසුම් මගින් ලැබුණු බව රාජ්‍ය තාන්ත්‍රික විශ්ලේෂකයන්ගේ මතයයි. ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් නීතියට අනුව මෙම ගිවිසුම්වලට අදාළ කටයුතු සිදු වේ. එහි 2341 සඳහන් වන්නේ වෙනත් රටවල් සමග ආරක්ෂක සහයෝගිතාව පවත්වාගෙන යන ආකාරයත්, එම රටවල හමුදා අභ්‍යාස සහ හමුදා මෙහෙයුම් ඒකාබද්ධව සිදුකිරීම පිළිබඳවත් ය.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...