ඖෂධ හිඟය උග්‍රයි – ප්‍රමිතියෙන් තොර ඖෂධ රට තුළට : කාටවත් බෙහෙත් නැතුව මැරෙන්න දෙන්නෙ නෑ – සෞඛ්‍ය ඇමති

Share post:

පිළිකා රෝගීන්ට දිනපතා ලබාදිය යුතු ඖෂධ සහ නිශ්චිත කාලසටහනකට අනුව ලබාදිය යුතුව තිබෙන ඖෂධ රැසක් අවසන් වීම සහ හිඟ වීම නිසා පිළිකා රෝගී ජීවිත දහස් ගණනක් දැඩි අවදානමකට පත්වී  ඇති බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර පවසයි.

වාර්තා වන ආකාරයට එවැනි ඖෂධ හිඟයක් තිබේද යන්න සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු මෙසේ සඳහන් කර තිබිණි. ලියුකේමියා රෝගීන්ට දිනපතා ලබාදිය යුතු ඉම්ටිනයිඩ් සහ අනෙකුත් පිළිකා රෝගී අත්‍යවශ්‍ය ඖෂධ වන කාබොප්ලැටීන්, සියප්ලැටීන්, ඔක්සප්ලැටීන්, සයික්ලොපොස්පමයිඩ්, එටපොසයිට්, බිලියෝ මයිසින්, සෙරඩාසිපැක්සිල්, මයිටොමයිසින්, ඩෙකා බාසින්, ප්ලෝරෝ, යුරුඩිල් වැනි ඖෂධ රැසක් මෙරට පිළිකා රෝහල්වල හිඟ ව හෝ අවසන් ව ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී. රට පුරා ප්‍රධාන පෙළේ රෝහල් 15ක මෙම ඖෂධ හිඟය බරපතළ ලෙස පවතින බව ද එම සංගමය පෙන්වා දෙයි.

ඇමතිගේ උපදෙස

පවතින මූල්‍ය අර්බුදය නිසා රජයේ රෝහල්වල සිදුකරන සැත්කම් ද සීමාකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පසුගිය 12දා සඳහන් කළේය. විශේෂඥ වෛද්‍ය උපදෙස් මත අත්‍යවශ්‍ය සහ හදිසි සැත්කම් පමණක් සිදුකිරීමට කටයුතු කරන ලෙසත්, සෙසු සැත්කම් ප්‍රමාද කිරීමට පියවර ගන්නා ලෙසත් ඇමතිවරයා විසින් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබිණි. මෙම තීරණයට හේතුව පවතින මූල්‍ය අර්බුදය නිසා සැත්කම්වලට අවශ්‍ය සායනික අමුද්‍රව්‍ය ගෙන්වීමේ ප්‍රමාදය බව ඇමතිවරයා පවසයි.

එය තාවකාලික බවත් කඩිනමින් සියලු සැත්කම් ආරම්භ කරන බවත් සඳහන් කරන ඇමතිවරයා, ඖෂධ ලබාගැනීමට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද පෙන්වා දෙයි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට

මෙම සාකච්ඡා පිළිබඳව අප කළ සොයාබැලීමකදී අනාවරණය වූයේ ඒවා මෙතෙක් සාර්ථක වී නැති බවයි. කෙසේ වෙතත් මේ හේතුව නිසා ප්‍රමිතියකින් තොර ඖෂධ වෙනත් මාර්ගවලින් රටට ගෙන්වීමේ බරපතළ අවදානමක් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රමිතීන්ට පිටින් හදිසි ඖෂධ මිලදී ගැනීම් කිහිපයක් සිදුකිරීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් වේ. ගැටළු මතුවීම නිසා ඖෂධ නියාමන අධිකාරිය මගින් අසාදු ලේඛනගත කරන ලද සමාගමක් ද ඒ අතර වන බව වාර්තා වේ. පසුගිය දෙසැම්බර් මාසයේදී සෞඛ්‍ය ඇමතිවරයා විසින් ඖෂධ සමාගම් නිරීක්ෂණය සඳහා ඉන්දියාවේ සිදු කළ සංචාරයේදී මෙම සංගම් පරිශ්‍රය ද නිරීක්ෂණය කර ඇත.

මෙම සංචාරය රජයේ මුදලින් ගිය සංචාරයක් නොවන බවට ද ඇමතිවරයා විසින් මාධ්‍යයට මීට පෙර ප්‍රකාශයක් කර තිබිණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය විශේෂඥ සංගම් සහ ආයතන රැසක් අමාත්‍යංශය මෙසේ ඖෂධ ගෙන්වීමට සූදානම් වීමට දැඩි විරෝධය පළකර තිබිණි.

රෝගී ජීවිත අවදානමේ

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසන්නේ ඇමතිවරයා පවසන ආකාරයට රෝහල්වල අනවශ්‍ය ශල්‍යකර්ම සිදු නොකරන බවයි. අවශ්‍ය වේලාවට ශල්‍යකර්ම නොකිරීමෙන් රෝගියාගේ ජීවිතය අවදානම් තත්ත්වයකට පත්විය හැකි බව ද වෛද්‍යවරයා සඳහන් කරයි.

ශල්‍යකර්ම වචන හරඹ

අත්‍යවශ්‍ය ශල්‍යකර්ම සහ අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම යනුවෙන් ශල්‍යකර්ම වෙන්කිරීමේ ඇමතිවරයාගේ වචන හරඹය පිළිබඳ අදහස් දක්වන වෛද්‍ය නුවන් තොටවත්ත මෙසේ සඳහන් කරයි.

‘ඇත්තටම අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන කියලා ශල්‍යකර්ම බෙදලා වෙන්කරන්න බෑ. හැම ශල්‍යකර්මයක් ම අත්‍යවශ්‍යයි. හැබැයි හදිසි ශල්‍යකර්ම සහ හදිසි නොවන ශල්‍යකර්ම කියලා වර්ග දෙකක් තියෙනවා. හදිසි ශල්‍යකර්මයක් කියන්නෙ පුළුවන් තරම් ඉක්මනින් නොකළොත් ලෙඩා මැරෙන්න පුළුවන් ශල්‍යකර්ම. හරියට හදිසි අනතුරක් වෙලා එන ලෙඩෙක්ට කරන ශල්‍යකර්ම වගේ.

හදිසි නොවන ශල්‍යකර්ම කියන්නෙ ලෙඩේ අඳුරගන්න වෙලාවෙ ම කරන්න ඕනෙ නැති, ටිකක් පහුවෙලා කරන්න පුළුවන් ඒව. ඔය හර්නියා අමාරු වගේ ඒවට කරන ශල්‍යකර්ම. මේ ශල්‍යකර්මවලට දිනයක් දීලා ඒ දිනේට තමයි කරන්නෙ.

එහෙම දින දෙන්න වෙන්නෙ අපිට අපේ ඉස්පිරිතාලවල ශල්‍යාගාර පහසුකම් සීමිත හින්දා. හැම ඉස්පිරිතාලෙකම දවසකට කරන්න පුළුවන් ශල්‍යකර්ම ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒ දවසට කරන්න පුළුවන් ගාණට තමයි දින දෙන්නෙ.

දැන් ඔය අත්‍යවශ්‍ය නොවන කියලා කල්දානවා නම් කල්දාන්න වෙන්නෙ ඔය හදිසි නොවන ශල්‍යකර්ම.

එතකොට වෙන ප්‍රශ්න කීපයක් තියෙනවා.

අපි හිතමු ඕනෙ කරන බෙහෙත් ඇවිත් අපි ආපහු මේ ශල්‍යකර්ම පටන් ගත්තා කියලා. එතකොට මේ හැම ශල්‍යකර්මයකට ම දීලා තිබ්බ දිනය නවත්තලා තිබුණු කාලෙන් කල් යනවා. ඒ කියන්නෙ මාස තුනක් නැවැත්තුවොත් අපිට ඒ ශල්‍යකර්මය කරන්න වෙන්නෙ දැනට දීලා තියෙන දිනයෙන් තව මාස තුනක් එහාට ගිහින්.

ලොකුම ප්‍රශ්නෙ ඒක නෙවෙයි. ඔය ඕනෙම හදිසි නොවන ශල්‍යකර්මයක් නොකර ඉන්න පුළුවන් කාලයක් තියෙනවා. අද කරන්න ඕනෙ නැති වුණාට අපිට මේක අවුරුදු ගණනක් කල්දාන්න බෑ. එහෙම වුණාම මේ හදිසි නොවන කියන රෝගියා අපි ළඟට එන්නෙ හදිසි ශල්‍යකර්මයක් ඕනෙ වෙලා.’

‘කාලයක් තිස්සෙ කිව්වා’

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චම්ලි විජේසිංහ පවසන්නේ මෙම ඖෂධ හිඟය සම්බන්ධයෙන් වසරක් තිස්සේ වෛද්‍යවරුන් විසින් වරින් වර රජයට පැවසුවද, ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළ බවයි.

මේ තත්ත්වය නිසා කොළඹ ජාතික රෝහලේ සිට ග්‍රාමීය රෝහල් දක්වා සමස්ත රෝහල් පද්ධතිය ම පවත්වාගෙන යෑම බරපතළ ගැටළුවක් බවට පත්වෙමින් තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඉන්සියුලින් වර්ග, හෘද රෝගීන්ට ලබාදෙන ඇස්ප්‍රීන් වර්ග, කුඩා දරුවන්ට ලබාදෙන සිරප් වර්ග, මූලික ප්‍රතිජීවක ඖෂධ, වේදනා නාශක, නිර්වින්දන ඖෂධ, පිළිකා ඖෂධ වර්ග සහ වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ගවල දැඩි හිඟයක් රට පුරා පවතී.

පහත පළවන්නේ මාස කිහිපයකට පෙර සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සමග මේ සම්බන්ධයෙන් අප කරන ලද සංවාදයක කොටසකි.

එළියෙ තත්ත්වෙ කොහෙත්ම සුන්දර නෑ !
– සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

අනෙක් පෝලිම් වගේම ඖෂධ හිඟය කියන්නෙත් විපක්ෂයෙන් හෝ වෙනත් කණ්ඩායමක් හදපු කතාවක් කියලද ආණ්ඩුව පාර්ශ්වය කියන්නෙ ඇමැතිතුමා…?

මෙතැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක මුලින්ම පිළිගන්න ඕනෙ. හැබැයි මට විෂය බාර ඇමැතිවරයා විදිහට එක කාරණයක් පැහැදිලිව කියන්න පුළුවන්, කවුරුවත් බෙහෙත් නැතුව මැරෙන්න දෙන්නෙ නෑ. ඒ වගකීම මට ගන්න පුළුවන්.


ඒ කියන්නෙ ඇති තරම් බෙහෙත් තියෙනවා …?

නෑ. ඒකයි මං කිව්වෙ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි අපි අසීරු තත්ත්වයකට ගන්න වෙනම බෙහෙත් වෙන්කරලා තියෙනවා. හැබැයි ඉස්සර තිබුණු නිදහස මේ වෙනකොට නෑ. ඉස්සර නම් අපිට ගැටළුවක් නැතුව රෝහලකට මාස දෙකකට-තුනකට බෙහෙත් දෙන්න පුළුවන්. දැන් අපිට ඒක කරන්න බෑ. ඇත්ත වශයෙන්ම බරපතළ ප්‍රශ්නයක් තියෙනවා.

මේක කළමනාකරණය කරගන්න විදිහක් ඇත්තෙම නැද්ද…?

අපි දැනට තරමක් මේ තත්ත්වය කළමනාකරණය කරගෙන යනවා. හැබැයි මට ගැරන්ටි එකක් දෙන්න බෑ, මේ විදිහට ගියොත් ලබන මාසෙ අවසානෙ වෙනකොට අපි කොතැනද ඉන්නෙ කියලා. අපි මේ සතියෙ ජනාධිපතිතුමා, මහ බැංකුවෙ නිලධාරීන් එක්ක විශේෂ සාකච්ඡාවකුත් සැලසුම් කරලා තියෙනවා.

ඉන්දියාවට පුළුවන් වෙයිද අපිව මරණයෙන් බේරගන්න, ඉන්දියාව කරයිද ඒක…?

මෙහෙමයි, අපේ බෙහෙත්වලින් සියයට හැත්තෑ පහක් විතර ඉන්දියාවෙන් ගේන ඒවා තියෙන්නෙ. එතකොට ඉන්දියානු ණයෙන් ඊළඟ මාස හයට අපිට එහෙන් ගන්න පුළුවන් බෙහෙත් ටික මම ලිස්ට් කළා. ඒකට ඩොලර් මිලියන අසූවක් විතර ඕනෙ. ඒකෙ ගැටළුවක් නෑ. මම ඉන්දීය මහ කොමසාරිස්තුමා එක්කත් කතා කළා. එතකොට මේකත් එක්ක සීයට හැත්තෑ පහක් විතර බෙහෙත්වල යම් ස්ථාවරභාවයක් තියෙනවා.

ඒ කියන්නෙ බය නැතුව ඔබට ඒ සහතිකය දෙන්න පුළුවන්…?

මට ඒ සහතිකය දෙන්න පුළුවන්. ඒකට විශේෂම හේතුවක් තමයි ඉන්දියාව දෙන ඩොලර් බිලියනයට අදාළව පැහැදිලිවම තියෙන කාරණයක් තමයි, බෙහෙත්වලට ප්‍රමුඛත්වය දෙන එක. මුදල් ඇමැතිතුමත්, ජනාධිපතිතුමත් ඒකට ප්‍රමුඛත්වය දෙන්න කියලා ලිස්ට් එක හැදුවා. එතකොට හිඟයක් එන්න තියෙන්නෙ අර සීයට විසි පහේ. ඒ සීයට විසි පහ මට කළමනාකරණය කරගන්න පුළුවන්.

මොන තර්ක ඉදිරිපත් කළත් ෆාමසිවල බෙහෙත් හිඟයක් තියෙනවා. මිනිස්සු බයවෙලා ඉන්නෙ. ඒවට මේ තර්කවලින් වැඩක් නෑ…?

ලංකාවටම බෙහෙත් ගේන සියයට හැටක – හැත්තෑවක මාර්කට් එකක් තියෙන්නෙ හය-හත්දෙනෙක් අතේ. ලෝකයේම ආයුධ සහ ඖෂධනෙ ලොකුම බිස්නස් දෙක. ලංකාවටත් ඒ පරිමාණයෙන්ම ඒක අදාළයි. ඔය හය-හත්දෙනා මං ගාවට ආවා හත්-අට වතාවක්, පාලන මිල ඉවත් කරන්න, බඩු ටික එළියට දෙන්නම් කියලා. මේ ඩොලර් එක වැඩිවීමෙන් විතරක් මේ කීපදෙනාට බිලියන එකයි දශම පහට වඩා ලාබ තියෙනවා. මේගොල්ලො ස්ටොක් බඩු දුන්නෙ නෑ. කලින් මිලට ගෙනාපුව වැඩි මිලට දුන්නා.

ඉතින් ආණ්ඩුවක් පත්කරගන්නෙ ඒකට නේද, ඒවට නීති තියෙනවනෙ, ඇයි ඒවා පාවිච්චි කරන්න බැරි වුණේ…?

අපි සාකච්ඡා කළාම ඒගොල්ලො ඉල්ලුවෙ සීයට පනහක වැඩිවීමක්. අපි වැඩි කළේ සීයට විසි නවයක්. හැබැයි ඒ විසිනවයත් වැඩි කරන්න තිබුණෙ ඉදිරියට ගේන ඒවට. මේගොල්ලො ගෙනාපුවා හංගගෙන ඉඳලා, අපි බෙල්ලට හිරවුණාම එළියට දුන්නා. මේ වගේ තත්ත්වයක් ඇතුළෙ අපිත් හොඳටම හිරවෙලානෙ.

ප්‍රධාන රෝහල් පැත්තක තිබ්බොත්, ප්‍රාදේශීය රෝහල්වල සායනවලට එන රෝගීන් බරපතළ ඖෂධ හිඟයකට මුහුණ දෙනවා. මිනිස්සු මරණයෙන් බේරගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවද මේ වාද-විවාදවලින්…?

මං කිව්වනෙ බරපතළ තත්ත්වයක් තියෙන්නෙ. දැනට ඉන්දියානු මූල්‍ය සහාය සම්බන්ධයෙන් මට විශ්වාසයක් තියෙනවා. ඒක කළමනාකරණය කරගන්න පුළුවන්.

එතකොට ඉන්දියාවෙන් හැර, අනෙකුත් රටවලින් ගෙන්වන ඖෂධ…?

ඒක කරගන්න පුළුවන්. ඒ ටිකත් මැනේජ් කරගන්න බැරි නම් අමාත්‍යංශයක් වැඩක් නෑනෙ. මේකෙන් සීයට දහයක් විතර චීන. සීයට පහක් විතර පාකිස්තාන්. මට ඉම්රාන් ඛාන්ට කෙලින්ම කතා කරන්නත් පුළුවන්. අනෙක බංග්ලාදේශ්, මැලේසියා, ඉන්දුනීසියා. අනෙක් පැත්තෙන් ලංකාවෙ හදන බෙහෙත් ටිකත් ඉක්මන් කරන්න සැලසුමක් හදලා තියෙනවා. මං ආපහු කියන්නෙ අපි ඉන්නෙ සුන්දර තැනක නෙමෙයි. හැබැයි දැනට කළමනාකරණය කරගෙන යනවා.

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...