ගිනිගන්නා ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ හමුවේ මෝදිගේ අනාගතය !

Share post:

අසල්වැසි ඉන්දියාවේ ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38-40 ඉක්මවා ඇති බව වාර්තා වේ. ඒ නිසා ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ජනතාව පසුවන්නේ අධික උෂ්ණත්වයෙන් හෙම්බත්ව ය. මේ පාරිසරික උණුහුමට නොදෙවැනි ආකාරයෙන් යමක් වේ නම්, ඒ මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන 2026 ප්‍රාන්ත සභා මැතිවරණය යැයි කීවාට කිසිදු වරදක් නැත. ඇත්ත වශයෙන්ම මේ වෙද්දි ‘අප්‍රේල් උණුසුම’ ඉක්මවා යන්නට ‘මැතිවරණ උණුසුම’ ට හැකිවී ඇත.

ඉන්දියාවේ මධ්‍යම රජයට පමණක් දෙවැනි ප්‍රාන්ත ව්‍යවස්ථාපිත සභාවල බලය හිමිකරගැනීම වෙනුවෙන් හැමදාමත් පවතින්නේ නොවෙනස්, තරඟකාරී සටනකි. විශේෂයෙන්ම ප්‍රාන්ත සභා 28කින් 6කට අදාළ මැතිවරණ මේ වසරේ පැවැත්වෙන අතර ඒ සියල්ලම පාහේ ඉන්දියානු ආණ්ඩුවට ඉතාම තිරණාත්මක ප්‍රදේශ බවට සැකයක් නැත. ඒ අතරින් අසෑම්, කේරල සහ පුදුචේරි ප්‍රාන්ත සභා සඳහා වන ඡන්ද විමසීම අප්‍රේල් 9 වැනිදා පැවැත්විණි. තමිල්නාඩු සහ බටහිර බෙංගාල මැතිවරණයේ පළමු අදියර පසුගිය 23 වැනිදාත්, බටහිර බෙංගාලයේ දෙවැනි අදියරේ ඡන්ද විමසීම පසුගිය අප්‍රේල් 29 වැනිදාත් පැවැත්විණි. මේ සියලුම ඡන්ද විමසීම්වලට අදාළ ප්‍රතිඵල එළඹෙන මැයි 4 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

2021 අප්‍රේල් මාසයේදී පැවැත්වුණු බටහිර බෙංගාල අවසන් ප්‍රාන්ත සභා මැතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට ත්‍රිණමූල් කොංග්‍රසය සමත් විය. ඒ සභාවේ නියෝජිත ආසන 294න් 215ක් ම ජයග්‍රහණය කරමින් ය. එහි ප්‍රධාන අමාත්‍යවරිය ලෙස කටයුතු කළේ, ත්‍රිණමූල් කොංග්‍රසයේ නිර්මාතෘවරිය මෙන්ම එහි නායිකාව වන මමාතා බනේර්ජි ය. 2011 සිට අඛණ්ඩවම බටහිර බෙංගාලයේ බලය පවත්වාගෙන යන ත්‍රිණමූල් කොංග්‍රසයට ඉතා ඉහළ තරඟයක් ලබාදීමට ඉන්දීය ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය (BJP) කටයුතු කරමින් සිටී.

බටහිර බෙංගාලයේ දශක තුනකට වැඩි කාලයක් පැවැති වාමාංශික දේශපාලන මතයක් දරණ සමාජවාදී පක්ෂයේ පාලනය පරාජයට පත්කරමින්, ත්‍රිණමූල් කොංග්‍රසය ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක් බවට පත්විය. ඉන්දීය කොංග්‍රස් පක්ෂය සමග සමීප සබඳතාවක් පවත්වා ගැනීමට ත්‍රිණමූල් කෙංග්‍රසයය කටයුතු කළේය. එහි බෙංගාලයේ බලය, මෝදිගේ පාලන කාලය පුරාම භාරතීය ජනතා පක්ෂයට දරුණු හිසරදයකි. ඒ නිසාම 2026දී බෙංගාලයේ මමාතා බනේර්ජි හෙවත් ‘අක්කා’ ගේ බලකොටු බිඳහෙලීමේ වගකීම මෝදි ලබාදුන්නේ ඔහුගේ දකුණු අත ලෙස සැලකෙන ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා ට ය.

පසුගිය වසරේ ඉන්දීය මැතිවරණ කොමිසම මගින් කළ මැතිවරණ නාම ලේඛන සංශෝධනය සමග බටහිර බෙංගාලයේ මිලියන 9කට ආසන්න ලියාපදිංචි ඡන්දදායකයන්ගේ නම් ඉවත් කිරීමට කටයුතු කෙරිණි. ඒ අතර සංක්‍රමණික, සුළු ජනවර්ග, ගෝත්‍රික ජනතාව විශාල සංඛ්‍යාවක් වූහ. ත්‍රිණමූල් කොංග්‍රසයේ ඡන්ද පදනම වැඩි වශයෙන් නියෝජනය කරන්නේ ද මේ පෙර කී ජන කණ්ඩායම් නිසා මේ ඉවත් කෙරුණු ඡන්ද ප්‍රමාණය සහ ක්‍රමවේදය සම්පූර්ණයෙන් රජය විසින් තමන්ට එරෙහිව කරන ලද බරපතළ අසාධාරණයක් බව මමාතා සඳහන් කර තිබිණි.

බටහිර බෙංගාලයේ ඡන්ද ප්‍රකාශ කිරීම මෙවර සියයට 90 ඉක්මවා යෑම වාර්තාගත ය. ඒ නිසා අමිත් ෂා පසුගිය දිනවල ප්‍රකාශ කළේ බටහිර බෙංගාලයේ ‘බල පෙරළියක්’ වන බවට එය කදිම සංඥාවක් බවයි. කෙසේ වෙතත් රජය බටහිර බෙංගාලයේ ජයග්‍රහණය ත්‍රිණමූල් කොංග්‍රසයෙන් උදුරාගැනීමට රාජ්‍ය බලය අවභාවිතාව, ප්‍රචණ්ඩත්වය සහ මඩ ව්‍යාපාර ඉතා බරපතළ ලෙස සිදු කළ බව එරට මාධ්‍ය රැසක් වාර්තා කර තිබිණි.

තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය යනු ඉතිහාසය පුරා ඉන්දියාවට පමණක් නොව, ලංකාවේ අපටත් ඉතා තීරණාත්මක එකකි. ඒ වගේම ලංකාවේ වැඩි පිරිසක් තමිල්නාඩු මැතිවරණය ගැන උනන්දුවෙන් සිටින බව ද රහසක් නොවේ. 2021 තමිල්නාඩු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබාගත්තේ ද්‍රවිඩ මුන්නේත්‍ර කලාගම් (DMK) පක්ෂයයි. නියෝජිත ආසන 234න් 133ක් ලබාගත් DMK ජයග්‍රහණය හිමිකරගනිද්දී, ප්‍රධාන ප්‍රතිවාදියා වන ඔ්ල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලාගම් (AIADMK) පක්ෂය දිනාගත්තේ ආසන 60ක් පමණි.

තමිල්නාඩු මහ ඇමතිවරයා ලෙස කරුණානිධිගෙන් පසු එම්.කේ ස්ටාලින් DMK වෙනුවෙන් එම තනතුර දරමින් සිටී. එම්.ජී.ආර් සහ ජයලලිතා වැනි ප්‍රබල චරිත ගොඩනැගූ AIADMK පක්ෂයට තමිල්නාඩුවේ බලය නැවත ලබාගැනීමට දැවැන්ත සටනක නිරතවීමට සිදුව තිබේ. ඒ අතර සුප්‍රකට දමිළ නළුවකු වන ජෝසෆ් විජායි චන්ද්‍රසේකර් හෙවත් ‘තලපති විජායි’ මෙවර මැතිවරණයට තමිලග වෙට්‍රි කලාගම් (TVK) පක්ෂයෙන් ඉදිරිපත්වීම තමිල්නාඩුවේ මැතිවරණ සිතියමේ වෙනසක් ඇතිකරන සිදුවීමක් බවට දැනටමත් පත්වී අවසන් ය. ඔහුගේ පක්ෂයට තමිල්නාඩු සභාවේ බලය ලබාගැනීමට නොහැකි වුවද, බොහොමයක් ප්‍රදේශවල DMK සහ AIADM පක්ෂවල ඡන්ද පදනමට දැඩි අභියෝගයක් ඒමගින් ඒල්ල වනු ඇත.

මෙවර මැතිවරණයේදීත් තමිල්නාඩු ප්‍රාන්තයේ දුප්පත්කම දුරලීම මෙන්ම සමාජ සුබසාධන යෝජනා ගණනාවක් මේ සියලුම පක්ෂ යෝජනා කරමින් සිටී. මැතිවරණයට පෙර ‘කච්චතිව්’ සම්බන්ධයෙන් කතාබහක් තිබුණත්, මැතිවරණය අතරේදී ඒ මාතෘකාව යටපත්වීම අවධානය යොමුකළ යුතු කාරණයකි. බොහෝදෙනෙක් අනාවැකි පළකරන්නේ විජායි ප්‍රමුඛ TVK බලපෑම නිසා එක්කෝ DMK පක්ෂයට මෙවර තමිල්නාඩුවේ බලය අහිමිවීම, නැත්නම් කරට කර සටනකින් පසු සුළු ජයග්‍රහණයක් හිමිවීම සිදුවිය හැකි බවයි. DMK පක්ෂය වත්මන් ඉන්දියානු රජයත් සමග යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන නොයන නිසාත්, මේ අභියෝගය තවත් වැඩිවිය හැකිය. වත්මන් රජය තමිල්නාඩුවේ තාක්ෂණික නගර ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටින නිසා, තමිල්නාඩුවේ බලය මෝදි ආණ්ඩුවට තීරණාත්මක සාධකයකි.

මිලියන 24ක ඡන්දදායකයන් සිටින අසෑම් ප්‍රාන්ත සභාවේ ආසන 126ක් සඳහා වන සටන ප්‍රධාන වශයෙන්ම පැවැත්වෙන්නේ ප්‍රබල සන්ධාන දෙකක් අතර ය. ඉන් එකක් භාරතීය ජනතා පක්ෂය සහ තවත් පක්ෂ තුනක් එක්ව නිර්මාණය කළ උතුරු-නැගෙනහිර ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය (NEDA) යි. පසුගිය මැතිවරණයෙන් මේ සන්ධානය ආසන 75ක් ලබාගෙන බලය පිහිටුවන ලදි. මහ ඇමතිවරයා ලෙස පත්වුණේ හිමන්ත බිස්වා ය. කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ 5කින් සමන්විත විපක්ෂ සන්ධානය අසෝම් සොන්මිල්ටෝ මෝචා (ASM) සන්ධානය ලබාගත්තේ ආසන 29ක් පමණි. මෙවර මැතිවරණයේදීත් හිටපු මහ ඇමති හිමන්ත බිස්වා සහ විපක්ෂයේ අපේක්ෂක ගෞරව් ගොගොයි අතර තියුණු සටනක් බලාපොරොත්තු වුවත්, බොහොමයක් පූර්ව මැතිවරණ සමීක්ෂණ අනුමාන කරන්නේ මෙවර ද NEDA සන්ධානය අසෑමයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නා බවයි.

නියෝජිත ආසන 140ක් වෙනුවෙන් පැවැත්වෙන කේරලයේ බලය කාලයක් තිස්සේ පවතින්නේ වාමාංශික පක්ෂ සන්තකයේ ය. 2021 මැතිවරණයේදී ජයග්‍රහණය හිමිකරගත් වාම ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (LDF) තවත් පක්ෂ කිහිපයක් සමග එක්ව පිහිටවූ සන්ධානයක් හරහා බලය තහවුරු කරගත්තේය. අත්දැකීම් බහුල වාමාංශික දේශපාලන නායකයෙක් වන පිනරායි විජයන් මහ ඇමතිවරයා ලෙස කටයුතු කරනු ලැබිණි. ඉන්දියන් කොංග්‍රසය සමග තවත් පක්ෂ කිහිපයක් ගොඩනැගූ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (UDF) මෙහිදී පරාජයට පත් විය. 2026 මැතිවරණයේදීත් මේ පක්ෂ සන්ධාන සංයුතිය වෙනස් වී නැති බව පෙනෙන්නට ඇත. මිලියන 27ක ජනතාවගේ තීරණය සම්බන්ධයෙන් මේ දක්වා කරන ලද ඇතැම් සමීක්ෂණ මෙවර කේරලයේ බල පෙරළියක් සම්බන්ධයෙන් අනාවැකි පළකළත්, බොහෝවිට නැවත වරක් වාම පක්ෂ එකමුතුව කෙරලයේ බලය තහවුරු කර ගැනීමට වැඩි ඉඩක් තිබේ. UDF වෙනුවෙන් මහ ඇමති ධුරයට තරඟ කරන වී.ඩී.සතිෂන් සඳහන් කරන්නේ කේරලයේ වාම බලකොටු බිඳවැටී අවසන් බවයි. එහෙත් පිනරායි ප්‍රමුඛ නායකයන් කියන්නේ තමන්ගේ සමාජ සුබ සාධක වැඩ පිළිවෙල තවත් ඉදිරියට කරගෙන යෑමට අවශ්‍ය ජන බලය තමන් සතුව ඇති බවයි.

ඉන්දියානු ප්‍රාන්ත සභා මැතිවරණයේදී වැඩිපුර කතාබහට ලක්නොවුණු, ඒත් තීරණාත්මක සටන් භූමියක් වන පුදුචෙරි සභා මැතිවරණයේ ප්‍රබලම තරඟය පැවැත්වෙන්නේ ඉන්දියානු කොංග්‍රසය ප්‍රමුඛ ලෝකායත්ත පෙරටුගාමී සන්ධානය (SPA) සහ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය (NDA) අතර ය. ඡන්ද මිලියනයකටත් අඩු ප්‍රමාණයක් සහිත පුදුචෙරි සභාවේ පසුගිය මැතිවරණයේදි නියෝජිත ආසන 30න් ආසන 19ක් සහිතව NDA ජයග්‍රහණය කිරීමට සමත් විය. මෙහිදී මහඇමතිවරයා ලෙස පත්වුණේ එන්. රංගස්වාමී ය. මෙවර මැතිවරණයේදීත් බොහොමයක් අනාවැකි පළවන්නේ නැවත වරක් රංගස්වාමීගේ නායකත්වයෙන් NDA පුදුචෙරි සභාව ජයගනිවී යනුවෙන් ය. විශේෂයෙන්ම පවතින රජයේ සහයත් නොඅඩුවම ඔවුන්ට ලැබෙන නිසා පහසු සටනකින් ඔවුන්ට ජය හිමිවීමට ඇති අවස්ථාව වැඩි ය.

මෙවර මැතිවරණයේදී වැඩිපුර අවධානය යොමුවී ඇත්තේ යොවුන් පරපුර හෙවත් Gen-Z කණ්ඩායමේ මතය කුමක්ද යන්නයි. වයස අවුරුදු 18-27 අතර පිරිස තමන්ගේ ඡන්දය සලකුණු කිරීමේදී වැඩිපුර අවධානය යොමුකරන්නේ විවිධ දේශපාලන කණ්ඩායම් විසින් ලබාදී ඇති පොරොන්දු සහ යෝජනා සම්බන්ධයෙන් බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. විශේෂයෙන්ම රැකියා වෙළඳපොල පුළුල් කිරීම, තාක්ෂණික යටිතල පහසුකම් දියුණුකිරීම වැනි යෝජනා සිදුකරන පාර්ශවයන්ට මේ කණ්ඩායමේ වැඩි ආකර්ශනයක් සහ කැමැත්තක් හිමි ය.

ඒ වගේම පෙර නොවූ විරූ ආකාරයට මෙවර ඉන්දියානු ප්‍රාන්ත මැතිවරණයේදී කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු තාක්ෂණික උපායමාර්ග මැතිවරණ ප්‍රචාරණයට භාවිත කරන ආකාරය දැකගැනීමට ලැබිණි. විශේෂයෙන්ම ප්‍රධාන අපේක්ෂකයන්ගේ කටහඬ යොදාගෙන AI හරහා නිර්මාණය කළ හඬපට මගින් ස්වයංක්‍රීය දුරකතන ඇමතුම් ලබාදීම සහ ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන ආකාරයට මේ ඇමතුම්වල අන්තර්ගතය වෙනස්කිරීම වැනි දේ මෙන්ම, සමාජ මාධ්‍ය කෙටි වීඩියෝ (Reels) වැනි දෑ ඉතා විශාල වශයෙන් ප්‍රචාරණ වැඩපිළිවෙලට යොදාගෙන තිබිණි. එසේම මහා පරිමාණ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් යොදාගෙන සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය ඉතා පුළුල්ව සිදුකරනු ලැබිණි. මේ සඳහා ඉතා විශාල මුදල් සම්භාරයක්ද යොදාගත් බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

මෙවර ප්‍රාන්ත සභා මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් වැඩිපුරම නොඉවසිල්ලෙන් සිටින්නේ නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඉන්දියන් රජය බව සහතික ය. විශේෂයෙන්ම බටහිර බෙංගාලය, කේරලය වැනි ප්‍රාන්තවල තමන්ගේ බලය පිහිටුවා ගැනීමට නොහැකි වීම නිසා පසුගිය කාල පරිච්ඡේදය පුරා භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවට බරපතළ පසුබෑම්වලට ලක්වීමට සිදු විය. ඒ වගේම බොහොමයක් දේශපාලන පොරොන්දු ඉටුකිරීමට මෙන්ම රටේ ඒකීය බල පැවැත්මකට මේ දේශපාලන බල ඛණ්ඩනය යම්කිසි බාධාවක් වූ බව ද රහසක් නොවේ. එවැනි තත්ත්වයක් යටතේ ඉන්දියානු ආණ්ඩුව මේ ප්‍රාන්ත මැතිවරණය සඳහා තමන්ගේ උපරිම ශක්තිය, ආණ්ඩු බලය මෙන්ම ඉතා පහත් මට්ටමේ උපායමාර්ග පවා යොදාගන්න තැනට පත්ව තිබේ. මේ සියල්ලේම අවසන් ප්‍රතිඵලය තවත් දින කිහිපයකින් දැකගැනීමට අවස්ථාව ලැබේ.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර

Related articles

සාම පාගමන සහ සංහිඳියාවේ පොරොන්දුව !

ජාත්‍යන්තර බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාවේ සාම පාගමනක් පැවැත්වූ අතර, එය රටේ බොහෝදෙනකු ස්පර්ශ කර ඇත. වියට්නාම...

ඉතාලිය පකිස්තානු පූජකයා පන්නා දැමුවේ ඇයි? ලෞකික නීතියට හරස් වන ආගමික නීති හා සම්ප්‍රදායන් ඉවසිය යුතුද?

දැන් දැන් ඉතා ප්‍රබලව දකින්නට පුළුවන් කාරණයක් තමයි ලෝකේ තියෙන සියලුම ආගම් විවේචනයට, සංවාදයට, විචාරයට ලක්වීම.ලෝකයේ පවතින සෑම...

කුමන තරාතිරමක පූජකයෙක් වූවත්..නීතිය ක්‍රියාත්මක විය යුතුයි

කුඩා දැරියක් අපහරණය කිරීමේ සිද්ධිය සම්භන්ධව මේ දිනවල චෝදනා එල්ලවෙනවා ප්‍රසිද්ධ භික්ශුවකට.මේ ආකාරයෙන් කුඩා දරු දැරියන් අපහරණය කිරීම...

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...