ඉන්දියානු සාහිත්‍යය ඇසුරු කරනා වාරයක් පාසා මා හදවත විශ්මයටත් ආහ්ලාදයටත් පත් කරයි. පෞරාණික ඉතිහාසයක් හිමි ඉන්දියානු සාහිත්‍ය වරින් වර පෝෂණය වී විශාල වෘක්ෂයක් මෙන් අතු පතර විහිදා වර්ධනය වී ඇත්තේය. කලක පටන් මෙහි හටගන්නා පුෂ්පයන් නොනවත්වා සුවඳ විහිදුවයි. නොයෙකුත් භාෂාවන් වලින් පොහොසත් ඉන්දියානු සාහිත්‍යයේ බිහිවන මිණිකැට ගිණිය හැකි නොවේ.
මා සිතන්නේ මේ මා කියවූ පළමු මලයාලම් නවකතාවයි. වරක් පිටු කිහිපයක් කියවා අතැර දැමූවත් මෙවර එය සම්පූර්ණයෙන් කියවීමට හැකි විය. ඉතාම රසවත් කලා ගුණයෙන් අනූන නවකතාවක් කියවීමට ලැබීම පිළිබඳ තෘප්තියෙන් පසුවෙමි.
1956 වර්ෂයේ තකලි ශිව ශංකර පිල්ලෙ විසින් රචිත ‘ චෙම්මීන්’ කේරළයේ වෙරළ බඩ ප්‍රදේශ පසුබිම් කොට ගත් නවකතාවකි. මෙය ප්‍රධාන වශයෙන් ‘ කරුතම්මා’ නම් වූ තරුණ ධීවර කාන්තාවකගේ කතාවක් ලෙස හඳුන්වා දීමට පුළුවන. කරුතම්මා හා මුස්ලිම් ජාතික වෙළෙන්දෙකු වන පරීකුට්ටි ගේ ආදර කතාව අපූරු මිහිරියාවකින් ශංකර පිල්ල ඉදිරිපත් කොට තිබුනත් හුදෙක් මෙය ආදර කතාවක් පමණක් නොවේ. පිල්ලෙ මෙම නවකතාව හරහා සම්ප්‍රදාය වෙනුවෙන් පෙනී සිටින ආකාරය සිත්ගන්නා සුළු ය. සම්ප්‍රදායට පටහැනිව යන්නන් හට විශාල මිලක් අවසානයේ ගෙවන්නට සිදුවන බව ඔහු අවධාරනය කරයි.
කතාව කේන්ද්‍රගතව ඇත්තේ එම මුහුදු බඩ ප්‍රදේශයේ ජනතාව විශ්වාස කරනා මිත්‍යා විශ්වාසයක් වටාය. එයින් කියවෙන්නේ ගැඹුරු මුහුදේ ජීවිකාව සොයා යන ධීවරයෙකුගේ ජීවිතය අනතුරු වලින් මුදවා ගන්නේ ඔහුගේ බිරිඳගේ නිර්මල භාවය නිසා බවය. ඔහුගේ බිරිඳගේ චරිතය කැලැල් සහගත නම් මුහුදු දෙවඟන වන කටලම්මා ඔහුගේ ජීවිතය නැති කරනා බවයි. කතාවෙ අවසන ඔබ වික්ෂිප්ත කරනුවේ එවන් මිථ්‍යාවන් තුළ සත්‍යයක් ගැබ් ව තිබිය හැකිද යන ප්‍රශ්නාර්ථය ඉතිරි කරමිනි. මුහුදු වෙරළක් අසබඩ ශෝකයෙන් මුසපත්ව වැළපෙනා යොවුන් දැරියත් කුඩා ළදරුවාත් ඔබගේ සිනහව වියළා දමන බව නොඅනුමාන ය.
මව් මුහුද හෙවත් කටලම්මා මෙහි ප්‍රධාන ස්ථානයක් ගනියි.මුහුද ඉතා සුන්දර ආකාරයට ශංකර පිල්ලෙ වර්ණ ගන්වා ඇත. ඔහුගේ ලිවීම දෘශ්‍යම විස්තර වලින් පොහොසත් ය. කටලම්මාගේ මෘදු සුන්දරත්වයේ සිට ඇගේ දරුණු උදහසේ ප්‍රතිවිපාක කාව්‍යමය ආකාරයකින් විස්තර කොට ඇත්තේය. මුහුදට යන බෝට්ටු, ධීවරයන්, වෙරළට වී තම සැමියන් වෙනුවෙන් යාඥා කරන්නා වූ බිරියන් , මාළු වලින් බරවූ නැවත එන ඔරුපාරු මේ සෑම දෙයකම සුවඳ ඔබට ශංකර පිල්ලෙගෙ වචන වලින් දැනෙනු ඇත.
මෙය කියවන ඔබගේ විනිශ්චය පසුවට කිරීමට වගබලා ගන්නේ නම් මැනවි. කිමද මෙහි හරි හෝ වැරදි පුද්ගලයන් නොමැති බැවිනි. නමුත් පූර්ව නිගමන වලින් ඈත් වීමට දරන උත්සහයන් ඔබට අභියෝගයක් වනු ඇත. කෙසේ නමුත් මෙහිදී ආදරය දඬුවම් විඳිනු ඇත. නොපෙනෙන බලවේග මගින් , සිරිත් විරිත් , සම්ප්‍රදායන් , අභිලාෂ, ඕපා දූප, ඊර්ෂ්‍යාව , අසරණ භාවය , ණය , රටේ නීතිය හා අවසානයේ ඔබ තුළ සිටිනා පුද්ගලයා විසින් ආදරය දඬුවම් ලබනු ඇත.
මෙය සිංහලයට පරිවර්තනය කර ඇත්තේ ජයන්ත විමලසේන විසින්. රසවත් සරල භාෂාවකින් ලියැවුනු වේගයෙන් කියවීමට හැකි පරිවර්තනයකි. ඇතැම් මලයාලම් නම් , හඳුන්වා දීමේදී භාවිතා කරන වචන පරිවර්තනය නොකර එ ආකාරයෙන් ම යොදා තිබීම අපූරු රසයක් ගෙන දුන්නේය. තකලි ශිව ශංකර පිල්ලෙ මෙය ලියා නිමකොට ඇත්තේ සති දෙකක කාලය අතරතුරය. විදේශීය කිසිම ලේඛකයෙකුගේ ආභාෂය මෙහිදී ඔහු ගෙන නැත්තේ ඔහු මලයාලම් භාෂාව පමණක් දැන සිටීම හේතුවන් ය. සුන්දර කේරළයට අනන්‍ය වු සම්ප්‍රදායන් එ ආකාරයෙන් ඉදිරිපත් කොට ඇත්තේය. එහෙයින් මෙහි රසවත් භාවය වඩාත් ත්‍රීව වෙයි. එහෙයින් වඩාත් නිර්මල භාවයක් දැනෙනු වැළැක්විය නොහැකිය.
තමන්ගේ අසමසම ක්‍රම මගින් ආදරය තමන්ට ආවේණික ව ජයග්‍රහණය කරනු ඇත. පරීකුට්ටි ඔහුගේ හදවතේ ගීතය ගායනා කරන විට කරුතම්මා සැමව්ටම ඔහු වෙතට ගමන් කරනු ඇත්තේ කැලැල් වූ සිතකිනි. නමුත් අවසානයේ ඒ සියල්ල අතුරුදන් වී සදාකාලික තනුවක් හා සදාකාලික වැළඳගැනීමක් කරා යනු ඇත. කරුතම්මා හා පරීකුට්ටි සැබැවින්ම ඔවුන්ගේ ආදරය ජය ගත්තේ යැයි ඔබ සිතන්නේද ?
ප්‍රකාශනය – ස්වර්ණහංස පදනම
ප්‍රකාශිත වර්ෂය – 1981

