සැබෑ චරිත සහ කල්පිත චරිත
එදිරිවීර සරච්චන්ද්‍ර ‘මළගිය ඇත්තෝ’ නවකථාව සම්බන්ධයෙන් පාඨකයන් ඇසූ පැන පිළිබඳව අදහස් දැක්වීමේදී, චිකත්මසු නම් ජපන් නාට්‍ය රචකයා කළ ‘සාහිත්‍යය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ’ යන්න උදෘත කරයි. නිර්මාණකරුවා තම අත්දැකීම එලෙසින් ම යොදාගන්නේ නම් එය සාහිත්‍ය කෘතියක් නොව වාර්තාවක් බවත්, නවකථාවක චරිත හා බැඳෙන සැබෑ චරිත විමසීම රසවින්දනයට බාධාවක් බවත් පාඨකයා මුළාවිය හැකි අවස්ථා ද පවතින බවත් ඔහු අවධාරණය කරයි. ප්‍රකට පුද්ගලයන්ගේ ජීවිත ගැන දැනගනු රිසි පාඨකයා, ඔවුන්ගේ නිර්මාණවල කියවෙන්නේ ඔවුන්ට සම්බන්ධ සත්‍ය ම දෑ ද යනුවෙන් සිතමින් පොත කියවන ආකාරය ගැන සරච්චන්ද්‍ර මෙවැන්නක් කියයි. මීට එකඟ විය හැකිය.
“කිසියම් කතුවරයෙකු නවකථාවක් හෝ කෙටිකථාවක් ලියූවිට අසවලා කවුද-අසවලා කවුද කියා දැනගැනීමට පාඨකයෝ මහත් කුතුහලයක් දක්වති. ඔවුන් මෙසේ සොයන්නේ නවකථාව හුදු කල්පිතයක් නොවන බව දන්නා බැවිනි. තම කථාව බොරු කල්පිතයක් යයි බොරු නම් ගම් යෙදීමෙන් කතුවරයා පෙන්වන්ට වෑයම් කරන නමුත් ඊට ආශ්‍රයගත සිදුවීම් හා පුද්ගලයන් සැබෑ යයි පාඨකයෝ සිතති. එහෙත් මෙතැනදී නවකථාකරුවා මවන්නේ සැබෑ පුද්ගලයකු ආශ්‍රය කොට ගෙන වුව ද, ඔහු තෝරාගන්නේ ඒ පුද්ගලයාගේ චරිතයෙන් එක් අංශයක් පමණක් විය හැකි ය. එසේ නැතහොත් ඒ පුද්ගලයාගේ චරිතයේ අංශ කිහිපයක් තෝරා, ඔහු විසින් අමුතු ම චරිතයක් මවනවා විය හැකි ය.”
තෝල්ස්තෝයි සිය නවකථාවල දැකිය හැකි නම් සහ සැබෑ ජීවිතයේ එන චරිත නාම පිළිබඳව අදහසක් දක්වා තිබේ. ඒ යුද්ධය හා සාමය කෘතිය පළවීමෙන් අනතුරුව විචාරක පාඨක ආදීන්ගෙන් ඊට එල්ල වූ විවේචන සඳහා පිළිතුරු වශයෙන් කළ නිබන්ධනයක ය.
“තනා ගත් නම් හා සැබෑ නම් අතර තිබෙන සමානකම් දකින පාඨකයා මා විස්තර කිරීමට අදහස් කරන ජීවතුන් අතර සිටින තැනැත්තාට හෝ සිටියා වූ තැනැත්තාට හෝ අසවල් තැනැත්තාට හෝ මා ලියන මෙම නවකථාවත් සමඟ කිසිම සබඳකමක් නැතැයි සිතන්නේ නම් (වෙසෙසින් ම සැබෑ මිනිසුන්ගේ චරිත විස්තර කෙරෙන සාහිත්‍ය කටයුතුවලදී) මම ඒ ගැන කණගාටු වෙමි.” [යුද්ධය හා සාමය, පෙරවදන]
ස්වයං චරිතාපදාන
කලක් යනතුරු පෙරදිග රටවල ලියැවුණු ස්වයං චරිතාපදාන බොහෝකොට ම ලියැවූයේ පුරුෂ පාර්ශ්ව අතිනි. නොඑසේ නම් පුරුෂ මූලික දෘෂ්ටියෙනි. ඒවායේ ප්‍රධාන චරිතය වූයේ පිරිමියාය. ඉන්දියාවේ කාන්තා චරිතාපදාන සඳහා මූලික පෙළඹීම සිදුවනුයේ, බටහිර චින්තනය එරටට කාන්දුවීමත් සමඟ කාන්තාවන්ට වැඩි ඉඩක් ලිවීම කෙරෙහි විවර වීමෙනි. ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු මෙය තවත් සාධනීය අතට හැරුණේය. කෙසේ හෝ, කාන්තා චරිතාපදානවලින් සිදු වූ වැදගත් මෙහෙවර නම්, එතෙක් කලක් ප්‍රකට පුරුෂ චරිත විසින් තමන් ගැන ලියු අත්තුංසන්සන ලේඛනය ඉන් මුදවා, සාමාන්‍ය පොදු මිනිසාගේ – ගැහැනියගේ දිවිය පිළිබඳ සැබෑ තතු ගෙන ඒමේ හැකියාවයි.
ඉන්දීය රචකයන්ගේ ස්වයං චරිතාපදාන පිළිබඳව ශාස්ත්‍රීය ලිපියක් රචනා කරන ස්මිත්‍රි සිං පවසනුයේ, සාහිත්‍යමය වේෂයක් ගත් ඉංග්‍රීසි චරිතාපදාන අතර, වික්ටෝරියානු ස්වයං චරිතාපදාන පවා පුරුෂභාවය පිළිබඳ මතවාදයක් දරන ලද බවය. කාන්තාවක ජීවත්විය යුතු ආකාරය පිළිබඳ ඒවායේ සදාචාරවාදීවත්, කුටුම්භයන්හි ඓතිහාසික ප්‍රපංචත් පිළිබඳව රචනා වූ අතර, ආධ්‍යාත්මික බවකින් ද යුතු විය. කමලාදාස්, වර්ජිනියා වුල්ෆ් වැනි ලේඛිකාවෝ මේ කරුණ වෙත එද්දී, මේ සීමා කුඩු සංසාර කර දමා අව්‍යාජ කථන වෙත යොමු වෙත්. පෙරදිග / ලාංකේය ලේඛිකාවන්ට ස්වයං චරිතාපදාන රචනයේ දී, එක්තරා සංස්කෘතිකමය සීමාවකට යටත්වන්නට සිදුවේය වැනි අදහසක් ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ කෘතියෙන් ඉදිරිපත් කරන සරච්චන්ද්‍රගේ අදහස මෙහිදී සිහි වේ.
ස්වයං චරිතාපදානයක් වුව එක්තරා නිර්මාණයකි. සියල්ල සැබෑවක් නොවේ. එබැවින්, චරිතාපදාන පවා එක්තරා නිර්මාණශීලී ලියමනකි. Biography, Auto Biography සහ Memoir යන ආකාර තුන සැලකීමේදී, සාහිත්‍යමය රචනා විලාසයකට – නිබන්ධයකට සමීපවන්නට හැක්කේ Memoir ප්‍රවර්ගයට විය හැකි යැයි සිතේ. Biography වලදී, තුන්වෙන පාර්ශවයක් විසින්, වඩාත් formal ආකාරයට, research කරමින්, දත්ත වෙත වැඩි අවධානයක් දෙමින් තවත් අයෙකුගේ ජීවිත කතාව ගැන ලියන ලිවීමක් ලෙස හඳුනාගත හැකියි. Auto Biographyහි සිදුවන්නේ, අදාළ චරිතය විසින් ම තමාගේ කතාව ඉදිරිපත් කිරීමයි.
ආපුටුංගෝ මාපුටුංගෝ
ගුරුවරියක, කිවිඳියක වන සුහර්ෂිණී ධර්මරත්න ලියූ ‘ආපුටුංගෝ මාපුටුංගෝ’ ස්වයං චරිතාපදානයක් ම නොව, (එක්තරා) Memoir ආකාරයකට අයත් වන්නෙකැයි සිතේ. මෙය කිවිඳියගේ ජීවිතයේ වඩාත් ස්මරණීය අවස්ථා එකතුවක් වන්නා සේ ම, තම කාව්‍ය නිර්මාණ සමඟ ම ඊට පසුබිම් වූ නිමිති වූ සැබෑ කතා – අවස්ථා ඉදිරිපත් කරන්නක් ද වන බැවිනි. කරුණුවලට වඩා මොහොතවල්වලට, formal නොවන ස්වාභාවික අව්‍යාජ ස්වරූපයට, තෝරාගත් සංවේදී සිද්ධි වැඩිදුර විස්තර කිරීම් ආදියට යොමුව ඇති බැවිනි. නවකතාවක් වශයෙන් නොව, සිද්ධි ලෙස කඩ කඩා ලියා වවා ඇති බැවිනි.
දඟ පොඩ්ඩක්ව ඉපදී කිවිඳියක වූ සුහර්ෂිණී ධර්මරත්නගේ ආත්ම කථනය රැගත් කෘතියකි ‘ආපුටුංගෝ මාපුටුංගෝ’. ‘ගම සුන්දරය – නගරය අසුන්දරය’ වැනි තැනකට පොත යාදෝයි පළමු පරිච්ඡේදය කියවද්දී අපට සිතෙයි, හොඳ වචන හොඳ ලෙසින් යෙදූ ‘සිරිත් මල්දමක්’ දෝයි සිතෙයි. එහෙත්, පොතේ සෙසු පරිච්ඡේද වෙත යද්දී ඒ අදහස වෙනස් වෙයි. ඇත්ත ඇති සැටියෙන් අමු බව අමු සැටියෙන් මහ පොළොව පොළොවේ සැටියෙන්, රැගත් කතා මෙහි ඇති බව පෙනෙන්නට වෙයි. කතාව පටන්ගන්නා පරිච්ඡේද දෙක තුන කියවීමේදී, සුචරිත, අහිංසක දැරියක ලෙසින් පෙනී ඉන්නා මේ දැරිය කතාව ඇතුළට යද්දී, දඟ, හිතුවක්කාර, උපදෙස් නොතන, එකටෙක කියන, ඉරිසියාව දැනෙන බොහොම අව්‍යාජ සාමාන්‍ය මනුස්ස ස්වභාවන් පළකරන අයෙකු බවට පත්වෙයි.
මේ පොතේ ඉන්නා දැරිය, අප සියල්ලන් තුළ වෙසෙන හිතුවක්කාර තීරණ ගන්නා, බලෙන් හොඳවන්නට යන, එහෙත් දඟකම් පාමින් ජීවිතය ඇසුරින් ම සියල්ල උගන්නා දැරියයි. මේ ඉන්නේ ලෝරාය. ඈන් ය. ටොටොටෝ චං ය. අලෝනුෂ්කාය. වසිලිස්සා ය. අමල්බිසෝ ය. මට අනුව ‘ආපුටුංගෝ මාපුටුංගෝ’හි නිර්මාණශීලී පරිච්ඡේදය, මේ දැරිය ගෙදරට නොකියා වවුලන් බලමින් තනිව කැලේ ඇවිදින ගමනයි. මේ, අමල්බිසෝ ගෙදර දොර අරින මොහොතයි. ලෝරා තනිවම උස් තැනිබිමට යන මොහොතයි. වසිලිස්සා ගිනි එළියක් හොයන් බබායිගා වෙත යන මොහොතයි. අරුන්දතී රෝයිගේ Ministry of utmost happiness කෘතිය පටන්ගන්නා තැන ඉන්නා දැරිය ගහ පාමුලට වී වවුලන් බලමින් ඉන්නා මොහොතයි. වෙනත් ලෙසකින් කියන්නේ නම්, මෙතෙක් කල් මව්පියන්ගෙ අනුදැනුමට යටත්ව සිටි දැරිය, ස්ව කැමැත්තෙන් ම ස්වකේය තීරණයක් මත පවුලේ රැහැනෙන් අවධානයෙන් අවවාදයෙන් ගැලවී මිදී නිවසින් පිටත ලෝකය වෙත යන මොහොතයි. ජීවිතයේ සැබෑ අභියෝගය ඇරඹෙන්නේ මෙතැන් සිටයි.
(මෙතැන් පටන් ‘වවුලුව’ හෝ වවුලන් ගැන කියවෙන තැනකදී, සුහර්ෂිණීගේ පොතේ වවුල් පරිච්ඡේදය ඔළුව හරහට හිටිනු ඇත)
පොත්පත් ඇතුළු රෙෆරන්ස් සහිත කෘතියක් වන මෙහි බොහෝ පරිච්ඡේද සුහර්ෂිණී අවසන් කරන්නේ, සිය කවියක් උපුටා දක්වමිනි. ඒ ඊට නිමිති වූ පුවත කීමෙන් අනතුරුවයි. කවියෙන් පසු ඊළඟ පරිච්ඡේදය එළඹෙයි. එබැවින්, පරිච්ඡේදයේ උච්චස්ථානය, පීක් එක ලෙස මේ කවි නිමැවුම ක්‍රියා කරයි. කවියෙන් පසු අවසන් වන පරිච්ඡේදය දෙස බලා අපට හිතන්නට ඉඩක් ඉතිරි වෙයි.
සුහර්ෂිණී මේ ලියන්නේ දශක කිහිපයකට පෙර ලංකාවේ වැඩිහිටි පරම්පරාවේ පැටිවියේ කතාන්දරයයි. අතීතේ ඇසූ පිරූ ජන කතා, කවි, වීර කතා ගොන්නයි. පොදු මිනිස් ජීවිත සංසිද්ධීනුයි. එබැවින්, තුංමංහංදිය, මඩොල්දූව, අපේ ගම සිහිවූවොත් පුදුම විය යුතු නැත. ව්‍යාකරණ ගැටලු කිහිපයක් තිබුණද, කතාව රසවත් බැවින් ඒ කෙරෙහි ඇලී සිටින්නට අවශ්‍යතාවක් පැන නොනගී.
කතුවරියගේ රචනා විලාසය නිරායාසී ගුණ දරයි. කරුණ රස වඩයි. ලෝ සතන් වෙත දයා දිය නෙත් යොමයි. එසේම යුතු තැන පරල වෙයි. යළි අකම්පිත වෙයි.
‘ආපුටුංගෝ මාපුටුංගෝ’ ළතෙත්. හෘදවත්. රසවත්. කවි බසින් පොහොසත්.