සයුර හමුවන තැනක ගංදිය
බොහෝ රිදවුම් මුදා ලයි
දෑල හිරකර දරාගෙන හිටි
හිත් තැවුල් සළු උනා ලයි
මෙතෙක් දුර දැරු රැලිති රිද්මය
සයුරු රළටම දිය කරයි
පයක් පස්සට පවා අරගෙන
මුහුදු රැල්ලට ඉඩ හදයි
රිදෙන මුත් උස් රළ වදින විට
හද සියුම් කිතියක් නැගෙයි
උරුමයද ඒ නැතොත් සෙනෙහෙද
හිතන්නටවත් බය හිතෙයි
මුහුද අහසට එකතු වෙන බව
කී කතන්දර හිත පුරයි
නේක සුන්දර හීන තිබුණත්
තව තවත් සිතිජය දුරයි
දිගු දුරක් දුටු සොඳුරු නොසොඳුරු
දේ බෙදා ගන්නනට හිතෙයි
ඒත් මුහුදක රළ ගොසක හඬ
අතර ඒ හඬ මිළින වෙයි
කමක් නෑ ඒ නොවැදගත් දේ
මගේ හිත ඇතුළෙම රැඳෙයි
සිතා නැවතත් කරදියට
මිරිදියෙහි සිහිලස මුහු කරයි
දරාගෙන ආ මහා දිය කඳ
මොන තරම් සුළු දැයි සිතයි
ඒ දියත් ලුණු රසට එක්වන
අයුරු බලමින් නිහඬ වෙයි
ආදරේ නම් කැප කිරීමයි
ආයෙ ආයෙත් මතක් වෙයි
ගඟක හදවත වුනත් එතකොට
හීනියට ඉරි තලා යයි