ගල් තෙලෙම්බුව

Share post:

සංසාරයේ ගෙවමින් ආ ගව් දුරකී
ගැල් පසුපසින් වැටි වැටි පැමිණියෙමි සකී
ඊතණ ගසක් හෙවනේ මඳ සැනසුමකී
මා දැක සිනාසුණ අඟනකි වනමලකී

මොට්ටැක්කිලියකින් නිල්වන් වරල වසා
ඇස් දෙක පළිඟු බබළයි තරු එළිය නිසා
කස්තුරි සුවඳකින් පෙනහලු පිරුණ ලෙසා
මා ගත වෙහෙස දුරලන උණුහුමක තොසා

ගව් දුර ගෙවූ මා දෙපතුල ඉදිමුමකී
ඒ ගල් තෙලෙම්බුව රතු වී තිබුණි සකී
හනිකට ළඟට විත් විමසන මුදු හඬකී
මේ ගල් තෙලෙම්බුව බැලුව ම සම්පතකී

සියුමැලි අතින් ඈ අතගා බලන විට
උණු කඳුලකින් සීතල දැනුණා පයට
රතැඟිලි තුඩින් මිරිකා ඔසු බඳින විට
මේ ගල් තෙලෙම්බුව සතුටක් ගෙනෙයි මට

මා යන ගමන ආවෙමි ගිරි කුළු අතර
ඈ වෙන්වුණා දූවිලි හුළඟක වැතිර
ඉර හඳ යටින් කාලය වියැකෙන අතර
තාමත් මතක් වෙනවා සුපහස නිතර

පිං පව් මැදින් වෑහෙන හඳ එළිය විඳ
ගව කුර ගෙවෙන විට ජීවන කතර මැද
දෙව් ලොව හීන දේදුනු වැට කඩොලු බිඳ
ඈ හිනැහුණා සිතුවිලි උල්පතක හිඳ

යට ගිය දවස උඩුකුරු සිතුවිලි මතුරා
හිත පතුලට ම වටකුරු සඳවත කොඳුරා
මට රිදවන කලට ඈ මතකය අතුරා
ඇටකටු මිඳුළු කකියයි සෙනෙහස උතුරා

සුව වී යටි පතුල සළකුණ ගිය ද මැකී
නොමැකී රිදුම් දෙන සියුමැලි උණුහුමකී
රතැඟිලි තුඩින් විනිවිද ගිය විදුලියකී
ඒ ගල් තෙලෙම්බුව මට තාමත් සැපකී

කුමාර හෙට්ටිආරච්චි

Related articles

පාස්කු ප්‍රහාරය ‘සිදු කර‘ – ‘මරා දැමූ‘ සාරාගේ කතාව !

2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කෙරිණි. තවදුරටත් එය සිදු විය කියන්නට නොහැකිය. එය සැලසුම් සහගත...

ගිනිගන්නා ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ හමුවේ මෝදිගේ අනාගතය !

අසල්වැසි ඉන්දියාවේ ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38-40 ඉක්මවා ඇති බව වාර්තා වේ. ඒ නිසා ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ජනතාව පසුවන්නේ අධික...

සාම පාගමන සහ සංහිඳියාවේ පොරොන්දුව !

ජාත්‍යන්තර බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාවේ සාම පාගමනක් පැවැත්වූ අතර, එය රටේ බොහෝදෙනකු ස්පර්ශ කර ඇත. වියට්නාම...

ඉතාලිය පකිස්තානු පූජකයා පන්නා දැමුවේ ඇයි? ලෞකික නීතියට හරස් වන ආගමික නීති හා සම්ප්‍රදායන් ඉවසිය යුතුද?

දැන් දැන් ඉතා ප්‍රබලව දකින්නට පුළුවන් කාරණයක් තමයි ලෝකේ තියෙන සියලුම ආගම් විවේචනයට, සංවාදයට, විචාරයට ලක්වීම.ලෝකයේ පවතින සෑම...