ගල් තෙලෙම්බුව

Share post:

සංසාරයේ ගෙවමින් ආ ගව් දුරකී
ගැල් පසුපසින් වැටි වැටි පැමිණියෙමි සකී
ඊතණ ගසක් හෙවනේ මඳ සැනසුමකී
මා දැක සිනාසුණ අඟනකි වනමලකී

මොට්ටැක්කිලියකින් නිල්වන් වරල වසා
ඇස් දෙක පළිඟු බබළයි තරු එළිය නිසා
කස්තුරි සුවඳකින් පෙනහලු පිරුණ ලෙසා
මා ගත වෙහෙස දුරලන උණුහුමක තොසා

ගව් දුර ගෙවූ මා දෙපතුල ඉදිමුමකී
ඒ ගල් තෙලෙම්බුව රතු වී තිබුණි සකී
හනිකට ළඟට විත් විමසන මුදු හඬකී
මේ ගල් තෙලෙම්බුව බැලුව ම සම්පතකී

සියුමැලි අතින් ඈ අතගා බලන විට
උණු කඳුලකින් සීතල දැනුණා පයට
රතැඟිලි තුඩින් මිරිකා ඔසු බඳින විට
මේ ගල් තෙලෙම්බුව සතුටක් ගෙනෙයි මට

මා යන ගමන ආවෙමි ගිරි කුළු අතර
ඈ වෙන්වුණා දූවිලි හුළඟක වැතිර
ඉර හඳ යටින් කාලය වියැකෙන අතර
තාමත් මතක් වෙනවා සුපහස නිතර

පිං පව් මැදින් වෑහෙන හඳ එළිය විඳ
ගව කුර ගෙවෙන විට ජීවන කතර මැද
දෙව් ලොව හීන දේදුනු වැට කඩොලු බිඳ
ඈ හිනැහුණා සිතුවිලි උල්පතක හිඳ

යට ගිය දවස උඩුකුරු සිතුවිලි මතුරා
හිත පතුලට ම වටකුරු සඳවත කොඳුරා
මට රිදවන කලට ඈ මතකය අතුරා
ඇටකටු මිඳුළු කකියයි සෙනෙහස උතුරා

සුව වී යටි පතුල සළකුණ ගිය ද මැකී
නොමැකී රිදුම් දෙන සියුමැලි උණුහුමකී
රතැඟිලි තුඩින් විනිවිද ගිය විදුලියකී
ඒ ගල් තෙලෙම්බුව මට තාමත් සැපකී

කුමාර හෙට්ටිආරච්චි

Related articles

ඩිල්ශානි චතුරිකා දාබරේගේ – ‘මව්වත් හදවත්’

මිග්‍රේන් කඳු පුපුරලා ඔළුව පුරා වේදනාවෙ කියත් ඒ මේ අතට හැරෙද්දි පැනඩෝල් පෙත්තකට එහා ගිය සහනයක් ගෙනල්ලා දෙන්න...

බානුගේ කතා ආවෙ කොතැනින්ද? – Heart Lamp ගැන නිරීක්ෂණ කිහිපයක්

බානු මුෂ්ටාක් කර්නාටක වැසි, කන්නඩ සුහුරු ලේඛිකාවක්. බානුගේ දෙපා තිබුණේ, භූගෝලීය වශයෙනුත් සාහිත්‍යයික වශයෙනුත් විචිත්‍ර බිමක වුණත් ඇය...

රසිකා, මායාකාර කිවිඳියක්

කවියෙ හි ජීවය ලෙස සලකන්නේ එහි උපයුක්ත බස. කවිය ඍජු ලෙස නැගී සිටින්නාවූ සැකිල්ල වන්නේ එහි ආකෘතිය. නමුත්...

‘ඊස්ට්‍රජන්’ – සුරේඛා සමරසේන

ස්ත්‍රී ආශාව විවිධ අවස්ථාවල, විවිධ පරිසරයන් හා විවිධ සමාජ පංති තුළ වර නැගෙනුයේ එකම ආකාරයට නොවේ. එහෙත් එය...