කවියේ හැඩය, රූපය, දෘශ්‍යමය බව ඇසුරින් සැකසෙන සංයුක්ත කවි, කියැවීමට මෙන් ම බලා රස විඳීමට ද සහෘදයාට අවස්ථාවක් සකසන කව් වෙසෙසකි. එය කවියක ශබ්ද රටාවන්ගෙන් මිදී, රූප රටා වෙත පිවිසීමට අවස්ථාවක් සකසන්නකි. සංයුක්ත කවි, චිත්‍ර කවි, රටා කවි ගැන සංක්ෂිප්ත හැඳින්වීමක් අපට පළමුව හමුවූයේ සුනිල් ආරියරත්න ලියූ “නූතන පද්‍ය කාව්‍ය සංහිතා” වෙනි. “සිංහල සංයුක්ත කවිය” නමින් ජනක මහබෙල්ලන විසින් ම ‘වටමඬල’ සාහිත්‍ය අතිරේඛයට කලෙකට ඉහත දී ලියූ ලිපියක දී හඳුන්වා දෙන්නේ, මෙයින් සාම්ප්‍රදායික කවියේ තිබූ සෘජුකෝණාස්‍රාකාර දෘශ්‍ය ආකෘතිය බිඳී, නිසඳැස් ආකෘතික සීමා පවා ඛණ්ඩනය කළ බවයි.
මහගමසේකර, අජිත් තිලකසේන, ජනක මහබෙල්ලන සේ ම, මේ සම්බන්ධයෙන් යම් හැරවුමක් කීරිමට මහනුවර- මාතර යුග ද ඉවහල් වන්නට ඇත. ගජමන් නෝනාගේ ඇතැම් දුෂ්කර කවි බන්ධන සේ ම, ඇතැම්විට සාම්ප්‍රදායික පද්‍ය සාහිත්‍යෙයේ පවා, කවියේ ආකෘතික ස්වභාව වෙනස් කිරීමට යම් උත්සාහ ගත් තැනක් දෙකක් හමු වේ(එක ම අකුර හෝ, අකුරු දෙකේ කවි, දසපද හෑල්ල). මෑතකදි සංයුක්ත ආකාරයේ කව් වෙසෙසක් කියවන්නට ලැබුණේ තක්ෂිලා ස්වර්ණමාලිගේ ‘ගැලූ ලේ විලවුන් මහාලුම’ කාව්‍ය එකතුවෙනි.
කවි
ජනක මහබෙල්ලනගේ ‘මට සුපුරුදු මේ නගරේ’ කව් සරණියේ කවි, ප්‍රති කවි, පසු කවි සහ සංයුක්ත කවි ලෙස ආකාර කිහිපයක කව් ඇති බව ඔහු ආරම්භයේදී ම පෙන්වා දෙයි. මේවායින් මුල් පිටු කිහිපයේ එන කවි අපට සිහිකරන්නේ මහගමසේකරගේ ‘ප්‍රබුද්ධ’ කෘතිය යැයි කීම අසාධාරණ නොවනු ඇත. මෙහි මුල් කොටසේ එන කවි, ජීවිතයේ දුක කරපින්නා යන, මුහුණදෙන ගැටලු ගැන සවිඥානික, කුටුම්භයෙන් සන්තෘප්ත වන, තනිවීම් – තමාව ම කියවාගැනීම් ආදි අත්දැකීම්ගෙන් පණ ලැබූ මිනිසෙකුගේ ආත්ම කථනයක් විලසින් ක්‍රියා කරයි. අහිමි වූ මිතුරන් ගැන සිතයි. තමා අවට ඇති දෑ දෙස, විචක්ෂණශීලීව බලයි. ප්‍රශ්න කරයි. දුක කියයි. MBBS ගත් ආලාර කාලාම ලා සොය සොයා දුක නිමකිරීමේ මාර්ගය සොයමින් යයි. ජීවිතයේ එල්ලී සිටී. ඒ අතර සතුටු තැන් දැක තෘප්තිමත් වෙයි. මේ කවි වෙන වෙන ම නිර්මාණ ලෙස පෙනී සිටියත් ඒවා දම්වැලක් මෙන් රැහැනක් මෙන් එක තේමාවක් වෙත බැඳී පවතී.
‘උනු වතුර
උනු වතුර
කොයිතරම් සහනයක්
ගෙන දේද
උදා කල සීතලට
සවස් කල විඩාවට
ඇඟ පතට වැක්කෙරෙන
උනු වතුර
මගේ ගත වේදනා
පිස දමන දිව ඔසුව’
මේ කවියේ, ‘උනු වතුර’ නම් වදන එක ළඟ ළඟ දෙවර බැගින් ඇරඹුමේදී ම යොදා තිබේ. එබැවින් වතුරේ උනු බව කියවන්නාට ද දැනෙයි. ‘ඇඟ පතට වැක්කෙරෙන’, කී විට කියවන්නාගේ ඇඟ දිගේ වතුර බේරී ගලා බසින සැටි දැනෙයි. උනුවතුර නම් වදන ඇසුණු කවියාගේ සියලු වේදනා දැන් නිමයි. කවියාගේ නොව කියවන්නාගේ ද එසේමයි. ඒ උනුවතුරවල බලය නොව, කවිය කියා ඇති සැටියටයි.
‘බොහෝ
කිවියන්
කිලිටි කළ
සඳ
මට
එපා!’
කවියා සඳ ප්‍රතික්ෂේප කරයි. සඳට එතෙක් තිබූ වටිනාකම තඹේකට ගණන් නොගෙන ඉවතලයි. එබැවින් කවියට නිශේධනයක් එක්වෙයි. මේ අතර, තමා අත් හැර ලෝකය පෙරළෙමින් ඉදිරියට යන බව කවියාට පෙනෙයි. මේතාක් තමාට ඉතාම සුපුරුදු ව තිබූ නගරය දැන් අලුත් වී ඇත. තමන් සිටි තැන මය, පරණ තමන්මය. ‘ශිෂ්ටාචාරය ගලා බැස’ ඇතත්, තමා එතැනමය.
‘අවුරුදු විස්සකටත් එහා
මට සුපුරුදු මේ නගරේ
දැන් අලුත් වෙලා
මම? පරණ වෙලා’
සනත් බාලසූරිය ‘කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි’ කව් සරණියේ දී, නගරය ගැන කියන කවියකින්, මේ වෙනස්වීම නගරයෙන් හිටපු පෙම්වතියට ප්‍රක්ෂේපනය කරයි.
‘මොන නගරයක්ද මේක?
ඔබ මඟහැර
යන්නට හැදූ විට
ඔබව ම හමුවන.
ඔබ හමුවන්නට
හිතූ විට
ඔබ
මා මඟහැර යන’
ප්‍රති කවි සහ පසු කවි
තමා පෙර ලියූ කවි යලි උපුටා දක්වමින්, ඊට තමා විසින් ම පිළිතුරු කවියක් ඉදිරිපත්කිරීම මෙහිදී සිදුකර ඇත. ඒ කවි බොහෝකොටම උපහාසමය ස්වභාවක් ගනී. තමාගේ කවි තමාම ප්‍රශ්න කරන, තමාම හාස්‍යයට ලක්කරන කවියා, මෙයින් තව කවි ආරක් සහෘදයාට පෙන්වාදෙයි. මුල්කාලයේ තමා ලියූ කවියටම පසුකාලයේ වෙන ම කවි රචනා කිරීම කවි කිවිඳියන්ගේ කෘති ඇසුරේදී කියවන්නට ලැබේ. මතක හැටියට රත්න ශ්‍රී විජේසිංහ වස්සානයට ද පසුකලෙක කවිපෙළක් රචනා කරන්නට යෙදිණි.(මතක හැටියට එලෙසය, වැරදි නම් නිවැරදි කරන්න)
‘පසු කවි’වලදී, රචනාවක් ආකාරයෙන් ලියූ නිර්මාණ හමුවේ.
සංයුක්ත කවි
‘මට සුපුරුදු මේ නගරේ’ කව් එකතුවේ, පෙර කී සියලු කවි අතර තැනින් තැන සංයුක්ත කවි වෙයි. අකුරු විශාල කර, අකුරු පෙරළා, අකුරු කුඩා කර, අකුරු අනික් පස හරවා, අකුරු ඉහළ සිට පහළට ගලාවැටෙන්නට සලස්වා, අකුරු කොටුවකට ගාල් කර, අකුරු ඇතුළේ අකුරු පිහිටුවා, අකුරක් මත අකුරක් තබා, අකුරු පේළි ලෙස චිත්‍රයක් මතුවන ලෙසින් අමුණා, පිල්ලම් වර්ග කිහිපයක් විවිධත්වය මතුවන පරිදි නිමවා … මේ ආදි ලෙසින් මහබෙල්ලනගේ කවියේ හැඩය සකසයි.
සර්පිලාකාර පාපිස්සක් සේ දිග හැරි අකුරු, කූඩුවක සිරගත කළ ලොකු පොඩි අකුරු(ප්‍රගීත් රත්නායකගේ ‘එකලස් රූප’ චිත්‍ර මෙනි), පළුඳු වූවත් බිම වැටුණු බඳුනේ පෙරළුණු අකුරු, පාපිල්ලම් රැසක් මැද කෙලින් සිටගෙන සිටින හල් කිරීම, මූර්ධජ ළ මත නැගී හිඳින කාන්තාව, ෆ ආකාරයේ එකතුවකින් සැදුණු කුරුලු රෑන ආදිය මෙහි ලා කැපී පෙනෙන කවි වේ.
ජනක මහබෙල්ලන ‘මට සුපුරුදු මේ නගරේ’ට අවුත් නොබියව සංයුක්ත කවිය හතර අත වනයි. අලුත් ක්‍රම සොයා යයි. ඒවා අත් හදා බැලීමට නොපැකිලෙයි. අකුර මතු නොව පිල්ලමෙන් පවා යුතු පරිදි වැඩ ගනී. මේවායේ අමුතු අර්ථ සොයමින්, විවරණය කරන්නට කියවන්නාට අවැසි නොවෙයි. දුටු මතින් ම දෘෂ්‍ය රූපය හිසේ කෙටෙයි. රස විඳීම ඒ සැණින් සිදුවෙයි. සංයුක්ත කවියේ විශේෂය එය වීමට පුළුවන.