‘පහනක අඳුර’ මෙම සමාප්ති යුගයේ අන්ධකාරය දැක ගැනීමට ප්‍රබන්ධමය පහනක් දල්වයි

Share post:

මේ බිම තුළ අප ගත කරමින් සිටිනුයේ සෑම ක්ෂෙත්‍රයක් වෙතටම අඩු වැඩි වශයෙන් ජාවාරම්කාරිත්වය, පාදඩත්වය මෙන් ම අතෘප්තිය ද කාන්දු වෙමින් පවතින නිමේෂයකය. එය ජාතිය , ආගම , සමාජ තත්ත්වය , සංස්කෘතිය මෙන් ම පංතිය යනාදි සියලු සාධක ඉක්මවා පැතිර යමින් තිබේ. දේශපාලන, පරිපාලන හෝ ශාස්ත්‍රීය ලෝකය යනුවෙන් වෙනසක් ද ඊට නොමැත. මෙලෙස අද අපි ශිෂ්ටාචාරමය සමාප්තියක් අබියස දිවි ගෙවන්නන් බවට පත්ව සිටිමු. එරික් ඉලයප්ආරච්චි තම අලුත්ම නවකතාව වන ‘පහනක අඳුර’ මගින් මෙම සමාප්ති යුගයේ අන්ධකාරය දැක ගැනීමට ප්‍රබන්ධමය පහනක් දල්වයි. එය සමාජය වෙතට අඳුර පතුරවන පහන් පෙන්වා දෙන පහනකි.

මෙහිදී ඔහු තම ප්‍රධාන චරිතය ලෙස යොදා ගනුයේ තමා ද නියුක්තව සිටි රාජ්‍ය පරිපාලන සේවයේ ඉහළ ම මට්ටමේ නිලධාරියෙකි. එහෙයින් මෙම නවකතාවේ ස්වයංචරිතාපදාන අන්තර්ගතයක් ද පවතින බව පෙනේ. නීතිගරුක රාමුවක් තුළ කටයුතු කිරීමත් ජාවාරම්කාරි පාදඩත්වයේ ගොදුරක් නොවී සිටීමත් කෙතරම් මානසික පීඩාව දනවන දුෂ්කර ව්‍යායාමයක් ද යන්න තියුණු සමාජ දේශපාලනික සහ සංස්කෘතික නිරීක්ෂණයක් ඔස්සේ විවරණය කිරීමට එරික් සමත් වේ.

මෙම වාස්තවික යථාර්ථය බොහෝ දෙනෙකු දැන සිටියද ප්‍රබන්ධයේ යථාර්ථයට එය සවි කිරීමට එරික් භාවිත කරන තාක්ෂණය බෙහෙවින් සිත් ගනී. මේ අනුව තියුණු සමාජ නිරීක්ෂණය වෙතට ලෝක සාහිත්‍යයේ උපුටන සමෝධානය කිරීමෙන් තෙවන අර්ථයක් මතු කර ගැනීමට පාඨකයාට ඉඩ සැලසේ. වාස්තවික යථාර්ථය ඉක්මවා යන ආත්මීය සංවාදයක් ගොඩ නංවා ගැනීමට එය උපකාරී වේ.

මෙම නවකතාව පුරාම ප්‍රබල හැඟවුමක් ලෙස රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සමිට් නිල නිවාස ඉදිරිපත් කෙරේ. දිවා කාලය තුළ චක්‍රලේඛ සිපිරි ගෙවල්වල සිරගතව සිටින මොවුහු ගොම්මන වන විට මෙම නිවාස වෙතට ගාල් වෙති.මෙම නිවැසියන් අතර සබඳතා ද හායි බායි සීමාවෙන් ඔබ්බට යන්නේ කලාතුරකිනි. එම පරිසරයේ පවත්නා ගුප්තමය ගොම්මන් අඳුර හුදෙකලා ගුහාගත වීමකටම ආයාචනා කරයි. මෙම යාන්ත්‍රික දිනචරියාව තුළ බලය පිළිබඳ සාධකය ද නොඅඩුව සැරිසරයි .

සමස්ත ලාංකීය සමාජය තුළ මේ මොහොතේ පවත්නා විරුද්ධාභාසී ස්වභාවය එරික් මෙසේ තම නවකතාවේ චරිතයක මුවඟට නංවයි. ” මචං, මේක පුදුම ලෝකයක්. මුං අද ධර්මය කියවන්නෙ අධර්මිෂ්ඨ වෙන්න පුළුවන් ඉඩක් පාදා ගන්න. මාක්ස්වාදය කියවන්නෙ ඥානවන්ත ක්‍රමයකට ප්‍රතිකොමියුනිස්ට් වෙන්ඩ. මුං හිට්ලර්ලගෙ…මුසොලිනිලගෙ…ජුදාස්ලගෙ දරුවො. මේක විපරීත යුගයක් බං.”

සමාප්තියට ළං වන විට විපරීත වීම අරුමයක් නොවේ.

උදිත අලහකෝන්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...