‘පහනක අඳුර’ මෙම සමාප්ති යුගයේ අන්ධකාරය දැක ගැනීමට ප්‍රබන්ධමය පහනක් දල්වයි

Share post:

මේ බිම තුළ අප ගත කරමින් සිටිනුයේ සෑම ක්ෂෙත්‍රයක් වෙතටම අඩු වැඩි වශයෙන් ජාවාරම්කාරිත්වය, පාදඩත්වය මෙන් ම අතෘප්තිය ද කාන්දු වෙමින් පවතින නිමේෂයකය. එය ජාතිය , ආගම , සමාජ තත්ත්වය , සංස්කෘතිය මෙන් ම පංතිය යනාදි සියලු සාධක ඉක්මවා පැතිර යමින් තිබේ. දේශපාලන, පරිපාලන හෝ ශාස්ත්‍රීය ලෝකය යනුවෙන් වෙනසක් ද ඊට නොමැත. මෙලෙස අද අපි ශිෂ්ටාචාරමය සමාප්තියක් අබියස දිවි ගෙවන්නන් බවට පත්ව සිටිමු. එරික් ඉලයප්ආරච්චි තම අලුත්ම නවකතාව වන ‘පහනක අඳුර’ මගින් මෙම සමාප්ති යුගයේ අන්ධකාරය දැක ගැනීමට ප්‍රබන්ධමය පහනක් දල්වයි. එය සමාජය වෙතට අඳුර පතුරවන පහන් පෙන්වා දෙන පහනකි.

මෙහිදී ඔහු තම ප්‍රධාන චරිතය ලෙස යොදා ගනුයේ තමා ද නියුක්තව සිටි රාජ්‍ය පරිපාලන සේවයේ ඉහළ ම මට්ටමේ නිලධාරියෙකි. එහෙයින් මෙම නවකතාවේ ස්වයංචරිතාපදාන අන්තර්ගතයක් ද පවතින බව පෙනේ. නීතිගරුක රාමුවක් තුළ කටයුතු කිරීමත් ජාවාරම්කාරි පාදඩත්වයේ ගොදුරක් නොවී සිටීමත් කෙතරම් මානසික පීඩාව දනවන දුෂ්කර ව්‍යායාමයක් ද යන්න තියුණු සමාජ දේශපාලනික සහ සංස්කෘතික නිරීක්ෂණයක් ඔස්සේ විවරණය කිරීමට එරික් සමත් වේ.

මෙම වාස්තවික යථාර්ථය බොහෝ දෙනෙකු දැන සිටියද ප්‍රබන්ධයේ යථාර්ථයට එය සවි කිරීමට එරික් භාවිත කරන තාක්ෂණය බෙහෙවින් සිත් ගනී. මේ අනුව තියුණු සමාජ නිරීක්ෂණය වෙතට ලෝක සාහිත්‍යයේ උපුටන සමෝධානය කිරීමෙන් තෙවන අර්ථයක් මතු කර ගැනීමට පාඨකයාට ඉඩ සැලසේ. වාස්තවික යථාර්ථය ඉක්මවා යන ආත්මීය සංවාදයක් ගොඩ නංවා ගැනීමට එය උපකාරී වේ.

මෙම නවකතාව පුරාම ප්‍රබල හැඟවුමක් ලෙස රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සමිට් නිල නිවාස ඉදිරිපත් කෙරේ. දිවා කාලය තුළ චක්‍රලේඛ සිපිරි ගෙවල්වල සිරගතව සිටින මොවුහු ගොම්මන වන විට මෙම නිවාස වෙතට ගාල් වෙති.මෙම නිවැසියන් අතර සබඳතා ද හායි බායි සීමාවෙන් ඔබ්බට යන්නේ කලාතුරකිනි. එම පරිසරයේ පවත්නා ගුප්තමය ගොම්මන් අඳුර හුදෙකලා ගුහාගත වීමකටම ආයාචනා කරයි. මෙම යාන්ත්‍රික දිනචරියාව තුළ බලය පිළිබඳ සාධකය ද නොඅඩුව සැරිසරයි .

සමස්ත ලාංකීය සමාජය තුළ මේ මොහොතේ පවත්නා විරුද්ධාභාසී ස්වභාවය එරික් මෙසේ තම නවකතාවේ චරිතයක මුවඟට නංවයි. ” මචං, මේක පුදුම ලෝකයක්. මුං අද ධර්මය කියවන්නෙ අධර්මිෂ්ඨ වෙන්න පුළුවන් ඉඩක් පාදා ගන්න. මාක්ස්වාදය කියවන්නෙ ඥානවන්ත ක්‍රමයකට ප්‍රතිකොමියුනිස්ට් වෙන්ඩ. මුං හිට්ලර්ලගෙ…මුසොලිනිලගෙ…ජුදාස්ලගෙ දරුවො. මේක විපරීත යුගයක් බං.”

සමාප්තියට ළං වන විට විපරීත වීම අරුමයක් නොවේ.

උදිත අලහකෝන්

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...