සුද්දො දියුණු වෙන්නෙ ඇයි? ටොම් කෲස් ඉන්න Mission Impossible 07

Share post:

අපි සුද්දට වෛර කරනවා. පළිගන්න ඕන කියනවා. අපෙන් ගත්ත ඒවා දියව් කියනවා. සුද්ද අපි අතඇරලා ගිහින් ගොඩක් කල්. තාම අර පරණ පරම්පරාවේ අය රෑ දවල් කියන්නෙ- මතුරන්නෙ සුද්දගෙ නව යටත් විජිත මොකක් ද කියලා. නෑ දැන් අර ග්ලෝබල් යුගය. අපි වැටුනොත් සුද්දාත් වැටෙනවා. සුද්දගෙ දේවල් මිළදී ගන්න, ගත්ත ණය ආපහු ගෙවන්න අපි දියුණුවෙලා ඉන්න ඕනනේ. අපි වැටුනොත් සුද්දට ඒ අවස්ථාව නැතිවෙන. ඒක හරියට තේරුම් ගත්තොත් අපිටත් සුද්දගෙ රටවලට බෝට්ටුවේ හරි නැගලා යන්නෙ නැතුව මේකත් පාරාදීසයක් කරගන්න පුළුවන්. ඒ කොහොම ද? දැං මේ කතාව ටොම් කෲස් ගේ මිෂන් ඉම්පොසිබල් එක්ක තියෙන සම්බන්ධය.

බටහිර තියෙන අතිශය ජනප්‍රිය ක්‍රියාදාම චිත්‍රපට අතර තවමත් ජනප්‍රිය චිත්‍රපට දෙකක් තමයි James Bond චිත්‍රපට මාලාව සහ Mission Impossible චිත්‍රපට මාලාව. දැන් මේ අවුරුද්දෙ ඒකෙ හත්වෙනි එකත් එනවා.මේකෙ සාමාන්‍ය අදහස ගත්තොත් ඉටුකරන්න බැරි ක්‍රියාන්විතය වගේ අදහසක් තමයි තියෙන්නෙ. ඒත් බටහිරයා කරන්නෙ පුළුවන් තරම් තමන්ට කරන්න බැරියි කියන ඒවා කරන්න උත්සහ කරන එක. සංකල්ප මවන එක. ඒවාට සැබෑ ලෝකයේ පන දෙන එක. මේ සසර, දුකින් පිරුණ එකක්ය, අනිත්‍යය, කරුමය කියන ඒවා එයාලට වැඩක් නැති සංකල්ප. මොකද ඊට පස්සෙ උන් දන්නවා කරන්න බැරි දේවල් කරලා ගොඩ යන හැටි. ජීවිතේ ෆුල් මාර්වලස් එකේ ගෙනියන හැටි.

මේ ඔක්කොම ගත්තම බටහිරයා කරන දේ තමයි මේ ලෞකික ජීවිතය වඩාත් සුවපහසු කරගන්න, දියුණු කරගන්න ක්‍රම හදාගන්න එක. නොපෙනෙන ස්වර්ගයක්, ඊළඟ ආත්මයක් වෙනුවෙන් කාලය කාලය කනවාට වඩා කරන්නෙ නිතරම අලුත් යමක් හොයාගන්න. මේ ආත්මෙ උඹලා අපට සැප දියල්ලා, උඹලා ඊළඟ ආත්මෙ සැප ගනිල්ලා කියන බොරුවට නම් සුද්දො අහුවෙන්නෙ නෑ. එයාලගෙ දෙවියන්ගෙ දතක් ඇට සැකිල්ලම මොනවා හරි කිව්වත් උන් සැලෙන්නෙ නෑ. මොකද ඒකට කරන්න පුළුවන් දෙයක් නෑ කියලා උන් දන්නවා. අනිත් ඕවගෙ එල්ලි එල්ලි ඉන්න උන්ට වෙලාවක් නෑ. ඉන්න ටිකේ කාටවත් කරදරයක් නැතුව හැට පැන්නත් ක්ලබ් එකට ගිහින්, අඩියක් පුඩියක් ගහලා, කම් සැප අරගෙන ජීවිතේ ඇරියස් තියාගන්නෙ නැතිව ජීවත්වෙන එක තමයි උන්ගෙ තියරිය. උන් උත්සහ කරනවා, හිතනවා, පර්යේෂණ කරනවා, සොයාගන්නවා. ඊට පස්සේ ඒවා අපට විකුණනවා.

අපිව පොඩි කාලෙ ඉඳන් බොහෝ විට උගන්වන්නේ ජීවිතය නෙගටිව් කරගන්න හැටි. කාන්තාවෝ පිරිමි බොහොමයක් 40 පනිනකොටම ලොස් වෙනවා. ජීවිතේ ඉවරයි කියලා හිතලා පුද-පූජා කරන්න ඊළඟ ආත්මේ සැප හෝ නිවන සොයාගන්න බඩගානවා. ඔය ඊනියා අසපු වලට රංගන තරුණ කොල්ලො කෙල්ලො සමහරක්ගේ ලෞකික ජීවිත-ප්‍රේමණය සබඳතා- විවාහ බිඳ වැටිලා යන අමුතු දහම් දේශනා වෙනවා. කොච්චර මැරීගෙන පාඩම් කරත්, ඉගෙන ගන්න දක්ෂ වුණත් ළමයින්ට පුරුදු කරන්නෙ බෝධි පූජා, මිත්‍යා කර්ම, සෙත්-පිරිත් වාගේ දේවල් වලින් තමයි ගොඩ යන්නෙ කියලා. එතනින්ම අර ආත්ම විශ්වාසය කියන එක බිඳ වට්ටනවා.

දැන් බටහිරයා එහෙම කරනකොට අපේ ඇතැම් ආචාර්ය-මහාචාර්ය, පූජක අය අපිට යෝජනා කරන්නේ කුමක් ද? අන්න රට ජාතිය අනතුරේ, ආගම අනතුරේ, බටහිරයා කුමන්ත්‍රණ කරනවා අපිට කෙළවන්න වගේ එකක්. ඊළඟට දවස් තුන්සිය හැටපහේම මතුරනවා “ බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක්” කියලා. ඒ පස්සෙ යන ගව රැළකුත් බිහිවෙනවා. ඉතිං එහෙනම් හොයාගනිල්ලාකො “පෙරදිග විද්‍යාව ඇත්ත” කියලා මොකක් හරි එක දෙයක් අලුතින්. එහෙම හීනමානයෙන් මතුරපු මහාචාරියා අපේ බෙහෙත් කරලා බැරි තැන, මර භයෙන් කරගත්තේ බටහිරයා හොයාගත්තු බයිපාස් සැත්කමක් තමන්ගෙ හදවත් ලෙඩෙන් ජීවිතය බේරා ගත්ත එක තමයි කරේ. ඒ විතරක් මෙහෙම රැයක් දවාලක් නැතුව මතුරන මේ අයම තමයි සැප ගන්න, ඉගෙන ගන්න, රස්සා කරන්න, සංචාරය කරන්න බටහිර සුද්දන්ගේ රටවල්ම තෝරාගන්නෙ. මේ අය අතර අර ලංකාවේ අර වාමාංශික කියන සෙට් එක ඉන්නවානේ. ඒ අය කොමියුනිස්ට් ක්‍රමටය, සමාජවාදී ක්‍රමයට හරි කැමැති නෙ. ඒත් නිකමට වත් බැරිවෙලාවත් ඔය කියුබාවට, රුසියාවට, චීනයට, උතුරු කොරියාවට, වියට්නාමයට වත් යන්න හිතන්නේ නෑ. අඩුම ගානේ සමාජවාදය කඩා වැටුනෙ කොහොම ද කියලා වත් ඇත්තටම හොයලා බලන්න පුලුවන්නෙ. ඉතිං ප්‍රශ්නය තියෙන්නෙ මේ ටික අපිට සුද්දාට බැන-බැන, ධනවාදයට බැන-බැන, නව ලිබරල් එකට, නියෝ ලිබරල් එකට බැන බැන උං ඒ රටවලටම අර උඩ කියපු විදිහට පැන ගැනීමයි.

ඉතිං මේ Mission Impossible චිත්‍රපට මාලාවේ අති සුවිශේෂය තමයි ප්‍රධාන නලුවා විසින්ම අති බිහිසුණු ක්‍රියාදාම නිරූපනය කිරීම. ඔහු වෙනුවෙන් ආදේශක ක්‍රියාදාම නලුවෙක් නෑ. චිත්‍රපටයෙන් චිත්‍රපටයට අලුත් තාක්ෂණයන්, අලුත් ක්‍රියාදාම යොදාගන්නවා. බය නැතිව ඒවාට ආයෝජනය කරනවා. ඊළඟට ඉන්දියාවෙ බොලිවුඩයත් කොපි කරන්නෙ ඒවා. අන්තිමට සුද්දා සිනමාවේ මායාවෙනුත් ඩොලර් බිලියන ගාණක් හොයාගන්නවා. ඉති මේවාගේ චිත්‍රපට වලින් කරන්නෙ වීරයෝ හදන එක. වීරයින්ට හැදෙන්න සමාජ චින්තනයක් හදන එක. අපේ වෙන්නෙ ඉතිං මිනිසුන්ගේ නිදහස්-විවෘත-නිර්මාණශීලී අදහස් වලට විලංගු දාන එක. දිරා යන කුණු කයේ කොටසකට අපහාස කරා කියලා නඩු දදා ඉන්න එක. උපතේ ඉඳන් මැරෙණ කම් ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන හිත හිතා ඉන්න එක. ජාත්‍යන්තර ඉස්සරහට යනවා. ඒ කළ නොහැකි දේ කරන්න පුළුවන් බව ඔප්පු කිරීමෙන්. ඒකට ඇත්ත වීරයෝ හදන්න ඕන. ඇත්ත වීරයෝ කියන්නෙ නව්‍ය සහ නවීකාරක විදිහට හිතන මිනිස්සු. ඇත්ත වීරයෝ හදන්න නිදහස් චින්තනය අවශ්‍යයි. අර විශ්වාසයන්ට-මේ විශ්වාසයන් ගැති මානසිකත්වයක් හදන තාක් කල් අපි තුළ විවෘත-නව්‍ය-නිර්මාණශීලී චින්තනයක් හැදෙන්නෙ නෑ. රටයි අපේ ජීවිතයි ඉස්සරහට යන්නෙ නෑ එක තැන පල්වෙනවා. අපි නරකාදියක ජීවත්වෙනවා.

අතුල දිසානායක (සමාජ කතා)

Related articles

‘ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැණු’ – කුමුදු කුමාරසිංහ

කුමුදු ගෙ ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු එක්ක ටික දවසක් තිස්සෙ කරළ ගමන අදින් අවසන් කරගත්තා. එතකොට මං...

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...