මැයි 09 අරගලයේදී වෙඩි වැදුණු කමාන්ඩෝ සාජන් මිය යයි : සිරුරට යුනිෆෝම් ඇන්දවීමත් ආරක්ෂක අමාත්‍යංශයෙන් තහනම් කරලා !

Share post:

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පලවාහැරීම සඳහා 2022 මැයි 09දා ගෝල්ෆේස් කේන්ද්‍ර කරගනිමින් පැවති අරගලයේදී වෙඩි පහරකින් හිසට සිදු වූ බවට සැක කෙරෙන බරපතළ තුවාලවලට ප්‍රතිකාර ලබමින් සිටි විශ්‍රාමික කමාන්ඩෝ නිලධාරි ජනක ජයසේන ඊයේ (15) මියගොස් තිබේ.

මාතර, වැල්ලමඩම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන ජනක ජයසේන, කොළඹ ජාතික රෝහලේ මැයි 09 සිට නොවැම්බර් 05 දක්වා ප්‍රතිකාර ලබා තිබේ. ඉන්පසු යුද හමුදා රෝහලට ඇතුළු කර ඇතත්, මොළයේ වතුර එකතු වීමේ තත්ත්වයක් හේතුවෙන් නැවත ජාතික රෝහලට ඇතුළු කර තිබේ. ඉන්පසු වෛද්‍ය නිර්දේශ මත ඔහු සති 2ක කාලයක් නිවසේ ගතකර ඇත.

රෝගී තත්ත්වය උත්සන්න වෙයි

මෙම මුළු කාලය තුළ ම ඔහුට කතා කිරීමට හැකියාවක් ලැබී නැත. එසේ ම ඔහුට නැගිටීමට ද හැකියාවක් ලැබී නැත. පවුලේ සමීපතමයන් පවසන ආකාරයට හදිසියේම ඔහු නැවතත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ය.

2004 විශ්‍රාම ලද නිලධාරියෙක්

යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් මේජර්වරයෙකු ලෙස ඔහු විශ්‍රාම ලබා ඇත්තේ 2004 වසරේදී ය. ඉන්පසු නිශ්ශංක සේනාධිපතිට අයත් ඇවන්ගාඩ් ආරක්ෂක සේවයේ සේවය කර තිබේ. පසුව එයින් ඉවත් වී ඉරාකයේ සහ ජපානයේ සේවය කර ඇති ඔහු, පසුව අඹතලේ ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර නිෂ්පාදන සමාගමක ආරක්ෂක කළමනාකරුවෙකු ලෙස සේවය කර ඇත.

පවුලේ සමීපතමයන් පවසන ආකාරයට ඔහු හොඳ ම කමාන්ඩෝ සෙබළා ඇතුළු පදක්කම් රැසක් දිනාගෙන ඇති අතර, යුද්ධය ආවරණය කළ වීඩියෝ ශිල්පියෙකු ලෙස ද රාජකාරි කර තිබේ.

මරණයට හේතුව ?

ඔහුට වෙඩි වැදුණු බව මුලදී සඳහන් කොට ඇතත්, මරණ පරීක්ෂණ වාර්තාවේ එවැන්නක් සඳහන් නොවන බව ද පවුලේ සමීපතමයෝ පවසති. හිසට වැදුණු පහරක් හේතුවෙන් ඇති වූ තුවාලයකට විෂබීජ යෑමත්, ඉන්පසු ඇති වූ නිව්මෝනියා තත්ත්වයත් හේතුවෙන් ජනක ජයසේන මියගොස් ඇති බව එම වාර්තාවේ සඳහන් වන්නේ යැයි ද ඔවුහු සඳහන් කරති.

යුනිෆෝම් තහනම්

මෙම සැරයන් මේජර්වරයාගේ සිරුරට කමාන්ඩෝ නිල ඇඳුම ඇන්දවීම නොකළ යුතු බවට ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ ම නිලධාරියෙකු විසින් යුද හමුදා කොමාන්ඩෝ බලකායට නියෝග කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව කොමාන්ඩෝ බලකායේ ඉහළ නිලධාරීන් මිය ගිය විශ්‍රාමික  නිලධාරියාගේ සමීපතමයන්ට අදාළ උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව ඔහුට නිල ඇඳුම අන්දවා නැත.

පවතින නීතිය

යුද හමුදාව විසින් පනවන ලද නීතියකට අනුව යම් වරදකට අධිකරණයෙන් වරදකරු කරනු ලැබුවහොත් හෝ යුද හමුදාවෙන් විනය හේතු මත ඉවත් කරනු ලැබුවහොත් හෝ යුද හමුදාවෙන් පළාගිය අයෙකු වුවහොත් ඔහුට මරණයේදී උත්තමාචාර හිමි නොවන බව මේ සම්බන්ධයෙන් විමසීමේදී හමුදාවේ ඉහළ නිලධාරියෙක් පැවසීය. එහෙත් ජනක ජයසේනගේ පවුලේ සමීපතමයන් සඳහන් කරන්නේ ඔහු කිසිදු අවස්ථාවක පිළිගත් අධිකරණයකින් වරදකරු කර නැති බවයි. එසේ ම දිගට ම ඔහුට හිමි විශ්‍රාම වැටුප ලැබුණු බව ද ඔවුහු තහවුරු කරති.

ප්‍රතිචාරය පළකිරීමට සූදානම් !

මේ සම්බන්ධයෙන් විමසීමට යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රවී හේරත් සම්බන්ධ කර ගැනීමට thetime.lk අවස්ථා ගණනාවකදී ම උත්සාහ කළ ද, ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම නිසා එය අසාර්ථක විය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...