දෙවැනියාට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ගැන පොලිසිය තවම නිහඬයි ? : යම් කාලයක් අවශ්‍යයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Share post:

පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවැනියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයට අදාළ ව මෙතෙක් පොලිස්පතිවරයා කිසිදු තීරණයක් ගෙන නැත.

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ අදාළ තීන්දුව අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවයි. එහෙත් එම තීන්දුව පොලිස් නීති කොට්ඨාසය මගින් අධ්‍යයනය කොට, පොලිස්පතිවරයාට ලබාදීමෙන් පසු ඊට අදාළ පියවර ගත යුතුව ඇතැයි ද, ඊට යම් කාලයක් අවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් තීන්දුව ලබාදී දින 03ක් ගතවන විටත් පොලිසිය පාර්ශ්වයෙන් ඊට නිසි පිළිතුරක් ලබාදීමට අපොහොසත් වීම ගැටළුවක් සහ පක්ෂපාතී හැසිරීමක් පෙන්නුම් කරන්නක් බව නීති විශාරදයෝ පවසති.  

මාධ්‍ය හමුව

මේ අතර අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදී පැය 02කට පසු පැවති මාධ්‍ය හමුවකදී ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණේ නියෝගය පිළිබඳව පොලිස් මූලස්ථානය දැනුවත් කර නොමැති බවයි. මෙය බරපතළ ප්‍රකාශයක් බවටත්, අධිකරණය හෑල්ලුවට ලක්කිරීමක් බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ විචාරකයන් අදහස් පළකර තිබිණි.

තීන්දුව

2019 අප්‍රේල් 21දා සිදු කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් සලකා බැලීමෙන් පසු, ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අදාළ වගඋත්තරකරුවන් 5 දෙනෙකුට රුපියල් මිලියන 310ක වන්දියක් වින්දිතයන්ට ගෙවන ලෙස නියෝග කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර, එවකට ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ එවකට රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන මෙම වගඋත්තරකරුවන් 5 දෙනා වූහ. මේ අතරින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කෙරිණි.

ඊළඟ පොලිස්පති ?

පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පතිවරයාට පසු, ඊළඟ ධුරය වන පොලිස් පරිපාලන කොට්ඨාසයේ වැඩ බලන ප්‍රධානියා වන්නේ නිලන්ත ජයවර්ධන ය. ලබන මාර්තු 31දා වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න විශ්‍රාම යෑමට නියමිත ය. ඔහුට සේවා දිගුවක් ලබානොදුන්නහොත්, මීළඟ පොලිස්පති ධුරයට පත්වන්නේ නිලන්ත ජයවර්ධන බවට අනාවැකි පළවෙමින් තිබිණි.

ඔහු සම්බන්ධයෙන් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක කළ යුතුව ඇත්තේ එවැනි තත්ත්වයක් යටතේ ය.

Related articles

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...