පාස්කු ප්‍රහාරය : මෛත්‍රී – හේමසිරි – නිලන්ත – පූජිත් – සිසිර වැරදිකරුවන් : මිලියන 310ක් පෞද්ගලික මුදලින් වින්දිතයන්ට ගෙවන්න නියෝග !

Share post:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ජාතික බුද්ධි සේවයේ එවකට හිටපු ප්‍රධානී සිසිර මෙන්ඩිස්, රාජ්‍ය බුද්ධි අංශයේ එවකට ප්‍රධානී නිලන්ත ජයවර්ධන, එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මීට අදාළ ව මෛත්‍රිපාල සිරිසේනට තම පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 100ක්, හේමසිරි ප්‍රනාන්දුට තම පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 50ක්, නිලන්ත ජයවර්ධනට තම පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 75ක්, පුජිත් ජයසුන්දරට තම පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 75ක්, සිසිර මෙන්ඩිස්ට තම පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 10ක් වන්දි ලෙස වින්දිතයන්ට ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මීට අමතරව රජය විසින් වින්දිතයන්ට රුපියල් මිලියනයක් වන්දි වශයෙන් ගෙවිය යුතු බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. එසේ ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කෙරිණි. නිලන්ත ජයවර්ධන පසුගියදා පොලිස් පරිපාලන කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (වැඩ බලන) ලෙස ද පත්කෙරිණි. මෙය හඳුන්වන්නේ පොලිසියේ දෙවැනියා ලෙස ය.

පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන සහ කොළඹ තරු පහේ හෝටල්වලට ප්‍රහාර එල්ල කරන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලබාදී තිබියදීත් එය වලක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගත් බවට පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබිණි. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු, නිලන්ත ජයවර්ධන, සිසිර මෙන්ඩිස් සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව මෙම ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් වූ පුද්ගලයන්, කතෝලික පියතුමන්ලා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල ඇතුළු පාර්ශ්ව 12ක් විසින් මෙම පෙත්සම් ගොනුකළහ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාග කෙරිණි.

පසුගිය 05දා මෙම පෙත්සම් අවසන් වරට විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ එහි තීන්දුව අද (12) ප්‍රකාශයට පත්කරන බවයි.

2019 අප්‍රේල් 21දා කතෝලික දේවස්ථාන සහ කොළඹ තරු පහේ හෝටල් ඉලක්ක කර එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 269 දෙනෙක් මියගොස් තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබූහ.

මේ අතර ප්‍රහාරය සිදු වන අවස්ථාව වන විට අගමැති ධුරය දැරූ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මෙහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කර තිබිණි. එහෙත් ඔහු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු නීතිඥයන් මගින් අධිකරණයට දැනුම් දුන්නේ සිය ධුර කාලය තුළ තමන්ට එරෙහිව මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...