කංසා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත් එම තනතුරට පත්කර ඇත්තේ ඔහු සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස මොණරාගල පොලිස් කොට්ඨාසයේ පොලිස් දිස්ත්‍රික්කයක් (ඒඑස්පී රේන්ජ්) බාරව කටයුතු කරද්දී ලැබුණු පෙත්සමකට අනුව ස්ථාන මාරු කර තිබියදී බව වාර්තා වේ.
පෙත්සම ගැන විමර්ශන
එම පෙත්සම ලැබීඇත්තේ ද සිසිල කුමාර හේරත්ගේ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් වන අතර, පෙත්සම ගැන විමර්ශනය කරන ලෙස එවකට ඌව පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බදුල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදුන් උපදෙස් මත ඔහු යටතේ සිටි පොලිස් අධිකාරිවරයකු මගින් ඒ ගැන විමර්ශනයක් කර තිබේ.
එම දීර්ඝ විමර්ශනයේදී තහවුරු වී ඇත්තේ පෙත්සමේ ඇති කරුණ සත්‍යය බවයි. ඒ අනුව විමර්ශන නිලධාරියා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ගේ නිර්දේශය වූයේ මොණරාගල දිසාවෙන් සිසිල කුමාර හේරත් වහාම ස්ථාන මාරුකිරීම බවත්, ඒ අනුව පොලිස්පතිවරයා විසින් ඔහු ස්ථාන මාරු කළ බවත්, පසුව දේශබන්දු තෙන්නකෝන් කොළඹ උතුර ගම්පහ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන සමයේ දී මීගමුව කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස සිසිල කුමාර හේරත් පත්වූ බවත් පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
පාස්කු චූදිතයෙකු ලෙස
සහරාන්ගේ කණ්ඩායමේ සාමාජිකයකු මීගමුවේ, කටුවපිටිය දේවස්ථානයට 2019 අප්‍රේල් 21දා බෝම්බ ප්‍රහාරය එල්ල කළ සමයේදී ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළේ සිසිල කුමාර හේරත් ය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන රාජකාරි පැහැර හැරි පොලිස් නිලධාරීන්ගේ නම් ලැයිස්තුවේ ඔහුගේ නම ද ඇති අතර, ඔහුට එරෙහිව ද චෝදනා පත්‍රයක් ලබාදෙන ලෙස මීට පෙර පොලිස් විශේෂ විමර්ශන ඒකකය නිර්දේශ කර තිබිණි.
එවකට වැඩ බලන පොලිස්පති ලෙස සිටි, වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න එම නිර්දේශය, කෙටුම්පත් කරන ලද චෝදනා පත්‍ර ද සමඟ ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමු කළේය. ජාතික පොලිස් කොමිෂන් සභාව 2020 ජනවාරි මාසයේදී රැස්වී තීන්දු කළේ ඒ වන විට පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කර ඇති නිසා එහි වාර්තාව ලැබෙන තෙක් චෝදනා පත්‍ර කෙටුම්පත් ලබානොදී බහා තැබීමටයි.
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ලැබෙන විට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් තිබුණු අතර, එමගින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැවරීම සිදු විය. රාජ්‍ය සේවා කොමිෂන් සභාව වසරකට පමණ පසු එම චෝදනා පත්‍ර සිසිල කුමාර හේරත්, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසට ලබාදීම සඳහා මහජන සාමය අමාත්‍යංශය වෙත එවා තිබුණද, ඒවා ලබාදීම සිදු කළේ නැත.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන දැනුම්දීම සඳහා 2021 ජුනි මාසයේදී එවකට මහජන සාමය ඇමැති සරත් වීරසේකර සහ එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ අතර, චූදිත පොලිස් නිලධාරීන්ට චෝදනා පත්‍ර ලබානොදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එම අවස්ථාවේදී විමසීමක් කළේය. ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය සරත් වීරසේකර මෙසේ ප්‍රකාශ කළේය.
‘ඔවුන්ට විරුද්ධව විමර්ශනයක් කරලා ගිය අවුරුද්දෙද කොහෙද පොලිස් කොමිසමට බාර දීලා තියෙනවා. පොලිස් කොමිසම අහෝසි වෙනකොට ඒක රාජ්‍ය සේවා කොමිෂන් සභාවට බාර දීලා තියෙනවා. ඊයෙ පෙරේදා වෙනකොට රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් චෝදනා පත්‍ර පොලිසියට ලැබිලා තියනවා. ඔවුන්ට අපි ඒක යොමු කරනවා.’
වීරසේකර හිටපු අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළ ද, රාජකාරි පැහැර හැරි පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝනාපත්ර ලබාදීම සිදු නොවිණි. විශේෂ විමර්ශන ඒකකයේ වාර්තාව සහ කෙටුම්පත් කරන ලද චෝදනා පත්‍ර ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමු කළ එවකට වැඩ බලන පොලිස්පතිවරයා වූ චන්දන වික්‍රමරත්න 2021 වසර වන විට පොලිස්පතිවරයා ලෙස සිටිමින් එම ඇතැම් නිලධාරීන්ට අපරාධ නඩුවල සාක්කිකරුවන් විය හැකි නිසා එම චෝදනා පත්‍ර ලබානොදෙන ලෙස මහජන සාමය අමාත්‍යංශයට දැනුම් දී තිබිණි.
පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සහකාර පොලිස් අධිකාරි සිසිල කුමාර ගැන මෙසේ සඳහන් වේ.
‘ඔහු ආගමික අන්තවාදය හා අල්කයිඩා සම්බන්ධයෙන් තුර්කියේ පාඨමාලවක් සඳහා සහභාගි වූ බැවින් පළපුරුදු නිලධාරියෙකි. සී 365 සහ 375 සමඟ සී4 අ, ආ, ඇ, තොරතුරු ඔහුට ලැබිණි. කෙසේ වෙතත් ඔහු තොරතුරු ස්ථානාධිපතිවරුන්ට යවා නැත. ආරක්ෂාව ශක්තිමත් කිරීමට ඔහුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරලගෙන් ඇමතුමක් ලැබිණි. ඔහුට ලැබුණු තොරතුරුවලට අනුව ඔහු යටතේ ඇති පොලිස් ස්ථාන නිසි ලෙස පාලනය කර නොතිබිණි. එබැවින් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පරීක්ෂණ කොමිසම නිර්දේශ කරයි.’
(පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ සිංහල පිටපතේ 355 පිටුව)
පාස්කු ප්‍රහාරයේ වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම වළක්වා ගැනීම සඳහා මහා නාහිමිවරුන්ට කන්නලව් කිරීමට දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු කණ්ඩායමේ සිසිල කුමාර හේරත් ද සාමාජිකයකු වන අතර, මහා නාහිමිවරුන් බැහැදැකීමෙන් පසු ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූයේ ද ඔහු විසිනි.
කංසා සිදුවීම
මොණරාගල කොට්ඨාසයේ සිදු කරනු ලබන විශේෂ වැටලීම් මෙහෙයුම් රාජකාරි සඳහා නිලධාරීන් කැඳවමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත් 2022 දෙසැම්බර් මස 31 දා ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දුරකතන පණිවුඩයක් යොමු කර ඇති අතර, ඉන්පසු එම ලැයිස්තුව සංශෝධනය කරමින් යළිත් වරක් දුරකතන පණිවුඩයක් යොමු කර එම ලැයිස්තුවේ නම් සඳහන් නිලධාරීන්ට ජනවාරි මස 03දා උදෑසන 9.00ට අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා තම කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් සකස් කරන ලද පළමු කණ්ඩායමට සියඹලාණ්ඩුව පොලිසියේ උප පොලිස් පරීක්ෂක ටී.එම්.එම්.අයි.බණ්ඩාර ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනෙක් ද, හම්බෙගමුව පොලිසියේ නිලධාරීන් තිදෙනෙක් ද, මොණරාගල පොලිසියෙන්, වැල්ලවාය පොලිසියෙන් සහ ගොවිඳුපුර පොලිසියෙන් එක් නිලධාරියෙකු බැගින් තිදෙනෙක් ද බැගින් නිලධාරීහු 10ක් ඇතුළත් වූහ. දෙවැනි කණ්ඩායමට ගෝනගංආර පොලිසියේ උප පොලිස් පරීක්ෂක ආර්.එම්.එස්.පී.බණ්ඩාර ඇතුළු එම පොලිසියේ පස්දෙනෙක් ද, කුඩා ඔය පොලිසියේ දෙදෙනෙක් ද, ඇතිමලේ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් ද, සියඹලාණ්ඩුව පොලිසියේ එක් නිලධාරියෙක් ද වශයෙන් 10ක් ඇතුළත් වූහ.
තුන් වැනි කණ්ඩායමට බඩල්කුඹුර පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක ගුණසේන ද, මොණරාගල පොලිසියේ පස්දෙනෙක් ද, ඔක්කම්පිටිය පොලිසියේ තිදෙනෙක් ද, කරාඩුගල පොලිසියේ එක් නිලධාරියෙක් ද වශයෙන් 10 දෙනෙක් සිටි අතර, හතර වැනි කණ්ඩායමට බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂක ඩී.එම්.සෙනෙවිරත්න ද, කරාඬුගල පොලිස් ස්ථානයේ හතර දෙනෙක් ද, ඔක්කම්පිටිය පොලිසියේ පස්දෙනෙක් ද ඇතුළු නිලධාරීන් 10ක් ද සිටියහ. මේ ආකාරයට කණ්ඩායම් 10ක් සකස් කර ඇති අතර, ඔවුන්ට වැටලීම් කරන ආකාරය ගැන උපදෙස් ලබාදී තිබේ.
එම නිලධාරීන්ට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලබාදී ඇති උපදෙස් මාලාවේ දෙවැනි උපදෙස වන්නේ වැටලීමට සහභාගි වන කිසිදු නිලධාරියකු දූෂිත, විෂමාචාර ක්‍රියාවන්, අල්ලස් ලබාගැනීම්, ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීම් නොකළ යුතු බවයි. සති දෙකක කාලයක් සඳහා මෙම වැටලීම් කණ්ඩායම් පත්කර තිබෙන අතර, වැටලීම් කාලයේදී අත්අඩංගුවට ගන්නා සියලුම නඩු භාණ්ඩ අදාළ පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කරන ලෙස ද උපදෙස් ලබාදී තිබේ. එනම් වැටලීමකදී අත්අඩංගුවට ගන්නා නඩු භාණ්ඩ වෙනත් පුද්ගලයකුට බාර දීම සිදු නොකළ යුතු අතර, කළ යුත්තේ ඔවුන් විසින්ම අදාළ පොලිස් ස්ථානයකට බාරදීම ය. වැටලීමේදී අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවට සහ ඔවුන් සමග ගැටුම් ඇති කර නොගැනීමට වගබලා ගන්නා ලෙසට ද ආදී වශයෙන් ඉතා වැදගත් උපදෙස් මාලාවක් තමන් වෙත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලබාදුන් බව එම වැටලීම් කණ්ඩායමේ සිටි පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව සියඹලාණ්ඩුව පොලිසියේ උප පොලිස් පරීක්ෂක ටී.එම්.එම්.අයි.බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් යුත් පළමු වැටලීම් කණ්ඩායම කංසා හේන් වැටලීමක් සඳහා කැබිලිත්ත රක්ෂිතයට පිටවී ගොස් ඇති අතර, ඔවුන් දින කිහිපයක් රැඳීසිටිමින් කැබිලිත්ත රක්ෂිතයේ බුබුර නම් ප්‍රදේශයේ නීති විරෝධී කංසා හේනක් ගැන තොරතුරු රැස් කර, අවසානයේ ජනවාරි 06දා අක්කර එක හමාරක පමණ විශාලත්වයෙන් යුත් කංසා හේන සොයාගෙන ඇත. මෙම සොයාගැනීම ගැන එම අවස්ථාවේදී ම වැටලීමට ගිය පිරිස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම් දී තිබේ.
එසේ දැනුම් දීමෙන් පසු සාමාන්‍ය සම්ප්‍රදායට එහා ගොස් මෙම වැටලීම ගැන සොයා බලා නඩු භාණ්ඩ රැගෙන එන ලෙසට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර, ඇතිමලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එම්.සංජය ධර්මදාසට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව තවත් පිරිසක් සමඟ ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ ස්ථානයට ගොස් තිබෙන අතර, විශේෂ වැටලීම් කණ්ඩායම වැටලූ කංසා හේනෙන් පැළ විශාල සංඛ්‍යාවක් ගලවා නඩු භාණ්ඩ ලෙස ට්‍රැක්ටරයකට පටවන ලෙසට ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ. එම උපදෙස් අනුව අඩි හතරක්-පහක් උසැති කංසා පැළ 25,000කට වැඩි ප්‍රමාණයක් තිබූ එම කංසා වගාවෙන් ට්‍රැක්ටරයක් පිරෙන්නට කංසා ගස් ගලවා පටවා ඇති බව වැටලීම් කණ්ඩායමේ ආරංචි මාර්ග කියයි.
වැටලීම කළ නිලධාරීන්ගෙන් නඩු භාණ්ඩ ලෙස කංසා ගස් ට්‍රැක්ටරයක් පිරෙන්නට ලබාගැනීමෙන් පසු එම ට්රැක්ටරය ඇතිමලේ පොලිස් ස්ථානයට ගෙනැවිත්, ඉන් කංසා ගස් 230ක් පමණක් නඩු භාණ්ඩ ලෙස ලේඛනවලට ඇතුළත් කර තිබේ. ඉතිරි කංසා පැළ තොගය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ඉල්ලීම පරිදි ඔහුට යැවීම සඳහා ඇතිමලේ පොලිසියේදී ම මිටි ලෙස වෙන්කරමින් බැඳ ඇති අතර, පසුව ඇතිමලේ පොලිස් ජීප් රථයෙන් එම කංසා ගස් තොගය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවස වෙත ප්‍රවාහනය කර ඇතැයි වාර්තා වේ.
ඇතිමලේ ස්ථානාධිපතිට නිවාඩු
එසේ කංසා ගෙන්වා ගැනීමෙන් පසු ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාට පූර්ව ලිඛිත අවසර ලබාදීමකින් තොරව නිවාඩු සඳහා පිටව යෑමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අවසර දී තිබෙන අතර, නඩු භාණ්ඩ ලෙස බාර ගත් කංසා පැළ 230ද අධිකරණයට ඉදිරිපත් කිරීමටත් පෙර ම ඇතිමලේ ස්ථානාධිපතිවරයා පිටව ගොස් තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගත් ඊයේ (09) සවස්වරුව වන විටත් ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා සේවයට වාර්තා කර නොතිබිණි. ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැඩි බියකින් පසුවූ බවත්, ඔහු තම රන් භාණ්ඩ පවා උකස් කර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ ඉල්ලීම පරිදි විවිධ භාණ්ඩ වර්ග ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ නිල නිවස වෙත ප්‍රවාහනය කර ඇති බවත්, ඔහුට බලපෑම් කර එසේ භාණ්ඩ ගෙන්වාගැනීම ගැන ද විමර්ශන කළ යුතු බවත් මොණරාගල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරන නිලධාරියෙක් සඳහන් කළේය.
තවත් කංසා තොගයක් අතුරුදන්
වැටලීම කළ නිලධාරීන් ට්‍රැක්ටරයක් පිරෙන්නට කංසා පැළ එවූවද, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසේ තිබී හමුවූ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ කංසා පැළ 650ක ප්‍රමාණයක් පමණි. එනම් කිලෝ 15කට ආසන්න ප්‍රමාණයක් බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
ට්‍රැක්ටරයක් පිරෙන්නට කංසා පැළ හේනෙන් පටවා එවූයේ නම්, එහි අඩු තරමේ කිලෝ 30කට අධික කංසා පැළ 2,000කට වැඩි ප්‍රමාණයක් තිබිය යුතු වුවද, නඩු භාණ්ඩ ලෙස ඇතිමලේ පොලිසිය ලකුණු කළ ගස් 230ත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ නිවසෙන් සොයා ගත් බව කියන ගස් 650ටත් අමතරව ඉතිරි ප්‍රමාණය ගැන මේ වනවිටත් බරපතළ සැකයක් මතුවී තිබේ. ඉතිරි ප්‍රමාණය මේ වනවිටත් ජාවාරම් කර තිබේ ද, එසේ නැත්නම් වෙනත් ස්ථානයක සඟවා තිබේ ද යන්න පිළිබඳව සෙවිය යුතුය.
වැසිකිළි සෙල්ලම
මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සම්බන්ධයෙන් මෑතක එල්ලවූ තවත් බරපතළ චෝදනාවක් වූයේ මොණරාගල කොට්ඨාසයේ පොලිසිවල වැසිකිළි ඉදිකිරීමට ලැබුණු මුදල් අවභාවිත කළ බවටයි. එනම් පොලිසිවල වැසිකිළි පද්ධති ඉදිකිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී ඇති බවත්, මොණරාගල කොට්ඨාසයේ පොලිසිවල වැසිකිළි පද්ධති 10ක් පමණ ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන වෙන්වී ඇති බවත්, ඒ අනුව මෙම කොට්ඨාසයේ වැසිකිළි පද්ධති ඉදිකර ඇත්තේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් බඩු භාණ්ඩ ගෙන පොලිස් නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙන් බවටත් දැනගන්නට තිබේ. කෙසේ වෙතත් ඊට අදාළ ව බිල් සකස් කර අදාළ ප්‍රතිපාදන මුදල ගසා කෑ බවට ද වාර්තා වන නමුත් මෙම කාරණාවට අදාළ ව සත්‍යාසත්‍ය බව තහවුරු කර ගැනීමට නොහැකි විය.
වැසිකිළි කාරණාව ගැන විමසීමේදි පොලිස් මූලස්ථානයේ ප්රකාශකයෙන් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශන කරගෙන යන බවයි.
ස්කෑන් මැෂින්
මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවස සෝදිසි කර ඇත්තේ කංසා සොයාබැලීමට නොව මොණරාගල ප්‍රදේශයේ නිධන් හාරන සිදුවීමක් ගැන පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් අනුව කළ වැටලීමක ප්‍රතිඵලයක් ලෙස යැයි එහි ප්‍රකාශකයෙක් කීවේය.
එනම් පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත එහි සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු කණ්ඩායමක් මොණරාගල ප්‍රදේශයේදී පාරේ ගමන් කළ වාහනයක් පරීක්ෂා කර තිබෙන අතර, එහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් සිට තිබේ. එම වාහනයේ සිටි පිරිස ගැන සැක බැවින් ඔවුන් තම බාරයට ගත් විශේෂ කාර්ය බලකාය ඔවුන් රැගෙන ගොස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ නිල නිවස පරීක්ෂා කර ඇත.
එසේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවස පරීක්ෂා කරද්දී කංසා පැළවලට අමතරව පොළොව යට තිබෙන ලෝහ වැනි ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට භාවිත කරන ස්කෑන් යන්ත්‍රයක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. එම ස්කෑන් යන්ත්‍රය ප්‍රදේශයේ නිධන් තිබෙන තැන් ගැන සොයා බැලීමට යොදාගත් බවට සැක කරයි.
මීට පෙරත් නිධන් සිද්ධියක්
මීට පෙර, එනම් 2021 වසරේදී ඇතිමලේ පොලිස් වසමේ ගැමුණුපුර-ගමගල ආරණ්‍ය සේනාසනයට ආසන්නයේ ගමගල ගලෙහි නිධානයක් හාරන බවට ප්‍රදේශවාසීන්ට තොරතුරක් ලැබී තිබේ. මධ්‍යම රාත්‍රියේ මෙම තොරතුර ලැබී ඇති අතර, ඒ වන විට පොලිස් නිලධාරීන් සැලකිය යුතු සංඛ්‍යාවක් මාර්ගයේ තැනින් තැන සිටිනු ප්‍රදේශවාසීන් නිරීක්ෂණය කර තිබේ.
ගමගල ගලෙන් අලුයම වන විට පිපිරුම් ශබ්දයක් ද ඇසී තිබෙන අතර, ප්‍රදේශවාසීන් ඇතිමලේ පොලිස් ස්ථානයට ඇමතුම් ගත්තත් ප්‍රතිචාර ලබාදී නැත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පවා ඇමතුම් ගත්තද ප්‍රතිචාරයක් ලැබී නැත.
ඉන්පසුව ප්‍රදේශවාසීන් මේ ගැන එවකට එහි ග්‍රාම නිලධාරි ඉන්දිකට දැනුම් දී තිබෙන අතර, ඔහු මහත් පරිශ්‍රමයක් දරා පොලිසියට දැනුම් දුන්නද ග්‍රාම නිලධාරි අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමට යනතුරුවත් පොලිසිය එම ස්ථානයට ගොස් නැත.
පසුව පොලිසිය එහි පැමිණියත් සැකකරුවන් සිටියේ නැත. පන්දම් ඇතුළු ද්‍රව්‍ය කිහිපයක් පමණක් පොලිස් බාරයට ගැනිණි.
නීතියෙන් බේරයි ද?