සාම්ප්‍රදායික භ්‍රාහ්මණ වංශික පවුලකට දාව උපන් පලගාට් මනි අයියර්, දකුණු ඉන්දියාවෙන් බිහිවුනු විශිෂ්ඨ ගණයේ මෘදංගම් වාදකයෙක්. ඔහුගේ නම මෘදංගම් බෙරයත් සමග ආත්මීයව බැඳී තියෙනවා. මනි අයියර් දැඩිව විශ්වාස කළා මෘදංගම් කියන්නේ වේද සම්හිතා සමග බැඳුනු සංගීත භාණ්ඩයක් කියා. එහෙත් මෘදංගම් බෙරයට බැඳ ඇත්තේ හරක් සහ එළු හම් සන්ධි කොට නිමවාගත් විශේෂ හමක්. මේ සත්‍යයට මුහුණ දෙන්නට නොහැකි මනි අයියර් දැඩි ප්‍රතිවිරෝධතා හැඟීමකින් පීඩා වින්දා. ඔහු නිරන්තරයෙන්ම ඔහුව ප්‍රශ්න කරගත්තා.
“මා වාදනය කරන සංගීත භාණ්ඩය නිපදවන්නට සතුන් ඝාතනය කරනවා. මේක නිරයට වැටෙන්නට තරම් පාපී කටයුත්තක්.”
මේ සැකය පහදා ගන්නා අටියෙන් මනි අයියර්, එවක, ගාන්ධිගේ හෘද සාක්ෂිය සුරකින්නා ලෙස විරුධාවලිලත් රාජ්‍ය තාන්ත්‍රික, සී. රාජගෝපාලාචාරි මුණගැහෙන්නට යනවා. රාජාජී හිතෝපදේශයක් උපුටා දක්වමින් මෙහෙම උත්තර දෙනවා…
“කවමදාකවත් ගංගාවක මූලාශ්‍ර හෝ සාන්තුවරයෙකුගේ පූර්වගාමීන් සොයන්න වෙහෙසෙන්න එපා”
මනි අයියර් මේ සුවපහසු පිළිතුරෙන් සන්තෘප්ත වූවා. ගවයා කෙතරම් ශුද්ධවන්ත සත්ත්වයෙක් වුවත් මේ ඝාතනය සිදුකරන්නේ මෘදංගම් වාදන ශිල්පියා නෙවෙයි. මේ අජූව අතරමැදි භූමිකාව රඟපාන්නේ මෘදංගම් නිශ්පාදකයා. ගව ඝාතන අකුසලයත්, මියගිය සතාගේ හම ගැලවීමේ පාප ක්‍රියාවත් සිදුවන්නේ කලාකරුවාගේ දෑස් වලට නොපෙනෙන මානයක. ඉඳින් ඇයි කලාකරුවා පසුතැවෙන්නේ. මේ ක්‍රියාවලිය එළිපත්තේ සිටින්නේ නිශ්පාදකයා. ඒ නිසා භ්‍රාහ්මණ වංශික කලාකරුවාගේ පවිත්‍රත්වය මොන විදියකටවත් කෙලෙසෙන්නේ නැහැ.
සිම්පල් සයිමන්