සමාජ මාධ්‍ය නියාමනයට නීති : රනිල්ගේ ෆේස්බුක් ඉතිහාසය මෙන්න !

Share post:

සමාජ මාධ්‍ය නියාමනය සඳහා පවතින නීති ප්‍රමාණවත් නොවේ නම්, අලුතින් නීති පනවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) පවසා තිබේ.

පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත. එය සිදුකරන්නේ කෙසේද, ඒ සඳහා දැනට ගෙන ඇති පියවර මොනවාද යන්න සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා පැහැදිලි කර නැත.

යූටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ මේ වන විට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට ද හඳුන්වා දෙන බව මෙහිදී ජනාධිපතිවරයා පවසා තිබේ.

2022 ජූලි 18

මීට පෙර 2022 ජූලි 18දා ද වැඩ බලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පැවසුවේ කඩිනමින් සමාජ මාධ්‍ය නියාමනය කළ යුතු බවයි. ඊට හේතුව ලෙස ඔහු සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ ජනාධිපති ධුරය සඳහා නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ පාර්ලිමේන්තු ඡන්දයට සමාජ මාධ්‍ය බලපෑම් කිරීම ය. මේ නිසා පාර්ලිමේන්තු වරප්‍රසාද පනත ඇතුළු පවතින නීති යොදාගෙන එය සිදු කළ හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් වහාම සොයාබලන ලෙස එහිදී රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබිණි.

2018 මාර්තු

2018 මාර්තු මාසයේදී ද අවස්ථා ගණනාවකදී එවකට අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ විසින් සමාජ මාධ්‍ය වහාම නියාමනය කළ යුතු බව අවධාරණය කර තිබිණි. ඊට හේතු වූයේ මහනුවර දිස්ත්‍රිකක්යේ දිගන, තෙල්දෙණිය, අකුරණ ඇතුළු ප්‍රදේශ ගණනාවක සිදු වූ ප්‍රජාවක් ඉලක්ක කළ ප්‍රහාරයන් ය. 2018 මාර්තු 04 සිට 06 දක්වා මෙම සිදුවීම් සිදුවූ අතර, එම අවස්ථාවේදී තාවකාලික ව සමාජ මාධ්‍ය වාරණයට ලක්කිරීමට ද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කළේය.

ඇඳිරි නීතිය

ඉන්පසු යළිත් අරගලකරුවන්ගේ ක්‍රියාකාරිත්වය මර්දනය කිරීම සඳහා පසුගිය වසරේ අවස්ථා කිහිපයකදී අත්තනෝමතික ලෙස ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවලදී ද සමාජ මාධ්‍ය වාරණයට ලක්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා පවත්වා තිබිණි.

කැබිනට් අනුමැතිය

මේ අතර 2018 අප්‍රේල් 18දා එවකට අධිකරණ ඇමති අලි සබ්රි මාධ්‍යයට පැවසුවේ ව්‍යාජ ප්‍රවෘත්තිවලට එරෙහිව සිංගප්පූරුවේ, මැලේසියාවේ සහ ඉන්දියාවේ පනත් ක්‍රියාත්මක වන බවයි. එවැනි පනතක් ලංකාවේ ද කඩිනමින් ස්ථාපිත කරන බව ඇමැතිවරයා එහිදී අවධාරණය කළේය. ඇමැතිවරයා පැවසූ ආකාරයට ම අන්තර්ජාලය හරහා සිදුකරන අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශවලින් ආරක්ෂා වීමට අදාළ නීති සකස් කිරීමට 2018 අප්‍රේල් 19දා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබිණි.

සිංගප්පූරුව සහ ඉන්දියාව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) පැවසූ ආකාරයට සිංගප්පූරුවේ මීට අදාළ පනතක් තිබේ. එය 2019 මැයි 08දා සම්මත කරගන්නා ලද්දකි. මැලේසියාවේ දණ්ඩ නීති සංග්‍රහයෙන් ව්‍යාජ පුවත් පැතිරවීම වැළැක්වීමට කටයුතු කර තිබේ. තොරතුරු තාක්ෂණ පනත යටතේ මීට අදාළ විධිවිධාන සලසා ඇතත්, ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතක් ඉන්දියාවේ නැත.

පවතින නීති

ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 485 වගන්ති යටතේ මෙන්ම පොලිස් ආඥා පනතේ 98 වගන්තිය යටතේ ද ව්‍යාජ පුවත්වලට එරෙහිව චෝදනා ගොනු කරයි. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්ති පනතේ 3 වැනි වගන්තියෙන් ද ඊට අදාළ ප්‍රතිපාදන සලසා තිබේ. ජනතාවට ව්‍යාජ පුවත් සම්ප්‍රේෂණය කිරීමේ චෝදනාව ඉදිරිපත් කරමින්, මේ වගන්ති යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පිරිස, වෙනත් වසරවලට සාපේක්ෂව පසුගිය වසර‌ දෙකේදී විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. දණ්ඩ නීති සංග්‍රහයේ 485 වගන්තියට අනුව මහජනයාට බියක් හෝ තැතිගැන්වීමක් ඇති කිරීමේ අදහසින් අසත්‍ය බව තමන් දන්නා වූ යම් ප්‍රකාශයක් සිදුකිරීම වරදකි.

අරමුණ කුමක්ද?

එහෙත් අසත්‍ය හෝ නොමග යවන සුළු පුවත් පිළිබඳ පියවර ගැනීම සහ සමාජ මාධ්‍ය නියාමනය කිරීම යනු පැහැදිලිව ම දෙකකි. ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ අසත්‍ය පුවත් මුවාවෙන් සමාජ මාධ්‍ය නියාමනය කිරීමට ය. එමගින් ආණ්ඩුවට එල්ල වී ඇති විරෝධය මර්දනය කිරීමට ය. භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස නමින් ඕනෑම දෙයක් කිව නොහැකි පරිදි ම, එය සීමාකිරීමේ උත්සාහයන් ද අනුමත කළ නොහැකිය.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...