සුරේෂ් සලෙයිට – රොහාන් ගුණරත්නට දැඩි විරෝධයක් : පාස්කු ප්‍රහාර නඩුවේ විභාගය අරඹන්න බෑ – අධිකරණය

Share post:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 25 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය තවමත් ආරම්භ කළ නොහැකි බව ඊයේ (04) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විනිශ්චයකාරවරු පෙන්වා දුන්හ.

නීතිපති දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් අදාළ සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිචෝදනා කියවා නැත. මේ නිසා අද (05) දිනය නඩුවේ විභාග දිනයක් ලෙස පෙර සැලසුම් කර තිබුණද, එය කැඳවීමේ දිනයක් පමණක් බවට වෙනස් කිරීමට ද විනිශ්චයකාරවරු තීරණය කළහ. අද දිනයේ සැකකරුවන්ගේ ඇප නියෝග සම්බන්ධයෙන් සලකා බලන බව ද අධිකරණය දැනුම් දුන්නේය.

රොහාන් නෑ – සලෙයි එයි

මේ අතර ඊයේ සාක්ෂි ලබාදීම සඳහා නොතීසි නිකුත් කර තිබුණේ ආරක්ෂක විශ්ලේෂකයෙකු ලෙස හඳුන්වන ආචාර්ය රොහාන් ගුණරත්නට සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයිට ය. ආචාර්ය රොහාන් ගුණරත්න විදේශගතව සිටින නිසා අධිකරණයට පැමිණිය නොහැකි බව දැනුම් දෙනු ලැබිණි.

සාක්ෂිකරුවන්ට විරෝධය

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුෂ්ඩි හබීබ් අධිකරණය ඉදිරියේ අවධාරණය කළේ මෙම සාක්ෂිකරුවන් දෙදෙනා මීට අදාළ ව පොලිසියට ප්‍රකාශයක් හෝ ලබාදී නැති බවයි. එම නිසා විත්තිය පාර්ශ්වයට සාක්ෂි සම්පිණ්ඩනයක් ලබාගැනීමේ හැකියාවක් නැති බව ද නීතිඥවරයා පෙන්වා දුන්නේය. එවැනි තත්ත්වයක් යටතේ ඔවුන් සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කිරීම පිළිගත නොහැකි බව ද ඔහු පැවසීය. රොහාන් ගුණරත්න මෙම නඩුවේ පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වන අතර, සුරේෂ් සලෙයි එහි දෙවැනි සාක්ෂිකරු වේ.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් සඳහන් කළේ මෙම සාක්ෂිකරුවන් දෙදෙනා විශේෂඥ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කර ඇති බවයි. කවර තත්ත්වයක් යටතේ හෝ තමන්ගේ තර්කය අදාළ වන බව නීතිඥ හබීබ් යළිත් අධිකරණයට පෙන්වා දුන්නේය.

ඇතුළට ගොස් ප්‍රශ්න කරලා

එසේම නීතිඥවරයා විසින් අධිකරණයේ අවධානය තවත් කරුණක් වෙත යොමුකරන ලද අතර, එනම් සැකකරුවන් රඳවා තබාගැනීමේ නියෝග මත සිටින විට මෙම සාක්ෂිකරුවන් දෙදෙනා ඔවුන් වෙත ගොස් ප්‍රශ්න කර ඇති බවයි. මෙය සිදු කර ඇත්තේ ඔවුන් දෙදෙනා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි ලබාදීමෙන් පසුව ය.

මීට පිළිතුරු දෙමින් නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් සඳහන් කළේ මීට අදාළ ව අවශ්‍ය ඕනෑම තොරතුරක් සෘජු ව ඉල්ලා සිටින ලෙසයි. අධිකරණය පාර්ශ්වයෙන් ද මීට එකඟතාව පළ වූ අතර, විත්තිය පාර්ශ්වයට අවශ්‍ය සියලු තොරතුරු ලැයිස්තුවක් ඉදිරිපත් කරන ලෙසත්, එය නඩු ගොනුවට ද ඇතුළත් කරන ලෙසත් අධිකරණය දැනුම් දුන්නේය.

සැකකරු අසනීපයෙන්

මේ අතර නඩුවේ 14 වැනි සැකකරු ඊයේ (04) අධිකරණයට ඉදිරිපත් නොකෙරිණි. ඔහු අසනීප තත්ත්වයෙන් සිටින බව විමර්ශකයෝ අධිකරණයට දැනුම් දුන්හ. එහිදී අධිකරණය නියෝග කළේ අද (05) පස්වරු 2ට පෙර, සැකකරුගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් වන සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

රොහාන්ගේ තත්ත්වය බරපතළයි

ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රොහාන් ගුණරත්න රැඳවුම් බාරයේ සිටි සැකකරුවන්ගෙන් ප්‍රශ්න කළ බව විවෘත අධිකරණයේදී අනාවරණය වීම බරපතළ කාරණයක් බවයි. සුරේෂ් සලෙයි එසේ ප්‍රශ්න කිරීමේ ගැටළුවක් මතුනොවන්නේ ඔහු විධිමත් යන්ත්‍රණයක සිටින විමර්ශන නිලධාරියෙකු වන නිසා බවත්, රොහාන් ගුණරත්න එවැනි විධිමත් විමර්ශන යන්ත්‍රණයක නොමැති බවත් ඔවුහු අවධාරණය කරති.

රොහාන්ගේ දේශනයෙන් කමල් නැගිට යයි

රොහාන් ගුණරත්න යනු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය අයෙකි. ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයෙකු ලෙස හැඳින්වෙන ඔහු, සිංගප්පූරුවේ ප්‍රමුඛ විශ්වවිද්‍යාලයකට අනුබද්ධ එස්. රාජරත්නම් අන්තර්ජාතික මධ්‍යස්ථානයේ ආරක්ෂක කටයුතු අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇත.

2018 මැයි 13දා කොළඹ, ෂන්ග්‍රීලා හෝටලයේ පැවති වියත් මග සංවිධානයේ වාර්ෂික සම්මේලන ආරාධිත දේශකයා වූයේ ද රොහාන් ගුණරත්න ය. එහිදී ඔහු දේශනය ආරම්භ කරනවාත් සමග ම වර්තමාන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න ඇතුළු පිරිසක් එම ස්ථානයෙන් නැගිට ගොස්, ඔහුට විරෝධය පළකර තිබිණි.

රොහාන්ට ඩොලර් 53,000ක දඩයක්

2011 පෙබරවාරි මාසයේදී ලක්බිම පුවත්පතට ප්‍රකාශයක් කරමින් රොහාන් ගුණරත්න පවසා තිබුණේ එල්ටීටීඊ සංවිධානය කැනඩාව තුළ ක්‍රියාත්මක වන්නේ ‘කැනේඩියන් ටැමිල් කොංග්‍රස්’ නමින් බවයි. ඔහු ඊට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර තිබුණේ නැත. මෙම ප්‍රකාශයට එරෙහිව තමන්ට අපහාස කළ බව දක්වමින් කැනඩා දෙමළ කොංග්‍රසය විසින් එරට ඔන්ටාරියෝහි උපරිමාධිකරණයේ නඩුවක් ගොනුකර තිබිණි. එම නඩුවෙන් තීන්දු වූයේ සාක්ෂි නොමැතිව රොහාන් ගුණරත්න විසින් එම සංවිධානයට සාවද්‍ය අපහාසයක් කර ඇති බවයි. එම අපහාසයට වන්දි සහ නඩු ගාස්තු ලෙස කැනඩා ඩොලර් 53,000ක් ගෙවීමට රොහාන් ගුණරත්නට නියෝග කෙරිණි.

ඕස්ට්‍රේලියාව කියන දේ

මේ අතර ඕස්ට්‍රේලියාවේ පළවන ‘The Age’ පුවත්පතට ආරක්ෂක ලිපි සපයන ග්‍රේරි හියුස් නම් ප්‍රකට මාධ්‍යවේදියා විසින් ලියන ලද ලිපියක සඳහන් වන්නේ ‘අල් කයිඩා හෝ ත්‍රස්තවාදය ගැන අදහස් දැක්වීමක් අවශ්‍ය සෑම මොහොතකදීම රොහාන් ගුණරත්න ඒ සඳහා ඉදිරියට එනවා. නියම වෙලාවට ඔහු එනවා’ යනුවෙනි. ඉන්පසු ඔහු එම ලිපිය මගින් දිගින් දිගටම සඳහන් කර තිබුණේ රොහාන් ගුණරත්නගේ සාක්ෂි නොමැති ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ය.

පේනකරුවාගේ භූමිකාව

බ්‍රිතාන්‍යයේ ‘The observer’ පුවත්පතේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ කර්තෘ මෙන්ම ත්‍රස්තවාදී සංවිධාන පිළිබඳ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු ලෙස ප්‍රකට මාර්ටින් බ්‍රයිට් රොහාන් ගුණරත්න සම්බන්ධයෙන් පවසන්නේ ඔහු පේනකරුවෙකු පමණක් බවත්, සාක්ෂි මත කරුණු ඉදිරිපත් කරන්නෙකු නොවන බවත් ය.

ස්ථාවර වෙනස් කරන්නෙක් ?

එසේ ම ඔහු නවසීලන්තයේ ‘Herald’ පුවත්පතට අදහස් දක්වමින් කළ ත්‍රස්තවාදී අරමුදල් පිළිබඳ ප්‍රකාශ ගණනාවක් එරට මූල්‍ය රහස් ඒකකය සෘජුව ම ප්‍රතික්ෂේප කළේය. වරක් ඇෆ්ගනිස්ථානයේදී අත්අඩංගුවට ගත් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු සම්බන්ධයෙන් අදහස් දක්වමින් රොහාන් ගුණරත්න පවසා තිබුණේ ඔහු ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ නැති බවයි. එහෙත් ඊට සති 2කට පසු ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ මෙම පුද්ගලයා ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ වී ඇති බව තහවුරු කරන්නට තමන්ට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවයි. ඉන්පසු වහාම ඔහු තමන්ගේ ස්ථාවරය වෙනස් කරමින් අදහස් පළකළ බව මෙරට ‘Sunday Observer’ පුවත්පත වාර්තා කර තිබේ.

අතිශයෝක්තිය

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී සිදුකරන ලද බරපතළ අපරාධ සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රකාශයක් කරමින් රොහාන් ගුණරත්න පැවසුවේ මෙසේ අත්අඩංගුවට ගත ප්‍රමාණය 500ද ඉක්මවන බවත්, එමගින් මෙරට බුද්ධි ක්‍රියාවලිය කඩාවැටෙන බවත් ය. එහෙත් එය අතිශයෝක්තියක් බවත්, එවැන්නක් සිදු වී නැති බවත් මෙරට ආරක්ෂක අංශ මගින් ම තහවුරු කරන ලදි.

විශේෂඥ සාක්ෂිකරුවෙක් ?

ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වාදෙන්නේ මෙවැනි පුද්ගලයෙකු විශේෂඥ සාක්ෂිකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කිරීම අවධානය යොමු කළ යුතු කරුණක් බවයි.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...