නඩයේ ගුරා වුණෙ කැප්ටන් කූල්ය, ඔහු ළග තිබුණෙ ප්ලේයස්ලගෙ නූල්ය

Share post:

ඉදහිට අවුස්සන මල්ලක පතුලෙ එරී
තිබු මේකටත් අවුරුදු විසිහතක් පිරී
මේ ගැන කතාවත් නොකියා ඉදිණු බැරී
බලමුද ඒ දෙසට පොඩ්ඩක් නැවත හැරී

නමසිය අනූහය ඒ මරු අවුරුද්දේ
ආවා වර්ල්ඩ් කප් එක දාගෙන සද්දේ
රටවල් ගොඩක් කුසලානෙට කළ යුද්දේ
බැලුවේ අපිත් ඒ.එල්.කරනා මැද්දේ

නැවතී කඹුරුපිටියේ කාලයේ එම
බෝඩිංගතව ගෙදරක පසුවුණේ මම
තිබුණා නිදහසත් එහි උපරිමේටම
කෙලියා පිස්සු ලෙසටම ජාතියෙන් හැම

ෆයිනල් ආවෙ අපි එක්කල ඔසීලා
මැච් එක බැලුවෙ අපි ගැන්සිය ගැසීල
විසිවුණෙ ඔසියො අභිමානය නැසීලා
ගියෙ රට දිනුමෙ උන්මාදෙන් වැසීලා

කෙලිමුද හොද එකෙන් සෙට් එක බුලක් අද
ආවේ යෝජනාවක් ගැන්සියෙන් හොද
මේ වගෙ දවස් එහෙමත් අත අරිනවද
පසුදා උදේ තුනටත් අපි සොමිය මැද

සන්ඩේ ඔබ්සවර් පත්තරයත් එක්ක
දෙන බව පෝස්ටරයක් පුවතකි දැක්ක
පත්තර ලෑල්ලේ උන් එක්කත් කොක්ක
දාගෙන ගත්ත මෙය මේ වෙනතුරු රැක්ක

එනකොට ඕපනින් බැට්ස්මන් ලෙස කලුවා
පිට්ටනි වටේ හිටි උන් අප්පුඩි තැලුවා
අතපය දිග ඇරල මේ මොරටුවෙ කොලුවා
බෝලස්ලට ඉතිං රිඹ යන්නම නෙලුවා

කලුවා සමග ඕපන් ආ කෙනාය
ලයිනප් එකේ කසකරුවා වුණාය
කල්යල් බලා හතරතටම වණාය
පිට්ටනි දෙක කරපු බැට්ස්මන් සනාය

මිනිහත් බැටින් පැත්තෙන් හෙන සිරානේ
ඕනම පිච් එකක ස්කා්ර් කරානේ
ගැහෙනව බෝල් කළ උන්ගෙත් පරානේ
නොම්මර තුනේ වෙඩි උණ්ඩය ගුරානේ

කොයි පිටියෙදිත් ඉහළින් ජය කොඩි බැන්ද
මොහුගේ ක්‍රිකට් මුළු ලෝකෙම රසවින්ද
ඒ වගෙ බැ⁣ටින් නොදැකපු ඇස් නම් මන්ද
ලෝකෙට ලෙජන්ඩ් වුණු පුතෙකිය අරවින්ද

ෆිල්ඩස්ලා අතර ඔහු ඉහළයි බෝම
ගත් උඩපන්දු අමතක වෙනවද කෝම
මැවි මැවි පේනවා ෂොට් බයි ෂොට් තාම
කොල්ලොත් ක්‍රෂ් ඉතිං කිව්වම මහනාම

අරගත්තා තැනක් මොහු පිතිකරු කුලකේ
ෆිල්ඩින්වලදි සෑහෙන ලකුණුද වැළකේ
මිනිහා ප්‍රොටෙන්ෂල් ප්ලේයර් ලෙස සැලකේ
ගැහුවොත් හෙම ඇණේ මැච් එක ගොඩ තිලකේ

අග්ගිස්සෙන් ඇවිත් ඔහු ළග නමාය
පිටියේ හතර අතටම ඇස් යොමාය
බෝලින්වලදි දඟ පිට දඟ දමාය
පිටියේ උනන්දුම ප්ලේයර් කුමාය

කිව්වොත් ක්‍රිකට් නැත ඒකට ප්‍රමාදය
ලැබුවේ එයින් ලොකු පොඩි හැම විනෝදය
මේ හාදයත් ඒ සදහා කෙරූ දෙය
පොඩි නැත ගමේ කොල්ලා අපෙ ප්‍රමෝදය

පිතිකරුවන්ට ඔහු සමගින් නැත ලේසී
මිනිහට ඉතිං පොලු ගලවන එක ඊසී
මල්ලට එකතු කර ඇත කඩුළුද රාසී
අදටත් ෆාස්ට් බෝලින් නම් නම වාසී

මතකද පි⁣ටිය මැද මිනිහා ගැහු කැරලී
ඇත වාර්තා තියමින් ඔහු කළ පෙරළී
පන්දුව තම අතට අරගත්තම මුරලී
ගැහෙනව බැටාලා වගෙ ගොඩදැමු කොරලී

ප්ලේයර් නමුත් එක්ස්ට්‍රා තැන අරගත්තූ
දෙන්නට තරම් කෙල්ලොත් ලව් විය තොත්තු
ඔහුගේ ගමන ගැන දී පොඩි පොඩි ඔත්තූ
කැප්ටන් වෙලයි නැවතුනෙ එම්.අතපත්තූ

අපි නම් ක්‍රිකට් කවදත් කළෙ වින්දනය
කාලෙට අනුව අඩු වැඩි වෙයි බන්ධනය
එය වැඩි කළ එකෙක් විය ඌ චන්දනය
ෆිල්ඩින් ටිකම ඇති එය මන නන්දනය

මැර ලුක් එකක් තිබු කොලුවා රවීය
බොඩියේ තරමටම බඩු සැර නොවීය
මිනිහත් කඩුළු හැකි පමණින් දැවීය
මේ හැම එකෙක් ඉතිහාසය ලිවීය

නඩයේ ගුරා වුණෙ කැප්ටන් කූල්ය
ඔහු ළග තිබුණෙ ප්ලේයස්ලගෙ නූල්ය
තිතටම යූස් කෙරුවේ නිසි ටූල්ය
ඔහු ළග කඩන්නට බැරිවුණෙ රූල්ය

වට්මෝ ඇලෙක්ස් මෙන්ඩිස් යන තුන් කට්ටූ
ක්‍රීඩකයින්ට වීලා හොදටම කිට්ටූ
උන් හා වෙමින් එකටෙක තිදෙනා ඔට්ටූ
ප්‍රතිවාදියෝ කෙරුවනෙ ලෙසටම මට්ටූ

ඉන්නා නිසා අපි ජීවිත මැද හරියේ
මේ වගෙ කතා ටික ටික මෙහි දිගඇරියේ
සිව් දශකයක මගෙ මේ පොඩි දිවිසැරියේ
හොද හොද මෙමරී තියෙනව ඔය කැටගරියේ

ප්‍රියන්ත කොඩිප්පිලි

Related articles

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...