කොලොම්බියානු ජාතික ලේඛක ගේබ්‍රියල් ගාර්ෂියා මාර්කේස් තමයි ස්පාඤ්ඤ භාෂාවෙන් නිර්මාණකරණයේ යෙදෙන ලේඛකයන් අතර ප්‍රමුඛතම ලේඛකයා.. සාහිත්‍යය උදෙසා පිරිනමන නොබෙල් ත්‍යාගය 1982 වසරේදී හිමිකර ගත්තේ මාර්කේස්.. ඇත්තටම එම නොබෙල් ත්‍යාගය ඔහුට පිරිනැමුනේ ඔහු විසින් රචනා කල විශේෂිත කෘතියක් අරභයා නොවෙයි. ලතින් ඇමෙරිකානු මහාද්වීපයේ ජනතාවගේ අඳුරු ජීවිතය , ජීවත් වීමට ඔවුන් කරනා අරගලය නැවුම් පරිකල්පනයකින් , නැවුම් දැක්මකින් ලෝකය වෙත ගෙනඒමේ උදාර පරමාර්ථය වෙනුවෙනුයි ඔහුට ඒ ත්‍යාගය හිමිවුනේ.
මාර්කේස් එක්ක බැදුණ නමක් තමයි මායා යථාර්ථවාදය (Magical realism) කියන්නෙ. ඔහු තම නිර්මාණයන් පාඨකයා වෙත ගෙනහැර දැක්වුවේ මායා යථාර්ථවාදී රීතිය තුල හිදිමින්.. මායා යථාර්ථවාදය තුල නිර්මාණකරණයේ යෙදෙන ලේඛකයන් අතර ප්‍රමුඛස්ථානය මාර්කේස්ට හිමිවී ඇත්තේ ඒ නිසයි..
ස්පාඤ්ඤ භාෂාවෙන් Cien anos de Soledad නමින් ලියා පසුව ඉංග්‍රීසි භාෂාවට පෙරලා ඇති One Hundred Years of Solitude නම් කෘතිය මාර්කේස්ගේ නිර්මාණ අතර අග්‍රඵලය ලෙස හදුන්වනවා.. එපමණක් නෙවෙයි එය මායා යථාර්ථවාදී ලේඛණ කලාවේ විශිෂ්ඨතම කෘතිය ලෙසද හදුන්වයි..
කෘතිය ගැන කතා කිරීමට මත්තෙන් සියක් වසක හුදකලාව නම් සිංහල පරිවර්තනය ගැන යමක් සඳහන් කල යුතුයි.. මාර්කේස්ගේ පොතක් පරිවර්තනය කිරීම යනු සැබැවින්ම අභියෝගයක්.. ඔහුගේ නිර්මාණ අතරත් මායා යථාර්ථවාදයේ අග්‍රඵලය ලෙස හදුන්වන මෙම පොත සිංහලට පරිවර්තනය කිරීම ඇත්තෙන්ම දුෂ්කර ක්‍රියාවක් .. මුලින්ම One Hundred Years of Solitude නම් ඉංග්‍රීසි පරිවර්තනය සිංහලට පරිවර්තනය කිරීමේ භාරදූර කාර්‍යට අත ගැසුවේ අබේ දිසානායක මහතා. නමුත් අඩකට වැඩි කොටසක් පරිවර්තනය කරල තිබුන අවස්ථාවක අබේ දිසානායක මහතා අවාසනාවන්ත ලෙස මියගියා. ඉන් අනතුරුව ඉතිරි කොටස පරිවර්තනය කරමින් පොත සම්පූර්ණ කිරීමේ වගකීම භාරගෙන එය යථාර්තයක් බවට පත් කලේ අපට සිටි අතිදක්ෂ පරිවර්තකයෙක් වන පසන් කොඩිකාර මහතා.. විශ්ව සාහිත්‍යයේ අග්‍රඵලයක රස පහස ලාංකීය පාඨකයාට වින්දනය කිරීමට සැලැස්වීම ගැන අබේ දිසානායක මහතාටත් , පසන් කොඩිකාර මහතාටත් , ඔවුන් දෙදෙනා පසුපස හිඳිමින් පොතක් ලෙස එළිදැක්වීම යථාර්තයක් බවට පත් කල විදර්ශන ප්‍රකාශනයන්ටත් මා ලාංකීය පාඨක ප්‍රජාව වෙනුවෙන් ස්තුති කරනවා..
මායා යථාර්ථවාදයේ ප්‍රමුඛතම ලක්ෂණය තමයි කල්පිත භූමි ප්‍රදේශයන් , ඉන්ද්‍රජාලික චරිතයන් , වියහැකි බවට සම්භාවිතාවක් අඩු හෝ කිසිසේත්ම විය නොහැකි සිදුවීම් මාලාවක් මත කතාවක් ගොඩනැගීම. ඒ කතාව තුළින් ගේන්නේ ඇත්තම කතාවක්.. මේ මායාමය භූමි ප්‍රදේශයන් , චරිතයන් හා කල්පිත සිදුවීම් සලකන්නේ සංකේත හෙවත් රූපක විදිහට. ඉතින් මායා යථාර්ථවාදය කියල කියන්නෙ සංකේත හෙවත් රූපක අනුසාරයෙන් කතාවක් කීම..
මායා යථාර්ථවාදී රීතියෙන් ලියවුණු බොහෝ නවකතාවල , කෙටි කතාවල ඉන්ද්‍රජාලික චරිත හා කල්පිත සිදුවීම් පාඨක අපට මුණගැසී තිබෙනවා.. ප්‍රධාන පසුතලය මත මවාගත් කල්පිත ස්ථානත් අපිට හමුවෙනවා..
නමුත් සියක් වසක හුදකලාව කියන්නෙ මිහිපිට භෞතිකව නැති මහා ලේඛක මාර්කේස් විසින් ඔහුගේ අතිවිශිෂ්ඨ පරිකල්පනයෙන් ගොඩනගාගත් මැකොන්ඩෝව නම් නගරයක් ප්‍රධාන පසුතලය ලෙස තබා ගනිමින් කියන කතාවක් ඇතුළත් නිර්මාණයක්.. ඒ කියන්නෙ මෙහි මහා සංකේතය වන්නේ මැකොන්ඩෝව.. මැකොන්ඩෝව නම් මහා සංකේතය තුල මාර්කේස් අවශේෂ සංකේතයන් ගොඩ නගනවා. ඇත්තෙන්ම මහා සංකේතයක් තුල තවත් සංකේත ගොඩනැගීමක් තමයි One Hundred Years of Solitude නවකතාවෙදි මාර්කේස් කරල තිබෙන්නෙ.. විශ්ව සාහිත්‍යය තුල මායා යථාර්ථවාදයේ උච්චස්ථානයටම එන්නට One Hundred Years of Solitude කෘතියට හැකිවී තිබෙන්නෙ ඒ නිසයි..
ලතින් ඇමෙරිකාව කියන්නෙ ඉපැරැණි දියුණු ස්වාධීන ශිෂ්ටාචාරයන් ගණනාවක් බිහිවුන භූමියක්.. වත්මන් ඉක්වදෝරය , බොලීවියාව , ආර්ජන්ටිනාව , කොලොම්බියාව සහ චිලිය මායිම් කර ගනිමින් ඉන්කා (Inca Civilization) ශිෂ්ටාචාරය ස්ථාපිත වී තිබුනා. මායා ශිෂ්ටාචාරය මෙක්සිකෝව , ග්වාතමාලාව , බෙලිස් , හොන්ඩුරාස් සහ එල්සැල්වඩෝර් කියන මායිම් තුල බිහිවුනා.. වර්තමාන මෙක්සිකෝව ආශ්‍රීතව ඇස්ටෙක් ශිෂ්ටාචාරයත් , ඉබේරියානු අර්ධද්වීපය ආශ්‍රිතව ඉබේරියානු ශිෂ්ටාචාරයත් බිහිවෙලා තිබුනා. ග්වාරානි ශිෂ්ටාචාරය බිහිවෙලා තිබුනෙ වර්තමාන පැරගුවේ , බ්‍රසීලය හා ආර්ජන්ටිනාව මායිම් කරගෙන..
ඉතාමත් දියුණු සමාජ හා සංස්කෘතික ලක්ෂණවලින් හෙබි මේ ශිෂ්ටාචාරයන් සියල්ලම ස්පාඤ්ඤ ආක්‍රමණයන්ගෙන් විනාශ වුනා.. මාර්කේස්ගෙ මව් රට උන කොලොම්බියාවත් ස්පාඤ්ඤ ආක්‍රමණිකයන්ගේ ගොදුරු බිමක් බවට පත්වුනා. ස්පාඤ්ඤ ආක්‍රමණයෙන් අරාජික උන කොලොම්බියානු ජන සමාජයේ උදාසීනත්වය , අසංවර්ධිතබව , දරිද්‍රතාවය , නූගත්බව , මිත්‍යාව , හුදකලාව , දුක , ශෝකය මුසු හැඟීම් සමුදාය තමයි සියක් වසක හුදකලාව තුලින් ඉදිරිපත් කරන්නෙ.. ඇත්තටම මෙය කොලොම්බියානු ජන සමාජයේ කතාවක් පමණක් නෙවෙයි , ස්පාඤ්ඤ ආක්‍රමණයෙන් රෝගාතුර වූ ලතින් ඇමෙරිකානු කලාපයේ ඕනෑම රටකට මෙහි දිවෙන කතාව ගලපා ගත හැකියි. ඒ අනුව One Hundred Years of Solitude කියන්නෙ මහද්වීපික කියවිල්ලක්..
මාර්කේස් මේ කියල තියෙන්නෙ ලතින් ඇමෙරිකානු ඉතිහාසයේ සත්‍ය කතාව.. ඔහු ඒ කතාව කියන්නෙ ජොසේ ආකේඩිඕ බුඑන්ඩියාගෙ සිට පැවතෙන පරම්පරාවල් 05 ක අතීතයක් හුවා දක්වමින්.. කර්නල් අව්රෙලියානෝ බුඑන්ඩියා තමයි මෙහි තීරක කතානායක චරිතය.. නමුත් එදා සමාජයේ ජන විඥානය එළි දක්වනු වස් උර්සුලා වෙතත් කතානායිකා භූමිකාවක් ආරෝපණය කරල..
මෙහි දැකිය ප්‍රධානම ලක්ෂණය තමයි චරිත අතර වන දුරස්ථභාවය එහෙමත් නැත්නම් හුදකලාබව.. මැකොන්ඩෝවේ නිර්මාතෘ ජොසේ ආකේඩිඕ බුඑන්ඩියා දේශජ හැඟීමෙන් මැකොන්ඩෝව නිර්මාණය කරයි. වරෙක මැකොන්ඩෝවට පත්ව ආ නගරාධිපති එහි සියළු ගෙවල් නිල් පාටින් වර්ණ ගැන්වීමට තීරණය කරයි. නමුත් මැකොන්ඩෝවේ නිදහස , නිවහල්බව කියාපාමින් ජොසේ ආකේඩිඕ බුඑන්ඩියා එය වලක්වාලයි.. එවැනි ස්වාධීන නිදහස් ආත්මාභිමානී චරිතයක් වූ ජොසේ ආකේඩිඕ බුඑන්ඩියා ද අවසානයේ හුදකලා නිශ්ක්‍රීය චරිතයක් බවට පත්වෙනවා..
කතානායක කර්නල් අව්රෙලියානෝ බුඑන්ඩියා දක්ෂ රණවිරුවෙක්. යුද පරාජයන් , ජයගැනීම් , ජීවිත අවධානම් ගණනාවකින් බේරුණු ඔහු තුල තිබුනු රණකාමිත්වය , අභිමානය , ජයගැනීමේ උවමනාව වෙනත් කිසිවෙකු තුළින් විද්‍යාමාන වූයේ නැත. කොලොම්බියානු සමාජයේ වූ නිද්‍රාශීලී බව ඒ තුලින් ඒත්තු ගන්වා තිබෙනවා. අවසානයේ කර්නල් අව්රෙලියානෝ බුඑන්ඩියා ද උදාසීන හුදකලා චරිතයක් බවට පත්වෙනවා..
උර්සුලා , ජොසේ ආකේඩියෝ , රෙබෙකා , අමරන්තා , අව්රෙලියානෝ ජොසේ , ආකේඩියෝ , රෙමෙඩියාස් , අව්රෙලියානෝ සෙගුන්ඩෝ , ජොසේ ආකේඩිඕ සෙගුන්ඩෝ , රෙනාටා රෙමෙඩියාස් , ජොසේ ආකේඩිඕ සහ අමරන්තා උර්සුලා යන සෑම චරිතයක්ම නිරූපණය කර ඇත්තේ හුදකලාව , උදාසීනත්වය ඉස්මතු වන ආකාරයෙනි.
මාර්කේස් කොලොම්බියානු සමාජයේ සංස්කෘතිකාංග බොහොමයක් මේ තුලට ඇතුලත් කර ඇත.. මෙහි එන ජොසේ ආකේඩිඕ බුඑන්ඩියා , උර්සුලා , කර්නල් අව්රෙලියානෝ බුඑන්ඩියා , ජොසේ ආකේඩියෝ , අමරන්තා , අව්රෙලියානෝ ජොසේ , ආකේඩියෝ , අව්රෙලියානෝ සෙගුන්ඩෝ වැනි ලිංගික අත්දැකීම් මෙහි ඇතුලත් කරන්නට කතුවරයා කටයුතු කර ඇතත් ඒවා තුලින් හැඟීම් වර්ධනයක් ඇති නොවීමට වග බලාගෙන ඇත. එමෙන්ම මේ ලිංගික චර්‍යා තුල බොහොමයක් ඇත්තේ ව්‍යාභිචාරයන් ය.. මාර්කේස් ඒවා ඇතුලත් කරන්නට ඇත්තේ කොලොම්බියානු සමාජයට එල්ල වූ සංස්කෘතික ප්‍රහාරයන් හේතුවෙන් විෂම , අවරඝනයේ සංස්කෘතිකාංග කොලොම්බියානු ජන සමාජයේ ස්ථාපිත වී ඇති බව හුවා දැක්වීමට විය යුතුයි..
ස්පාඤ්ඤ ආක්‍රමණිකයාගේ ප්‍රහාරයත් , එකී ප්‍රහාරයේ අතුරු ප්‍රථිපලයක් ලෙස කොලොම්බියානු ජන සමාජයට එල්ල වූ සංස්කෘතික ප්‍රහාරයත් නිසා නිදහස , ස්වාධීනත්වය , අභිමානය වැනි සංකල්ප වචනවලට පමණක් සීමා වූ , ඉදහිට පණ ගහන දේශජ හැඟීම් උපන් ගෙයිම මියැදෙන , බලාපොරොත්තු කඩවීම් හා අසරණභාවයෙන් නිද්‍රාශීලී වුනු , හුදකලාව , උදාසීනත්වය විසින් බූවල්ලෙකු මෙන් වෙලාගත් කොලොම්බියානු ජන සමාජය පමණක් නොව සමස්ත ලතින් ඇමෙරිකානු ජන සමාජයේම ගැහෙන , වෙව්ලන මියැදෙන හදවත්වල ඉකිබිඳුම් ස්වරයන් මාර්කේස් විසින් One Hundred Years of Solitude නම් විශ්වීය නිර්මාණය තුළින් ඉදිරිපත් කර ඇති බව පැහැදිලිය..
ඇත්තෙන්ම සියක් වසක හුදකලාව යනූ දීර්ඝ කියවීමකි. එහෙන් මෙහෙන් කියවා රස විඳිය හැක්කක් නොවේ. සිත භාවනාගත කර කියවිය යුත්තකි.. මෙම පොත මා සන්තක කරගත්තේ වසර 05 කට පෙරය.. අවස්ථා කීපයක් කියවීමට උත්සාහ කර ඇතහැර දමන්නට සිදුවිය.. එහෙම අවසන මා මාර්කේස් කියවීමි. මා කොලොම්බියානු ජන හදවත් කියෙව්වෙමි.. දින ගණනාවක් පුරා මා පරම්පරා 05 ක බුඑන්ඩියා පවුලේ සාමාජිකයන් සමඟ හදවතින් ලතින් ඇමෙරිකාවේ සැරි සැරුවෙමි..