සොබාදහම සහ මිනිසා අතර ගැටුම මිනිසා ලොව බිහි වූ දා පටන් අනවරතයෙන් පවතින්නකි. මේ අනුව මිනිසා විසින් සොබාදහම ජයගැනීම ඉමහත් උත්කර්ෂයෙන් අදටත් සමරමින් තිබේ. එය ශිෂ්ටාචාරයේ ඉදිරි ගමන ලෙසින් අර්ථකථනය කෙරේ. එහෙත් මානව ක්‍රියාකාරිත්වය තාක්ෂණ සහ කළමනාකරණවාදී කේන්ද්‍රයක් වෙතට විතැන් වී/කර ඇති වත්මන් ධනේශ්වර නිමේෂය තුළ සොබාදහමේ මෙන් ම මිනිසාගේ ද පැවැත්ම සාක්ෂාත් කරගත හැක්කේ කවර ආකාරයකින් ද ?
මිනිසා අධිනිශ්චය කිරීමෙන් ද ? සොබාදහම අනුරාගීව වැලඳ ගැනීමෙන් ද?
Avatar 2: The way of water නම් වූ කැමරියානු තාක්ෂණික පෙළහර මෙම කතිකාව පෝෂණය කිරීමට අවශ්‍ය සංකල්පීය අවකාශය තවදුරටත් පුළුල් කරයි. එමෙන්ම ස්වාභාවික සම්පත් සූරාකෑමේ ධනේශ්වර මෙහෙයුමේ පරිසරවාදී ආඛ්‍යානය පිළිබඳ ප්‍රතිකියවීමකට ද ඉඩහසර විවර කරයි. මන්ද , ධනවාදයේ පැවැත්මට විටෙක සොබාදහම සහ මිනිසා අතර ගැටුම ද තවත් විටෙක ඒවා අතර සංහිඳියාව ද අවශ්‍ය වන බැවිනි. හොලිවුඩ් සිනමාව ආරම්භයේ සිටම ක්‍රියාත්මක වී ඇත්තේ මෙකී මෙහෙයුමේ දෘෂ්ටිවාදී උපාංගයක් ලෙසිනි . එහෙයින් Avatar හි තාක්ෂණික සහ නිර්මාණාත්මක විස්මය විඳින අතර එහි දෘෂ්ටිවාදි අනතුර වෙත ද අවධානය යොමු කිරීම වැදගත් වේ. දැනටමත් මෙහි තාක්ෂණික විස්මය විනිවිදින විචාරාත්මක මැදිහත්වීම් සිනමා සාහිත්‍යයට එක් වෙමින් තිබේ. සැබැවින්ම මෙම චිත්‍රපටය තාක්ෂණික විස්මය හරහා වත්මන් සමාජ , දේශපාලනික මෙන්ම පාරිසරික දෘෂ්ටිවාදි මෙහෙයුම් කියවා ගැනීමට භාවිත කළ හැකි සාරවත් වැඩබිමකි.