චූදිතයෙක් යයි – චූදිතයෙක් එයි : පාස්කු ප්‍රහාරයේ වගකීම පැහැර හැරි නිලන්ත ජයවර්ධන පොලිසියේ ඉහළ ම නිලයට !

Share post:

පොලිස්පති ධුරය හැර, පොලිස් දෙපාර්තමේන්තුවේ ඇති ඉහළ ම නිලය ලෙස සැලකෙන පොලිස් පරිපාලන අංශයේ වැඩ බලන ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පත්කර තිබේ.

පොලිස්පතිවරයාගෙන් පසු දැනට පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේ නිලන්ත ජයවර්ධන ය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මෙම තනතුරේ රාජකාරි කළ අතර, ඔහු පසුගිය 31දා විශ්‍රාම ලැබීය. ඔහුට ද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ ව වගකීම පැහැර හැරීමේ චෝදනාව එල්ල වී තිබේ.

දැනට පොලිස්පති ධුරයේ කටයුතු කරන චන්දන වික්‍රමරත්න ද ලබන මාර්තු 25දා විශ්‍රාම ලැබීමට නියමිත ය.

ඊයේ (02) පොලිස්පතිවරයාගේ අත්සනින් සියලු ඉහළ පොලිස් නිලධාරීන් වෙත යොමුකරන ලද ලිපියට අනුව නිලන්ත ජයවර්ධන දැනට රාජකාරි කරනු ලබන විශේෂ රාජකාරි (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – සහායක සේවා) අමතරව මෙසේ පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියා ලෙස ද පත්කර තිබේ.

පාස්කු ප්‍රහාරය

2019 අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වන අවස්ථාව වන විට නිලන්ත ජයවර්ධන රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. එම ප්‍රහාරයට අදාළ ව වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධනට බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් ඔහු විසින් පරස්පර ප්‍රකාශ ලබාදීම ද පසුගිය කාලයේ කැපීපෙනිණි.

අමාත්‍යංශ ලේකම්ට නෑ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට විදෙස් බුද්ධි සේවාවක් මගින් තොරතුරු ලැබීතිබියදීත් එය එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් නොදුන් බව නිලන්ත ජයවර්ධන විසින් ඒ පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අවසානයේදී පිළිගෙන තිබිණි. 2019 අප්‍රේල් 04 සිට 20 දක්වා අවස්ථා ගණනාවකදී ඔහුට එම තොරතුර නිශ්චිත ව ලැබී තිබිණි.

ජනාධිපති නීතිඥ ඩිල්ෂාන් ජයසූරියගේ හරස් ප්‍රශ්න හමුවේ මෙසේ ඔහු තමන්ගේ වගකීම පැහැර හැරිය බව මුල්වරට පිළිගත්තේය. මුලදී ඔහු පැවසුවේ තමන් එම තොරතුර වගකිවයුතු සියලු පාර්ශ්ව සමග බෙදාගත් බවයි. අප්‍රේල් 07දා එවකට ජාතික බුද්ධි ප්‍රධානී ධුරය දැරූ සිසිර මෙන්ඩිස් වෙත වාර්තාවක් යොමුකර, උපදෙස් ඉල්ලූ බව ද නිලන්ත ජයවර්ධන එම කොමිසමේදී පැවසීය. එය සත්‍යයක් බව පසුව හෙළි විය.

පොලිස්පතිටත් නෑ

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර දිනය වන තෙක් තමන් විසින් ප්‍රහාරයක් පිළිබඳ නිශ්චිත බුද්ධි තොරතුරක් එවකට පොලිස්පතිවරයා ව සිටි පූජිත් ජයසුන්දරට ලබානොදුන් බව නිලන්ත ජයවර්ධන කොළඹ මහාධිකරණයේදී ද පිළිගනු ලැබිණි. මේ බව අනාවරණය වූයේ ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව අධි චෝදනා 855ක් ගොනුකර ඇති නඩුව කොළඹ මහාධිකරණයේදී විභාග වන අවස්ථාවේදී ය. මෙම නඩුව විභාග කෙරෙන්නේ නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ය.

මෛත්‍රී – නිලන්ත

ඉස්ලාම් අන්තවාදීන් සහ එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කළ විවෘත පරීක්ෂණ නවත්වන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආරක්ෂක කවුන්සිල රැස්වීමකදී තමන්ට පැවසූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පවසා තිබිණි. ඒ, 2020 සැප්තැම්බර් 23දා ය. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් එය සිදුකරනු ඇතැයි හිටපු ජනාධිපතිවරයා පැවසූ බව ද හිටපු පොලිස්පතිවරයා එහිදී සඳහන් කර තිබිණි.

ශානිගේ විශ්වාසය

එසේ ම මෙම කොමිසම හමුවේ 2021 ජනවාරි 26දා සාක්ෂි ලබාදෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර පවසා තිබුණේ ප්‍රහාරය පිළිබඳ විදේශීය බුද්ධි අංශයකින් ලැබුණු තොරතුර නිලන්ත ජයවර්ධන විසින් අනිවාර්යෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට දැනුම් දෙන්නට ඇති බවයි. නිලන්ත ජයවර්ධන කොමිසම හමුවේ පවසා තිබුණේ මේ සම්බන්ධයෙන් එවකට ජනාධිපතිවරයා දැනුවත් නොකළ බවයි.

මෙහිදී ශානි අබේසේකර මෙසේ ද පැවසීය.

‘පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කරකසභාවක් පැවැත්වුණා. එහි සාක්කි දෙන්න බුද්ධි අධ්‍යක්ෂත් කැඳවා තිබුණා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේත් සාකච්ඡාවක් කැඳවා තිබුණා. එම සාකච්ඡාවෙදි බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන කිව්වා, බුද්ධි ප්‍රධානීන් සාක්කි ගන්න කැඳවීම සුදුසු නෑ කියලා. ඔහු කිව්වා විදේශ බුද්ධි තොරතුර සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්ට, හිටපු බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට දැනුම් දුන්නා කියලා. ඔහු ඒ ලැයිස්තුව කියද්දිම එකපාරටම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා කිව්වා මටයි, අගමැතිටයි දැනුම් දුන්නෙ නෑ කියලා.

STF දන්නෙත් නෑ

කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් පවසා තිබුණේ අදාළ බුද්ධි තොරතුරු විශේෂ කාර්ය බලකාය සමග හුවමාරු කර නොගැනීම නිලන්ත ජයවර්ධන විසින් කරන ලද ප්‍රබල අතපසු කිරීමක් බවයි. 2019 අප්‍රේල් 16දා කාත්තන්කුඩි ප්‍රදේශයේදී යතුරුපැදියක අටවන ලද බෝම්බයක් පුපුරුවා හැරීමේ සිදුවීම පිළිබඳව තම නිරීක්ෂණ දැනුම්දීම සඳහා තමන් අප්‍රේල් 20 දින රාත්‍රී 7ට පමණ එවකට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට ඇමතුමක් ගත්තද, එහිදී හෝ අදාළ තොරතුර පිළිබඳ නිලන්ත ජයවර්ධන විසින් කිසිවක් නොපැවසූ බව ලතීෆ් විසින් මෙහිදී අවධාරණය කෙරිණි.

Related articles

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...

‘මන්දාකිනියක කීපදෙනෙක්’ – කසුන් සමරතුංග

මේක මේ මන්දාකිනියෙ ජීවත්වෙන බහුතරයක් නියෝජනය කරන්නට සමත් නියැඳියක කතාවක්.කවරයේ කළුපාටින් පේන ගැහැණු රූපයයත් පාට තුනකින් තියෙන පිරිමි...