(සුමින්ද කිත්සිරි ගුණරත්නගේ ‘ප්‍රිස්ම’ කාව්‍ය සංග්‍රහය ගැන සටහනක්)
සුමින්ද කිත්සිරි ගුණරත්න 1996 මුලින් ම සිංහල කවියට ප්‍රවේශ වන්න්නේ චක්කරං කොටුව කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත්කරමිනි .2001වර්ෂයේ දී සුමින්ද ජී.බී.සේනානායක කව්‍ය විමර්ශන නමින් විචාර කෘතියක් ද පළකරයි .එබඳු අතීතයක් ඇති කෙනෙකු අලුත් කාව්‍ය සංග්‍රහයක් රැගෙන එන විට ඒ ගැන පරීක්ෂා කර බැලීම ද යුතුකමකි .ජී.බී .සේනානායක වැනි ගැඹුරු ශාස්ත්‍රකාමී ලේඛකයකු ගැන සරසවි සිසුවකු ලෙස විමර්ශන කෘතියක් කළ සුමින්ද දිගට ම එබඳු විමර්ශනවල යෙදුණ බවක් නොපෙනුනත් ඔහු කවිය මුළුමනින් අතහැර ගිය කෙනෙකු නොවේ. එමෙන් ම ඔහු මේ රැගෙන එන සිරුරින් කුඩා කවි එකතුව අප තුළ බලාපොරොත්තු දල්වයි . ජපන් කාව්‍ය සම්ප්‍රදායක් වූ හයිකු ලෝක මට්ටමිමෙන් විචාරක අවධානයට පාත්‍ර වූවකි . එකී කාව්‍ය සම්ප්‍රදායේ විශිෂ්ටත්වය කෙබදු ද යත් එස්‍රාපවුන්ඩ් වැනි විශිෂ්ට බටහිර කවියා ද සිය කවිය ඉහළ තලයකට රැගෙන ඒම සඳහා ඒ සම්ප්‍රරදාය භාවිත කළේය .තවද තාගෝර් ඉංග්‍රීසි බසින් ඒ කාව්‍ය සම්ප්‍රදයේ විශිෂ්ටත්වය ප්‍රකාශ කළේ ය. සුබ්‍රමනියා භාරතී දෙමළ බසට හයිකු හඳුන්වා දුන්නේ ය . සිංහල බසින් හයිකු ගැන හැදෑරීමේ දී ආරිය රාජකරුණා අමතක කළ නොහැකිය. ආරියවංශ රණවීර ජපන් හයිකු සම්ප්‍රදාය සිංහල බසින් හඳුන්වා දීමට ගත් මෙහෙය අතිවිශිෂ්ටය .නන්දන වීරසිංහ ජපන් හයිකු කාව්‍ය සම්ප්‍රදායේ ආලෝකය ලබන උතුරු ඇමරිකානු කවි සිංහලට පරිවර්තනය කරමින් කළ මැදිහත්වීම ද අමතක කළ නොහැක්කකි .
විශිෂ්ට විචාරකයකු වන ලියනගේ අමරකීර්ති ඔහුගෙ නවකවි සලකුණ නම් අගනා කෘතියට “කෙටි කවිය සහ කවිතාව ;හයිකුමය කවියෙහි තාක්ෂණය සහ සෞන්දර්‍ය” නමින් දීප්තිමත් ලිපියක් ලියමින් වැදගත් මැදිහත්වීමක් කළේ ය. ඒ රචනයේ දී අමරකීර්ති “නිරනුකරණීය කලාව සහ කවි,විසංයෝජනීය කියවීම සහ හයිකු කවිය වැනි උපමාතෘකා ඔස්සේ හයිකු සහ වෙනත් ආකාරයේ කෙටිකවි වටහාගැනීමට අවශ්‍යය සාධනීය ප්‍රවේශයක් ලබාගත්තේය .එපමණක් නොව සිංහල බසින් අගනා කෙටි කව් රචානා කළ ලක්ශාන්ත අතුකෝරල,මාලන් බණ්ඩාර කපුවත්ත වැනි අයගේ දක්ෂතා ද එහි දී අගය කරයි .
අපරැක්කේ සිරිසුධම්ම හිමිගේ කෙටිකව් සලකුණ හයිකු කවිය,හයිකු ආකාර සිංහල කවිය වටහා ගැනිම සඳහා ලබා ගන්නා ප්‍රවේශය ඉතා සාධනීය එකකි .එහි දී බෞද්ධ ශනයේ එන සූත්‍ර,සෙන් බුදුදහම පමණක් නොව මිඛායෙල් භක්තීන්ගේ බහුශාබ්දිකත්වය වැනි සංකල්ප ද උන්වහන්සේ අගනා ලෙස උපයෝගී කර ගනියි .
අමරකිර්තිගේ නව කවි සලකුණ කෘතියෙන් පසු පළ වූ මංජුල වෙඩිවර්ධනගේ නිමිති,කල්පනා ඇම්බ්‍රෝස්ගේ පියා නොහැඹූ පියාපත් සහ පාලිත සේනාරත්නගේ හයිකු මොහොත වැනි කෘති ද සිංහල කෙටිකවිය සඳහා කළ සම්ප්‍රදානය ඉතාවැදගත් ය .
මෙබඳු පසුබිමක සුමින්දගේ ප්‍රථම කෙටිකවි එකතුව අප අතට පත්වන්නේ අපේ බලාපොරොත්තු දල්වාලමිනි .හයිකු කවියේ ඇති ගැඹුරු චිත්තරූපික භාවිතය සහ ඒ කාව්‍ය සම්ප්‍රදාය දාර්ශනික මූලශ්‍රවලින් ලබන පෝෂණය ගැන සුමින්දට අවබෝධයක් ඇති බව මේ කෘතියෙන් මනාව පැහැදිලි වෙයි .
හයිකු කවියෙහි අර්ථ ජනනීය ගුණය ව්‍යංගාර්ථ ලෙස ඌනනය කළ නොහැකි දෙයකි . ඒ ගැන වැටහීමක් ලබා ගැනීමට හැරලඩ් ජී.හෙන්ඩර්සන්ගේ AN INTRODUCTION TO HAIKU නම් කෘතියේ උපුටනයක් භාවිත කිරීම වැදගත් ය .
“…haiku is shorter than other forms of poetry it naturally has to depend for its effect on the power of suggestion, even more than they do .as haiku are studied further it will be seen that they usually gain their effect not only by suggesting a mood ,but also by giving a clear_cut picture which serves as a starting point for for trains of thought and emotion.”
සුමින්දගේ මේ කවි එකතුවේ එන හොඳ කවි සරල ව්‍යංගාර්ථ ඉක්මවා ගොස් විවිධ අර්ථ් තලවල සුළඟක් සේ හැසිරෙයි . පහත දැක්වෙන කවිය මඳක් ව්මසා බලමු .
මහ ගලක් මත
විඩා හරිමි
පිරිමදිමින්
ගල් තැලුම්
මෙහි ‘මහ ගල’ ,ගල් තැලුම්’ වැනි යෙදුම් එකිනෙක සම්මුඛ වීමෙන් නඟන අරුත් ප්‍රබලය. ජීවිත වේදනාව,වේදනා නිවාගනු ලබන ගිමන්හල් ආදි නොයෙක් දේ මෙහි දී පාඨකයාට සිහිපත් වෙයි .මෙහි ගැඹුරු අරුත ශාරීරික විඩාව ඉක්මවා යයි .
ඉහත කවියේදීත් සුමින්ද සොබාදහම අතවැසි කර ගනියි.පහත දැක්වෙන කවිය ද සොබාදහම ඇසුරෙන්ම අර්ථචමත්කාරය මතු කරන කවියකි .
මඩ කුඹුරු
රනින්
හැඩ වැඩ වන
අපූරුව
මෙහි දී සුමින්ද මතු කරන දේ ද්‍රව්‍යන්ගේ ප්ටිච්ච සමුපන්න බව ගැන පවා ඉඟි කරයි.ගොයම් කරල් සේ රන්වන්ව පැසෙන්නේ අර මඩ අතර ම වූ යමක් නොවේ ද?මෙහි දී සේකරගේ සංකලනාවක් ද සිහිපත් වෙයි .
දහදිය මුතු ඇට
මල් වරුසා වී
කරල් බරින්
පීදි වැගිරෙයි
මේ සේකරගේ ප්‍රබුද්ධ කාව්යේ පද කීපයකි .සුමින්ද ගේ මතු දැක්වෙන නිමැවුම දේශපාලන සංදර්භයක තබා අරුත් මතු කරගත හැකි කවියකි .
අඳුරට එරෙහි
මැටිපහන් අරගලය දැක
ලැජ්ජා වී
තැනින් තැන මතු වෙයි
තාරකා
මේ කවිය හයිකු කවියේ චිත්තරූප එකිනෙක ප්‍රතිමුඛ කිරීම ගැන සුමින්ද සතු අවබෝධය මැනවින් ප්‍රකට කරයි .
ජීවිතයේ අතිර බව වැනි දෑ ගැන අවබෝධයෙන් තොරව වස්තු තන්හාවෙන් මඩනා ලද දේශපාලන ව්‍යාපෘති දෙස සදය උපහාසයෙන් බලන කවියක් ලෙස පහත දැක්වෙන කවිය ගත හැකි ය .
නවතාලිය හැකි ද
ඒ
අධිරාජිනියට
පායන මොහොතේ සිට ම
බසින
හිරු
බ්‍රිතාන්‍යය කිරීටය සහ හිරු නොබසින අධිරාජ්‍ය යන යෙදුම් මෙහි දී සුමින්ද සියුම් ලෙස භාවිත කරයි .’පායන මොහොතේ සිට ම බසින හිරු” අනිත්‍ය සඥාව ස්පර්ශ කරයි .මිනිස් සබඳතාවල සියුම් බව පවා ඇතැම් විට සුමින්ද කවියට රැගෙන එයි.පහත දැක්වෙන කවිය ඒ සඳහා නිදසුනකි .
පුරන් වූ
වෙල දෙසින්
ඇසෙයි තවමත්
තාත්තාගේ
අඬහැරය
මේ කාව්‍ය සංග්‍රහය ගැන මතු දිනක සංවාද මණඩපයක දී හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ සටහන නවතමි.
ප්‍රියංකර නිවුන්හැල්ල