පේලේ මෙලොවින් සමුගැනීම සහ “දෙපා ලදිමි” නවකථාව

Share post:

පාපන්දු ක්‍රීඩාව උඩු යටිකුරු කළා වූ ද මෙතෙක් ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා වූ ද බ්‍රසීල ජාතික පේලේ පසුගිය දින මොලොවින් සමු ගත්තේය. තරුණ වියේදීම පාපන්දු ක්‍රීඩාවෙන් ලෝක ශුරතාවන් තුනකට හිමිකම් කියූ එකම ශ්‍රේෂ්ඨයා ඔහු වන්නේය. අපි ඔහුට ගෞරව කරමු.

පේලේ ගැන මා මෙරට ක්‍රීඩා රසිකයන් දැනුවත් කළේ 80 දශකය මුල් භාගයේ දී ලේක්හවුස් පුවත්පත් ආයතනය ආරම්භ කළ ක්‍රීඩා පුවත්පතෙනි. එහි ආරම්භක කතුවරයා වූයේ සරත් ප්‍රේමතිලක මහතාය. ඛෙංගාලි ලේඛක මෝති නන්දිගේ Striker ස්ට්‍රයිකර් කෘතියේ සිංහල පරිවර්තනය ලෙසින් “දෙපා ලදිමි” එහි පළ විය. කතාවට අදාළ රේඛා චිත්‍ර සම්පාදනය කළේ ජගත් හේවාපන්න මහතාය. පසු කලෙක ඔහු ක්‍රිඩා පුවත්පතේ කතුවරයාද විය.

එකල මා සේවය කළෙ පාර්ලිමේන්තු හා ක්‍රීඩා අමාත්‍යංශයේ තොරතුරු හා ප්‍රචාරක නිලධාරිවරයා වශයෙනි. මා සිටි කාමරයේ ජනේලයෙන් එබී බලන විට මට නිතර ඇස ගැසෙන්නේ මෙරටට පැමිණ සිටි ජර්මානු ජාතික පාපන්දු පුහුණකරුවකු වූ බර්ක්හාඩ් පාපේ නැමැති උත්තුංග දේහධාරියා වෙතින් අමාත්‍යාංශ ක්‍රිඩා පිටියේ පුහුණුව ලබන ලිලිපුට්ටන් වැනි මෙරට තරුණ පාපන්දු ක්‍රීඩකයන්ගේ දුක්බර තත්ත්වයයි. ඔවුන් පෝෂණ ශක්තියෙන් හා කාය ශක්තියෙන් මහත් දුර්වල බවක් පෙන්නූ හෙයින් ඔවුන් පාපේ වෙතින් ගෙවන්නේ මොන පාපයක් දැයි මට එදා සිතිණි.

මා වෙතින් “දෙපා ලදිමි” කෘතිය සිංහලට පරිවර්තනය වුණේ එවැනි පසුබිමකය. නවකථාව ආරම්භයේදීම ප්‍රෙසන් භට්ටාචාර්ය නමැති තරුණයා සොයා ඔහුගේ නිවස කරා එක්තරා විදේශිකයෙක් පැමිණෙයි. දිගු සුරුට්ටුවක් දල්වා ගත් අමුත්තා මෙසේ පවසයි.

“මම ආවේ බ්‍රසීලයේ ඉඳලා. සමහර විට මුන්නැහැ අහල ඇති බ්‍රසීලයේ සැන්ටොස් ක්‍රිඩා සමාජය ගැන. මම තමයි ඒකෙ කළමනාකරු. ප්‍රෙසන් කැමති නම් අපි සතුටුයි ඔහු අපේ ක්‍රීඩා සමාජයේ සාමාජිකයකු කර ගන්ඩ.”
මෙහි දී අමුත්තා තවදුරටත් ප්‍රෙසන්ගේ පියාට මෙසේ පවසයි.

“බ්‍රසීලයේ තියෙනව සැන්ටොස් කියල පාපන්දු ක්‍රීඩා සමාජයක්. ඒක දැනට ලෝකයේ තියෙන ඉහළම පෙළේ ක්ලබ් එකක්. ඒ ක්ලබ් එකෙන් සෙල්ලම් කරන පේලේ තමයි අද ලෝකයේ සිටින ඉහළම පෙළේ පාපන්දු කී්‍රඩකයා…”
මෙසේ සිහිනයක් ලෙසින් ඇරඹෙන, ඛෙංගාලි ක්‍රීඩකයකුගේ දෙපයින් නැ`ගී සිටීමේ වෘත්තාන්තය දුප්පත්කම හා කටුක ජීවන යථාර්ථයට කොතරම් සමීප ද අව්‍යාජ ද යන්න ගැන “දෙපා ලදිමි” කියවා ඇති ලක්ෂ ගණනක් පාඨකයෝ හොඳින් දනිනි.
මේ නවකථාවේ එන පාපන්දු ක්‍රීඩා පුහුණුකරුවා ප්‍රෙසන්ට මෙසේ පවසයි.

“ඒ නිසා මුල් තමයි චරිතය කියල කියන්නේ. සාර්ථකත්වය සඳහා කෙටි පාරවල් සොයන්නට ගියොත් ඔබේ මුල් දිරායන්ට පුළුවන්. මම ඒ මුල් විහිදිලා යන්නට උදව් දුන්නා. නමුත් ගහ වැඩෙන්ඩ ඕනැ ගහ සමඟම \ සටන් කිරීමෙන්. තමා සමඟ තමා අරගල කරමින් නැ`ගී සිටිනු මිසක වෙන කාගෙවත් පිහිට පැතීමෙන් ඇති වැඩක් නැහැ. හැබැයි ඔබේ මුල් කුණුවෙන්ඩ නැත්නම් දිරායන්ඩ පටන් ගත්තොත් ඔබට අරගල කළ නොහැකියි.”

“ඔව් මට මතකයි ඒකෙ මෙහෙමත් තියෙනව. මිනිසා පරාජය විය හැකියි. එහෙත් විනාශ කළ නොහැකියි කියල.”
මෙවැනි සංවාදයන් මෙරට පාඨකයාට සමීප වූයේ එම නවකථාවෙන් බව කිව යුතුය.

පේලේ නමැති ශ්‍රේෂ්ඨයා පාපන්දු ක්‍රීඩාවේ උච්චතම අවස්ථාවකට අවතීර්ණව සිටිය දී මගෙන් සිංහලට එකතු වූ මෙරට පාඨකයන් ලක්ෂ ගණනක් රස විඳි “දෙපා ලදිමි” නවකථාව පේලේ ලොවෙන් සමුගත් මේ මොහොතේ ඔහුට ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.

සේනාරත්න වීරසිංහ (fb)

ප්‍රභා ප්‍රකාශකයෝ

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...