රුපියල් කෝටි 9,000ක් වැනසූ තාලයට ම විදුලි බිලත් සියයට 65කින් වැඩි කරයි : මහජන උපයෝගිතා කොමිසමත් අවසන් !

Share post:

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ඉවත් කර, නව සභාපතිවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුවී තිබේ.

විදුලිබල ඇමති කාංචන විජේසේකර ප්‍රමුඛ ඇමතිවරුන් පිරිසක් මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කර ඇත. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ අද (02) පස්වරුවේ පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ ව සාකච්ඡා කොට, අනෙකුත් ඇමතිවරුන්ගේ ද අදහස් ලබාගැනීම වැදගත් බවයි. කෙසේ වෙතත් ආණ්ඩුවේ තීරණ අභියෝගයට ලක්කිරීමට සභාපතිවරුන්ට ඉඩ නොතැබිය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී විදුලිබල ඇමතිවරයා ඇතුළු පිරිසට පෙන්වා දී තිබේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පත්කිරීමේ හෝ ඉවත් කිරීමේ හෝ බලය ඇත්තේ ජනාධිපතිවරයා සතුව ය.

‘අපි පිළිගන්නෙ නෑ’

කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ඊයේ (01) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ කැබිනට් මණ්ඩලය මගින් විදුලි බිල සියයට 65කින් ඉහළ දැමීමට තීරණය කළහොත්, එය පිළිගැනීමට තමන් සභාපතිත්වය දරන කොමිෂන් සභාව සූදානම් නැති බවයි. පනතට පටහැනිව කටයුතු කරමින් ජනතාව පීඩාවට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවට ද ඔහු වැඩිදුරටත් මෙහිදී චෝදනා කළේය.

2018 වගේමයි

මේ සම්බන්ධයෙන් thetime.lk සමග අදහස් දක්වමින් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ නීතියට පිටින් කටයුතු කිරීමට විදුලිබල ඇමතිවරයා උත්සාහ දරන බවයි. 2018 වසරේදී ද මේ ආකාරයට ම ඇඹිලිපිටිය ඒස් පවර් විදුලි පෞද්ගලික සමාගම සමග ගිවිසුමක් අත්සන් කිරීමට අදාළ ව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතියට පිටින් කැබිනට් මණ්ඩලය කටයුතු කළ බව ද ඔහු පෙන්වා දුන්නේය.

රට ම හෙට පාරට

ඒ ආකාරයට ම මෙහිදී ද කටයුතු කිරීමට සූදානම් වන බවත්, එසේ වුවහොත් රට පුරා සියලුම විදුලි සේවකයන් හෙට (03) දහවල් 12 සිට 2 දක්වා දැවැන්ත විරෝධතාවක් පවත්වන බවත් රංජන් ජයලාල් පැවසීය.

පුදුමයක් නෙමෙයි

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමේ සූදානමක් සම්බන්ධයෙන් වාර්තා වී ඇත්දැයි අප කළ විමසීමට පිළිතුරු දෙමින් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ එවැන්නක් මෙතෙක් වාර්තා වී නැතත්, ජනාධිපතිවරයාට එසේ කළ හැකි බවයි. කොමිසමේ විරෝධය පාලනය කිරීම සඳහා එවැනි තීරණයක් ගැනීමට ආණ්ඩුව කටයුතු කළහොත්, එය පුදුමයට කරුණක් නොවන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

විදුලි බිල සියයට 65කින් ඉහළ දැමීමට අදාළ අවසාන තීරණය අද (02) පස්වරුවේ පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගැනීමට නියමිත ය.

නීතිපති මතය කුමක්ද?

මේ අතර නීතිපති සංජය රාජරත්නම් අවධාරණය කර ඇත්තේ විදුලිබල ක්ෂේත්‍රයේ කරුණු පිළිබඳ අවසාන තීරණ ගැනීමේ බලය එම විෂය බාර ඇමතිවරයාට පවතින බවයි. මහජන උපයෝගිතා කොමිෂන් සභාවට එම තීරණ ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නැති බවත්, එම කොමිෂන් සභා පනතට අනුව කැබිනට් මණ්ඩලය මගින් විෂයට අදාළ ව ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම සහ ඊට සහාය වීම කොමිෂන් සභාවේ වගකීම බවත් නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් විදුලිබල ඇමති කාංචන විජේසේකරට සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

ඇඹිලිපිටිය ඒස් පවර් ගනුදෙනුව

කෙසේ වෙතත් ඇඹිලිපිටිය ඒස් පවර් පෞද්ගලික සමාගම සම්බන්ධ 2018 සිදුවීමේදී ද පසුව තහවුරු වූයේ සියලු ආයතන නොමග යවමින්, අතයට ගනුදෙනුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇති බවයි. එහිදී ද එම ගනුදෙනුවට මහජන උපයෝගිතා කොමිසම දැඩි ව විරුද්ධ විය. එහෙත් කැබිනට් මණ්ඩලය කොමිෂන් සභාවේ අනුමැතිය නොමැතිව එය කරගෙන යෑමට ඉඩදුන්නේය.

විදුලිය අවශ්‍යතාව මත ‘හදිසි විදුලිය මිලදී ගැනීම්’ නම් ක‍්‍රමවේදයක් ලංවිම සතුව පවතී. ඊට ම කැපවූ පෞද්ගලික විදුලි බලාගාර තිබේ. මේ පෞද්ගලික විදුලි බලාගාර සමග සන්ධානගත වී, එහෙමත් නැතිනම් ගිවිසුම්ගත වී හදිසි විදුලිය මිලදී ගැනීම් සිදුකිරීමට ලංවිම ඉහළ බලධාරීහු නිරන්තරයෙන් කටයුතු කරති. ඇඹිලිපිටිය බලාගාරය සමග ද වසර 10ක් තිස්සේ සිදු කර තිබුණේ එවැනි ගනුදෙනුවකි.

හැරී ජයවර්ධන

මෙම විදුලි බලාගාරයේ නම ඒස් ඇඹිලිපිටිය ය. එහි හිමිකරු ව්‍යාපාරික හැරී ජයවර්ධන ය. ඒස් මාතර ඇතුළු තවත් බලාගාර හැරී ජයවර්ධනට තිබේ. වැඩිම විදුලි ජනක ධාරිතාව ඇත්තේ ඒස් ඇඹිලිපිටිය බලාගාරයේ ය. මෙගාවොට්වලින් එය 100කි.

මේ ඒස් ඇඹිලිපිටිය බලාගාරය කරළියට එන්නේ 2005 වර්ෂයේදී ය. ඒ ලංකා විදුලිබල මණ්ඩලය සමඟ දස අවුරුදු ගිවිසුමකට එළැඹෙමින්ය. මේ ආකාරයේ විදුලිබල ගිවිසුම්ද හරි අපූරු ය. ආයෝජකයාට හෙවත් හිමිකරුවාට කිසිදු අවදානමක් නැත. මේ විදුලිිය ලබාගැනීමේ ගිවිසුම් සකස් වන්නේ බලාගාරය ගොඩනැංවීමට ලබාගත් ණය හා ඊට අදාළ පොළිය ගෙවීම, ණය නොවන අනෙකුත් ප‍්‍රාග්ධනයට ගිය වියදම ලාබය ද සමග ලබාගැනීම, බලාගාරය ක‍්‍රියාත්මක කිරීමේ ඉන්ධන ඇතුළු සියලු වියදම් පියවා ගැනීම යන විදුලි ඒකකයක මිල තීරණය කිරීමේ ක‍්‍රමවේදයකට අනුව ය.

2003 සිට ඉදිරියට

2003 මැයි 09 දින එවකට පැවති ආණ්ඩුවත්, ඒස් පවර් ඇඹිලිපිටිය පෞද්ගලික සමාගමත් අතර ගිවිසුමක් අත්සන් කර ඇත. ඒ ශ‍්‍රී ලංකාවේ දකුණු ප‍්‍රදේශයේ විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීම සඳහා ය. බලාගාරය ඉදිකිරීම සඳහා වැයවන මුදල වශයෙන් ඇමෙරිකානු ඩොලර් 61,155,144ක් ආයෝජනය කිරීමට නියමිතව තිබී ඇති අතර, ඉන් සියයට 70ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් 42,808,601ක් ණය ප‍්‍රාග්ධනය ලෙස ද, ඉතිරිය ස්කන්ධ ප‍්‍රාග්ධනය ලෙස ද දක්වා තිබී ඇත. මෙම ණය, මූලාශ‍්‍ර දෙකක් යටතේ ලබාගෙන තිබී ඇති අතර, එක් ණයක් සඳහා පොළිය සියයට 8.45කි. අනෙක සඳහා සියයට 5.725කි. මෙම ණය මුදල වසර 7ක කාලයකදී සම්පූර්ණයෙන් ගෙවීමට සකස් කර තිබී ඇත. ස්කන්ධ ප‍්‍රාග්ධනය සඳහා සියයට 17ක් ආරම්භකව සහ සියයට 28 දක්වා ඉහළ යන ප‍්‍රතිලාභ ලබාගැනීමට ගණනය කර තිබී ඇත.

මේ අනුව ඇඹිලිපිටිය ඒස් බලාගාරයෙන් විදුලි ඒකකයක පිරිවැය සකස් කර ඇත්තේ ධාරිතා ගාස්තුව හා බලශක්ති ගාස්තුව යන කොටස් දෙකකින් යුක්තව ය. එහිදී ධාරිතා ගාස්තුව වැඩි කළ නොහැකි සංරචකයන් හා වැඩිකළ හැකි සංරචකයන් ලෙස ද තවදුරටත් කොටස් දෙකකට බෙදා දක්වා ඇත.

මේ වැඩිකළ නොහැකි සංරචකයන්ට ණය වාරික, ණය පොළිය, ස්කන්ධ ප‍්‍රාග්ධනය සඳහා ප‍්‍රතිලාභය හා රක්ෂණය ඇතුළත් වී ඇත. වැඩිකළ හැකි සංරචකයන්ට ස්ථාවර මෙහෙයුම්, නඩත්තු, පරිපාලන වියදම් ඇතුළත් කර ඇත. ඊට අමතරව ධාරිතා ගාස්තුවට ප‍්‍රමාද පොළිය ද ඇතුළත් කර ඇත.

බලශක්ති ගාස්තුව තීරණය කර ඇත්තේ ඉන්ධන අනුපාතය, ඉන්ධන ප‍්‍රවාහනය හා බලාගාරය නතර කිරීමේ ගාස්තු, විචල්‍ය මෙහෙයුම් හා නඩත්තු ගාස්තු, බදු ප‍්‍රතිපූර්ණය හා ප‍්‍රමාද පොළිය යන සාධකයන්ගෙන් යුක්තව ය.

කෝටි 9,000ත් පනී

ඒ අනුව ඇඹිලිපිටිය ඒස් බලාගාරයේ ධාරිතා ගාස්තුව වශයන් 2005, 2015 අතර වසර 10ක ගිවිසුම් කාලයේදී ඇමෙරිකානු ඩොලර් 117,997,163ක් හෙවත් රුපියල් මිලියන 13,421ක මුදලක් ලංවිම ගෙවා ඇත. එය මෙම බලාගාරයේ මුළු ආයෝජන මුදල මෙන් දෙගුණයකට ආසන්න ය. ඊට අමතරව එම කාලයේදී රුපියල් මිලියන 79,324ක මුදලක් බලශක්ති ගාස්තු වශයෙන් ගෙවා ඇත. මේ තුළ බදු ප‍්‍රතිපූර්ණය ලෙස රුපියල් මිලියන 4784ක් ද, ප‍්‍රමාද පොළිය ලෙස රුපියල්  මිලියන 527ක් ද ඇත.

ඒ අනුව අවුරුදු 10ක ගිවිසුම් කාලය තුළ ව්‍යාපාරික හැරී ජයවර්ධන ලබාගෙන ඇති ප‍්‍රතිලාභය සුළුපටු නැති බව පැහැදිලි ය.

නැවත නැවතත්

එහෙත් එය එතැනින් නතර වූයේ නැත. ලංවිම නිලධාරීන් උත්සාහ කර ඇත්තේ ඒස් ඇඹිලිපිටිය බලාගාරය සමග තවදුරටත් ගනුදෙනු කිරීමට ය. එම උත්සාහය, ඒස් සමාගම සමග ගිවිසුම අවසන් වූ 2015 අප්‍රේල් 06 දිනට පෙර සිට ම ආරම්භ වී ඇත. ඒස් බලාගාර ගිවිසුම අවසන්වීමෙන් පසු ඇති විය හැකි විදුලිය බිඳවැටීම් ගැන අනතුරු හැඟවීම් කර ඇත. ඒ නිසා ඒස් බලාගාරයේ ගිවිසුම් කාලය දික්කළ යුතු බව කියා ඇත. එම ඉල්ලීම ඇදි ඇදී ගොස් තීරණාත්මක අදියරකට පැමිණ ඇත්තේ 2016 පෙබරවාරි 25 දින හා මාර්තු 13 දින ජාතික විදුලිබල පද්ධතිය පූර්ණ බිඳවැටීමකට ලක්වීමෙන් පසු ය. එහිදී අඛණ්ඩ විදුලිබල සැපයුමක් සඳහා අතිරේක විදුලිබල ධාරිතාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව අවධාරණය කෙරිණි.

දිගුකාලීන ගිවිසුම් යටතේ විදුලිය මිලදී ගත් ගිවිසුම් කාලය අවසන් වී ඇති හා තවදුරටත් භාවිත කළ හැකි මට්ටමක පවතින පෞද්ගලික විදුලි බලාගාර ලංවිම මිලදී ගත යුතු බව නිර්දේශ වී ඇත්තේ ඒ අනුව ය. එසේ නිර්දේශ වී ඇති බලාගාර වී ඇත්තේ ඒස් ඇඹිලිපිටිය, පුත්තලම හෙළදනවි හා ඒස් මාතර යන ඒවා ය. මෙම බලාගාර මිලදී ගැනීම සඳහා සාකච්ඡා කිරීමටත්, තාක්ෂණික ඇගයීම් සඳහාත් කමිටු පත්කර තිබී ඇත. ඒ වන විට එම බලාගාර හිමියන් ඒවා ලංවිමට විකිණීමට කැමැත්ත පළකර තිබී ඇත. එම බලාගාරවල ප‍්‍රාග්ධන ආයෝජනය පියවීම සඳහා වන ගෙවීම් ලංවිම ඒ වන විටත් විදුලිය ලබාගැනීම වෙනුවෙන් ඔවුන්ට ගෙවා තිබීම ද එම කැමැත්තට හේතුවී ඇත.

ඒ අනුව ඒස් පවර් ඇඹිලිපිටිය බලාගාරය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 17ක් හෙවත් රුපියල් මිලියන 2,465ක මුදලක් ව්‍යාපාරික හැරී ජයවර්ධන ඉල්ලා ඇති අතර, රජයේ තක්සේරුකරුගේ මිල ඊට වඩා අඩු වී ඇත.

කොමිසම කොතැනද ?

කෙසේ වෙතත් බලාගාරය මිලදී ගැනීම සඳහා පත්කළ සාකච්ඡා කමිටුව වසරක කාලයකට ගිවිසුම්ගත වී විදුලිය මිලදී ගැනීමටත්, මිලදී ගැනීමේ කටයුත්තට දෙපාර්ශ්වය එකඟ වූ දිනයකදී ගිවිසුම අවසන් කර බලාගාරය මිලදී ගැනීමටත් තීරණය කරමින් ආවරණ අනුමැතියකට යටත්ව, 2016 මාර්තු 29 දින ඒස් බලාගාරය සමඟ තවදුරටත් විදුලිය ගැනීමට ගිවිසුම්ගත වී ඇත. මේ තීරණය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇත්තේ ගිවිසුම්ගත වීමෙන් පසුව ය.

2016දී වසරකට අත්සන් කළ ඒස් ගිවිසුම 2017දී තවත් වසරකට දීර්ඝ කර ඇත. අනතුරුව 2018දී තවත් වසර 03ක කාලයකට හෙවත් 2021 අප්‍රේල් 05 දක්වා එම ගිවිසුම ලංවිම බලධාරීන් විසින් දීර්ඝ කෙරිණි.

එසේ මෙම ගිවිසුම ලංවිම බලධාරීන් දීර්ඝ කර ඇත්තේ ඒස් ඇඹිලිපිටිය බලාගාරය මහජන උපයෝගිතා කොමිසමෙන් ලබාගත යුතු බලපත‍්‍රය පවා ලබානොගත් පසුබිමක ය.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...