වික්ටෝරියානු නවකතාව පිළිබඳ කතාකරන ඇතැම් විචාරකයකු ; විවිධාකාර චරිත සහ සිද්ධි වලින් ගහන වීම, චරිත සහ සිද්ධි අතිරික්තය ඒවාහි දුර්වලතාවකැයි පෙන්වා දෙති. එසේ නම් ඔවුන් හමුවේ දැන් අභියෝගයක් තිබේ. අභියෝගකාරයා ලාංකිකයෙකි. නවකතාකාරයෙකි. නමින් හේ ෂෙහාන් කරුණාතිලක ය. ඔහු එම අභියෝගය විචාරකයන් හමුවේ තබනුයේ, The Seven Moons Of Maali Almeida කෘතියෙනි. වික්ටෝරියානු නවකතාව පිළිබඳ ඉහත නිර්ණායකය කරතබා ගත්තකුට ස්වන් මූන්ස් හරහා ෂෙහාන් අමතක නොවන පාඩමක් උගන්වනවා තිබේ. මෑත ඉතිහාසයේ කිසිවකු විසින් හෝ කියවන්නට යෙදෙන වැඩිම චරිත සංඛ්‍යාවක්, සිද්ධි ප්‍රමාණයක් සහිත නවකතාව ස්වන් මූන්ස් වනවාට සැකයක් නැත. විචාරකයන් වරදකැයි කියන චරිත සහ සිද්ධි අතර අන්තර් සබඳතාවන් හි ලිහිල පමණක් නොව චරිත සහ අන්තර්ගතය අතර ලිහිලද ස්වන් මූන්ස් හි තිබේ. එනම් එහි එන ඇතැම් චරිතයක් සෙවණැල්ලක් මෙන් පෙනී නොපෙනී යනවා පමණි. එහෙත් ඒ ක්ෂණය තුළත් කතාවේ ගැඹුරු පදාසයක් සිත්තම් කෙරේ. සාධනීය කාරණය වන්නේ, දුර්වලතායැයි ගතානුගතිකව සම්මත රචනා ලක්ෂණ වුව හොඳ කතාකාරයකුට ප්‍රබල කතාවක් ගොඩනැඟීම සඳහා උපයෝගී කර ගතහැකි බව ෂෙහාන් ඔප්පු කිරීමය.
ස්වන් මූන්ස් හි තේමාව ලංකාවේ මෑත කාලීන ඉතිහාසයයි. මෙරට මෑත කාලීන ඉතිහාසය කාව්‍යකාරයන්, කෙටිකතා නවකතාකාරයන් මතු නොව නාට්‍යකාරයන් චිත්‍රපටකාරයන් මෙන්ම චිත්‍රශිල්පීන් අතින් ද වෙන් වෙන් ආකාරයෙන් කැටයම් කෙරී ඇත්තකි. එකී කැටයම් වලින් නිරූපණය කෙරෙන ප්‍රමාණය ඒ ඒ නිර්මාණකරුවා ගේ කලාව , විශේෂයෙන්ම රුචිකත්වය අනුව සීමා කෙරී තිබේ. එනම්, උතුරේ යුද්ධය තේමා කර ගන්නා විට දකුණේ ජවිපෙ කැරැල්ල මඟ හැරේ. දකුණේ ජවිපෙ කැරැල්ල තේමා කෙරෙන විටෙක උතුර මඟහැරේ; ජවිපෙ දෘෂ්ටිකෝණය හෝ ආණ්ඩුවේ දෘෂ්ටිකෝණය ඉස්මතුවූ අවස්ථාද තිබේ. උතුරේ ගරිල්ලා සටනද සාහිත්‍යය තුළ බොහෝවිට ප්‍රතිනිර්මාණය ව ඇත්තේ එක්කෝ උතුරට හෝ දකුණට හෝ බරතැබෙන පිළිවෙතක පිහිටාය. නමුත් ස්වන් මූන්ස් ,උතුරත් දකුණත් ජවිපෙත් ආණ්ඩුවත් ඉන්දියන් සාම සාධක හමුදාවත් පාතාලයත් අවි ජාවාරමත් නිල සහ නිලනොවන ආණ්ඩුවේ හමුදාත් අල්ලස, එන්ජීඕ ඇතුළු බොහෝ දේත් එකපැහැර කලාත්මකව ග්‍රහණය කර ගනී. වැදගත්ම කරුණ වන්නේ ස්වන් මූන්ස් හි ඒ ඉතිහාසය කවර හෝ පාර්ශ්වයක් කෙරෙහි විශේෂ නැමියාවක් හෝ මනාපභාවයකින් තොරව සියල්ල රූපගතකරන ඡායාරූප මාධ්‍යවේදියකු ගේ ඇසින්, මැදහත් සිතකින් නිර්මාණාත්මක ලෙස ප්‍රතිනිර්මාණය වී තිබීමය.
‘ මුලින්ම තොරතුරු තහවුරු කර ගන්න ඕන. නම?’
‘ මාලින්ද ඇල්බට් කබලාන’.
‘ කරුණාකරල එක කොටසක්.’
‘ මාලි’.
‘ කොටසක් කියන්නෙ මොකක්ද දන්නවද?’
‘ මාල්.’
‘ ස්තුතියි. ආගම?’
‘ නැහැ.’
‘ පුදුම වැඩක්. මරණයට හේතුව?’
‘ මතක නැහැ.’
‘ මරණය වෙච්ච දවස?’
‘ දන්නෙ නැහැ.’
‘ අයියෝ.’
තමන්ගේ මරණයට හේතුව සොයන මාලි ගේ ඒ අද්දැකීම කාර්යාලයකින් නිල කටයුත්තක් කරගැනීමට යන කවරකුට වුව පොදුය. ඔවුනට සිදුවන්නේ මෙවැනි පොලිසිය කරන්නා වැනි හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්නට නොවේද?
” ලෝක බැංකුවයි නෙදර්ලන්ත ආණ්ඩුවයි ඇළ ප්‍රතිසංස්කරණයට දුන්නු සල්ලි හොඳට මහපු සාක්කු වලට වැටුණ”
” කාර්යාල වහල්ලුයි කාර්යාල වහල්ලු වෙන්න පුහුණු වන පාසල් ළමයිනුයි බස්වල පිරිල.”
” කොටිත් හමුදාවත් සාමාන්‍ය ජනතාව ඝාතනය කරනව. ඉන්දියන් සාමසාධකයන් යුද්ධය පටන් ගනිමින් ඉන්නව.”
වැනි මෙරට යථාව සෝපහාසීව ප්‍රකාශ මාන කෙරෙන කියුම්, ස්වන් මූන්ස් යනු හොදම ආකාරයට සංකීර්ණ කතාවක් යනුවෙන් සහ කියැවීමේ රුචිය , සතුට දනවන්නක් ලෙස හැඳින්වීම් ලබන්නට හේතුය.
රන්ජන් විජේරත්න , රාජිණී තිරාණගම, දයා පතිරණ , විජය කුමාරතුංග ආදි නුදුරු ඉතිහාසයේ දේශපාලනයේ වින්දිතයන් වෙනත් නම් වලින්- සේන පතිරණ, සිරිල් විජේරත්න- හමුවන එය; ” ලංකාවේ සිවිල් යුද්ධයේ සත්‍ය සහ බියජනක යථාව සාහිත්‍යමය මල්බර බවකින් යුතුව නිරූපණය කරන,බියකරු කාලපරිච්ඡේදයකට කලාත්මක සාධාරණත්වයක් ඉටු කරන කෘතියක්” ලෙස ගාඩියන් විසින් පවසනු ලැබීම අතිශය නිවැරදිය.
ස්වන් මූන්ස් හි චරිත බොහොමය මළගිය ඇත්තන්ය. ජීවත්ව ඉන්නන් මියයාමට නියමිතය. ප්‍රධාන චරිතය මාධ්‍යවේදී මාලි, තමන්ගේ මරණයට හේතු සොයමින් ම ඝාතන රැසක තොරතුරු හෙළිකරන්නට දරන උත්සාහය උත්ප්‍රාසජනකය. සියල්ලන්ම ගොදුරුය, ගොදුරු වන්නට නියමිත අයය. මිනිසුන් අතුරුදන් කරන්නන් පමණක් නොව මළසිරුරු අතුරුදන් කරන්නන්ද හමුවේ. සාමාන්‍ය මිනිසාත් ආණ්ඩුවේ අවශ්‍යතාවට මළ සිරුරු අතුරුදන් කරන්නාත් එකම පීඩාවෙන් පසුවේ;
කොත්තු:-” මම කිළිටි රස්සාවක් කරන පොඩි මිනිහෙක්. මට හොඳ රස්සාවක් හොයා ගන්න ලැබුණොත්, ඒත් හොරෙක් ගන්නෙ කවුද?
බළල්:- මමත් කියන්නෙ ඒකමයි.” කොත්තු සහ බළල් ඝාතනයට ලක්වූ මළමිනී රැස්කරන්නන්ය.
” මේක හරියන රස්සාවක් නෙමෙයි.” මිනී රැගෙන යන රියේ ඩ්‍රයිවර් මල්ලි ද කියයි.
හමුදාවට,දෙමළ ජනතාවට,සිංහලයන්ට සැමට ඝාතනය පොදුය, සිංහලයා දෙමළාත්, දෙමළා සිංහලයාත්, සිංහලයා සිංහළයාත් දෙමළා දෙමළාත් ඝාතනය කරති. ඉහත අසරණ කතා පවසන බළල් සහ කොත්තු ඝාතනයට ලක්වූ ජවිපෙ සාමාජික සේන පතිරණ ඇතුළු පිරිස විසින් ඝාතනය කරන්නට යෙදේ.
මානව සබඳතාවන්හි ව්‍යාජභාවය මනා ලෙස නිරූපණය කෙරෙන ස්වන් මූන්ස් හි හමුවන චරිත සමරිසි වීම ලාංකේය සමාජයේ සබඳතාවන්හි ප්‍රජනනීය අවලංගු භාවය නිරූපණය කරන්නකි. මිනිසුන් මිනිසුන් අතර සබඳතා ඇති නමුත් ඒවා නිර්ව්‍යාජ හෝ පලදායී හෝ ප්‍රතිජනනාත්මක නැත.
” ඔබ ඔහුට ආදරය කළාට වඩා ඔහු ඔබට ආදරය කළ කොල්ලා.”ලෙසින් වරෙක හඳුන්වනු ලබන DD, මාලිගේ වෙනත් සබඳතාවකින් කෝපාවිෂ්ට වන නමුත් ක්ෂණයෙන් වෙනත් තරුණකු සමඟ ඇසුරක් ගොඩනඟාගනී. මාලි ගේ පෙම්වතිය වීමේ අභිලාෂය සහිත ඔහුගේ සමීපතම යෙහෙළිය ද ලෙස්බියානු ඇසුරක පටලැවෙන්නියක ලෙස අවසානයේ හෙළිදරව් කෙරේ.
එකී ව්‍යාජ සබඳතා ප්‍රතිනිර්මාණය කරන්නට ෂෙහාන්, කතකයා වන මාලිගේ කතාව ඔබ යනුවෙන් මාලිට ම කියන පිටස්තරයකු යොදා ගැනීමද අතිශය වලංගුය.
බේරෙ වැව මැද පන්සලේ බුදු පිළිම කැමැත්තකින් හෝ විරෝධයකින් තොරව උපේක්ෂාවෙන් මළ මිනී දෙස බලා හිඳින. මළ සිරුරු වල ඇස් උගුල්ලා කෑමට කුරුල්ලන් වාද කරන. මළකඳන් ගණන් නොගෙන කබරයන් උදා සංචාරයේ යෙදෙන ස්වන් මූන්ස් ; හින්දු ඩොට්කොම් විසින් හඳුන්වා තිබුණේ, ඔබේ ආදරයේ අර්ථය කවරේද යන ප්‍රශ්නය නොකඩවා නඟන ප්‍රබන්ධයක් ලෙසිනි.
ස්වන් මූන්ස් ලිවීමේ කලාවේ ශිල්පීය හරඹ බෙහෙවින් හමුවන කෘතියකි. වැද්දුම් පිරිද්දුම් නැතිව පරිසමාප්ත නවකතාවක් ලියන්නේ කෙසේදැයි දැනගැනීමට කැමැත්තකුට ස්වන් මූන්ස් හොඳ අත්පොතක් බඳුය. කියාපෑම වෙනුවට කතාවක් මවාපාන්නේ කෙසේද යන්නට ස්වන් මූන්ස් හොඳම නිදර්ශනයකි.
අවසාන කිහිපයක් ඇති නවකතාවක් ලෙසද ස්වන් මූන්ස් හැඳින්විය හැකිය. මාලි ගේ පින්තූර ප්‍රදර්ශනය වීම, මාලිගේ මරණය සිදුවූ ආකාරය හෙළිදරව් වීම, ඇමැතිවරයාගේ මරණය ආදි සියලු තැන්හි කතාව පරිසමාප්තියට පත්වන බව හැඟේ. එහෙත් ,වත්මන් ලාංකේය දේශපාලන, සමාජ ඛේදවාචකය වැනිව කතාව අලුත් මානයකින් සහ කුතුහලයකින් යුතුව නැවත දිගහැරේ.
මාලිගේ මරණය සිදුවන්නේත් හෙළිදරව් වන්නේත් පාඨකයා කිසිදු ලෙසකින් බලාපොරොත්තු වන ආකාරයෙන් නොවේ. ස්වන් මූන්ස් හි රහස් පරීක්ෂක කතා කලාවේ ලක්ෂණ ඇත යන මතයට එයත් හේතුවකි.
සල්මන් රෂ්ඩි ගේත් ගාර්ෂියා මාකේෂ් ගේත් ඉන්ද්‍රජාලික යථාර්ථවාදී ශෛලියත්; නිකොලායි ගොගොල් ගේ මළ මිනිස්සු සහ මිහයිල් බුල්ගාකොව් ගේ මාස්ටර් සහ මාගරීටා වැනි අධියථාර්ථවාදී එළඹුමත් ස්වන් මූන්ස් හි පවතින බව බුකර් සම්මානයට එය පාත්‍රවූ කාලයේ පළවු ඇගයීම්වල කියැවුණි. මායායථාර්ථවාදය , හොල්මන් කතා,රහස් පරීක්ෂක කතා සුසංයෝගිත මුහුන් ෂොනරිත ප්‍රබන්ධයක් වශයෙන්ද හැඳින්වීම් ලබන ස්වන් මූන්ස් ඉංග්‍රීසි නව කතාවක් නොව. ඉංග්‍රීසි බසින් ලියැවුණු සිංහල දෙමළ ලාංකික නවකතාවකි.