දේශබන්දු සමග සිටි පාස්කු චූදිතයෙක් අද විශ්‍රාම යයි : ලැයිස්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 11ක් !

Share post:

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 11 දෙනෙකු අද (31) පොලිස් දෙපාර්තමේන්තුවේ සීය සේවා කාලය අවසන් කොට, විශ්‍රාම යෑමට නියමිත ය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 දෙනෙකු මීට ඇතුළත් ය. විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන්නේ නන්දන මුණසිංහ සහ ඩබ්ලිව්. එෆ්. යූ. ප්‍රනාන්දු ය. මෙම නිලධාරීන් දෙදෙනා පිළිවෙලින් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන කොට්ඨාසය බාර ව සහ ඌව පළාත බාර ව කටයුතු කළහ.

නියෝජ්‍ය පොලිස්පති (ජනාධිපති ආරක්ෂක) ඔගස්ටස් පෙරේරා, නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර උතුර – අපරාධ) ප්‍රිශාන්ත ජයකොඩි, නියෝජ්‍ය පොලිස්පති (වන්නි) චන්දන අලහකෝන්, නියෝජ්‍ය පොලිස්පති (උතුරු පළාත) විජිත ගුණරත්න සහ නියෝජ්‍ය පොලිස්පති (ප්‍රජා පොලිස් සහ ආරක්ෂණ) ජගත් පලිහක්කාර, චම්පික සිරිවර්ධන (කෑගල්ල දිසාව), කිත්සිරි ජයලාල් අපොන්සු (බදුල්ල දිසාව), එස්.ඩී.එස්.පී. සන්දනායක (කළුතර දිසාව) සහ එච්.එස්.එන්. පීරිස් (නුවරඑළිය දිසාව) මෙසේ විශ්‍රාම ලබන නියෝජ්‍ය පොලිස්පතිවරු වෙති.

නන්දන මුණසිංහ ?

මේ අතර විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යනු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් චූදිතයෙකු වූ අයෙකි. ප්‍රහාරය සිදු වූ 2019 අප්‍රේල් 21 දින වන විට ඔහු කටයුතු කළේ බස්නාහිර පළාත බාර ව ය. ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝග මත ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කෙරිණි.

ප්‍රහාරය සිදු වන විට නියෝජ්‍ය පොලිස්පතිවරුන් වූ, වර්තමානයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුර දරන දේශබන්දු තෙන්නකෝන් සහ ලලිත් පතිනායක ද මේ චූදිත ලැයිස්තුවට ඇතුළත් විය. මෙම නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනුකෙරිණි.

චෝදනා පත්‍ර

අදාළ ප්‍රහාරයට පෙර තොරතුරු ලැබී තිබියදීත්, ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් ද මෙම නිලධාරීන්ට එරෙහි චෝදනා පත්‍ර පොලිස් දෙපාර්තමේන්තුවට එවා තිබිණි. එහෙත් එම චෝදනා පත්‍ර මෙම නිලධාරීන්ට බාරදීමක් හෝ සිදු නොවීය. පොලිසිය විෂය බාර ව සිටි සරත් වීරසේකර ඇමතිවරයාගෙන් එවකට මේ පිළිබඳව විමසීමේදී ඔහු පැවසුවේ කඩිනමින් එම චෝදනා පත්‍ර අදාළ නිලධාරීන්ට ලබාදෙන බවයි.

පොලිස්පතිගේ ඒකකය

ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එරෙහිව විමර්ශන සිදු කර, විනයානුකූලව පියවර ගන්නා ලෙස දැනුම්දෙමින් නීතිපතිවරයා ද ලිපියක් යොමු කර තිබූ අතර, එහි නම සඳහන් වූ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන හැර සෙසු නිලධාරීන් දසදෙනාට එරෙහිව විනය පියවර ගත යුතු බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ද නිර්දේශ කර තිබිණි. කෙසේ වෙතත් එම ඒකකය මගින් චෝදනා පත්‍ර කෙටුම්පත් කර තිබුණේ නිලධාරීන් 08 දෙනෙකුට එරෙහිව පමණි. මෙම ඒකකය ක්‍රියාත්මක වන්නේ සෘජුව ම පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ය.

කන්නලව් කිරීම්

තමන්ට එල්ල වී ඇති චෝදනාවලින් බේරාදෙන ලෙස ඉල්ලමින් මෙම නිලධාරීන් අස්ගිරි මහ නායක වරකාගොඩ ඥානරතන හිමියන් හමුවීමත්, එහිදී මතු කළ කරුණුත් ආන්දෝලනයට තුඩු දුන්නේය.

මෙම හමුවට සහබාගි වී තිබුණේ බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, මොණරාගල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත් ඇතුළු චූදිතයන් පිරිසකි. මෙම පිරිසට එරෙහිව නීතිමය පියවර නොගත්තා පමණක් නොව, ඔවුන්ගෙන් ඇතැමෙකුට උසස්වීම් සහ වරප්‍රසාද ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි වී තිබිණි. මෙවැනි චෝදනාවක් ඇති පොලිස් නිලධාරියෙකු, අදාළ චෝදනාවෙන් නිදහස් වන තුරු ඔහුට හෝ ඇයට හෝ උසස්වීම් හෝ නව වරප්‍රසාද හිමිවන්නේ නැත.

මේ පිරිස මහ නායක හිමියන් හමු වී පවසා තිබුණේ තමන් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් කළ හැකි සියල්ල කළ බවයි.

 චූදිතයන් කියපු බොරු

 මහ නාහිමියන් හමුවීමට ගිය පොලිස් කණ්ඩායමේ සිටි මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත් ජනමාධ්‍ය වෙත ලබා දුන් ප්‍රකාශයක් සහ බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහ නාහිමියන් හමුවේ කරනු ලබන ප්‍රකාශයක් ජනමාධ්‍ය වාර්තා කළේය.

‘අවුරුදු 30ක් මේ රටේ යුද්ධයේදී රාජකාරි කරලා තුවාල වෙලා, ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරලා ජීවිතය බේරගෙන අද දක්වා රාජකාරි කරන නිලධාරි කණ්ඩායමක් අපි. හැබැයි අද මෙතැන්ට ආවෙ 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය දවසේ රාජකාරි කරලා, ඒ රාජකාරි කරපු එක වරදක් වෙලා වෙන කියාගන්න කෙනෙක් නැතුව, අපිට එල්ලුම් ගහ හරි මහ උළුගෙදර හරි නැත්නම් රැකියාව නැතිවෙලා ගෙදර යන්න හරි වෙන එක වළක්වගන්න. මල්වතු, අස්ගිරි නායක හාමුදුරුවො හමුවෙලා දළදා වහන්සේට කියලා කන්නලව් කරලා රස්සාවයි, ජීවිතයි, අපේ යැපෙන අයයි බේරාදෙන්න කියලා ඉල්ලන්නයි ඇවිත් ඉන්නේ.’

මෙම පොලිස් නිලධාරීන් පිරිස දිගින්-දිගටම ජනගත කිරීමට උත්සාහ කළේ 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය දිනයේ රාජකාරි කිරීමේ වරදට තමන්ට එරෙහිව කටයුතු කරන්නට යන බව ය. නමුත් ඔවුන්ට එරෙහි චෝදනා ඇත්තේ පාස්කු ප්‍රහාරය දිනයේ රාජකාරි කිරීම සම්බන්ධයෙන් නොව, පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු අනුව කටයුතු කර පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙනි.

යුද්ධය පෙන්වීමේ උත්සාහය

මේ පිරිස යුද්ධය ගැන කතා කරති. යුද්ධය යනු ඕනෑම අපරාධයකින් ගැලවීමට තිබෙන පළිහක් නොවේ. යුද්ධය ගැන කතා කරන මෙම නිලධාරීන්ගෙන් ඇතැමෙක් අඩු තරමේ යුද සමයේ, යුද්ධය පැවැති ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපති ධුරයක්වත් දැරුවෝ නොවෙති.

ඔවුහු එදා මෙසේ ද කීහ.

‘2019 පාස්කු ප්‍රහාරයේදී 300කට වඩා අහිංසක ජනතාව මියගියා. තවත් ඒ හා සමාන පිරිසක් තුවාල ලැබුවා. අද මේ රැස්වෙලා ඉන්න අපි හැමෝම එදා ඒ ජීවිත පරිත්‍යාග කළ අයගේ මළ සිරුරු දෑතින් උස්සගෙන රෝහල්ගත කළ කණ්ඩායමක්. එදා ඒ විදිහට කැපවීමෙන් රාජකාරි කළ කණ්ඩායමට අද කරකියාගන්න දෙයක් නැතුව ගිහින් තියෙනවා මොනවා වෙයිද කියලා. එවකට පැවැති යහපාලන රජය ප්‍රහාරයක් එල්ල කරනවා කියලා මේ තොරතුරු දැනගෙන ඒ තොරතුර සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කිසිදු පැහැදිලි නියෝගයක් ලබානොදී, මේ තොරතුරු හොයන්න කියලා විතරක් අපට දැනුම් දී තිබුණු අවස්ථාවක අනපේක්ෂිතව මේ ප්‍රහාරය සිද්ධ වුණා. මේ ප්‍රහාරය දවසේ මේ ඉන්න නිලධාරීන් සියලුදෙනා රාජකාරි කළා. අද ජීවිත සිය ගණනක් ජීවත් වෙනවා එදා අපි ක්‍රියාමාර්ග ගත්තු නිසා.’

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ව මෙම නිලධාරීහු මෙම මතය සීග්‍රයෙන් ජනගත කිරීමට උත්සාහ කළෝය.

ජීවිත පරිත්‍යාගය

පාස්කු ප්‍රහාරයට කිසිවෙකු ජීවිත පරිත්‍යාග කළේ නැත. ජීවිත පරිත්‍යාග කිරීම යනු තමන්ට මරණය අත්විය හැකි බව දැන-දැනම යම් යහපත් අරමුණකින් යමක් කිරීමට යෑමයි. ප්‍රහාරයක් එල්ල වන බව දන්නේ නම්, එම ජනතාව අදාළ ස්ථානවලට යන්නේ ද නැත. මෙය ඝාතනයකි. මරණය අත්වන බව දැන-දැනම මිය ගිය ප්‍රහාරකයන් හැර අනෙක් පිරිස් එම ස්ථානයට නොගියද, මරණය අත්කරදිය හැකි මෙවැනි ප්‍රහාරයක් එල්ල වන බව මෙම පොලිස් නිලධාරීන් පිරිස දැන සිටි බව පාස්කු කොමිෂන් සභාවේදී අනාවරණය විය.

Related articles

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි...

‘දුමිරියේ ප්‍රේමය’ – 8 A.M. Metro

දුමිරිය කියන්නේ තවදුරටත් මිනිසුන් එහා මෙහා ගෙනයන හුදු ප්‍රවාහන සේවාවක්ම නොවෙි. දුමිරිය යනු නූතනයේ මිනිස් සබඳතා නිර්මාණය කරන...

රතුපස්වල : මේජර් ජෙනරාල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් – වින්දිතයන් අභියාචනය කරන්න සූදානම් !

ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී කළ වෙඩි තැබීම අතරතුරදී තිදෙනකු ඝාතනය කිරීම සහ තවත් 50...