හැම කවියකම තම අයිඩින්ටිය තියන – කවියෙකි මම දැකපු කදිමට කවි ලියන

Share post:

මේ අපෙ කවි රැහේ නෝමල් එකාය
බැස්සම ලියන්නට මූ නම් යකාය
ලිව්වේ කවියෙ දියුණුව ගැන තකාය
අද මගෙ කවි කුසුමෙ හිමිකරු ලකාය

කවියෙකු වෙතැයි පෙන්වා ඔහු හොදම එකේ
සළකුණු කළා තම නම කවි කෙතෙහි ලකේ
මුල් අඩියෙන්ම පෙන්වා නැති කිසිම සැකේ
ආවේ සඳක් සිඹිමින් ඔහු අමාවකේ

කවියෙන් කවිය නෙක ඉම් වෙත මග කියන
හැම කවියකම තම අයිඩින්ටිය තියන
කවියෙකි මම දැකපු කදිමට කවි ලියන
මතකද හරිත කවි පිරි පොත යටි වියන

මේ කවි කලාපයෙ ඇත වැසි ඉසෙන ඉසව්
ඒ කවි තෙතමනය පිළිබඳ තව විමසව්
ඉන් තොස ලැබී නම් අත්පොලසමක් ගසව්
මේ කවියට ඉඩක් හිත තුළ හෙටත් රිසව්

ඕනම ආරකට ඔහු කවියෙදි ඔට්ටූ
ඔහුගේ කවි සපුව නැත කිසිවිට කෙට්ටූ
ඒවා අපේ හදවත වෙත හරි කිට්ටූ
හිතගිස්සේ නැතක් පීදුණි කවි මොට්ටූ

ඔහු තම කවිය නෙක හැඩයෙන් සැරසීය
ඒ කවි විලාසෙට අප නිති රුචි වීය
හරි හරි අරුම දෑ ඔහු කවියෙන් කීය
ඊළඟ කව් ගතට ඔහු තැබු නම “ඊ” ය

ඔහුගේ ඇතැම් කවියක් පෙනෙනව කඳු වී
වෙරි වෙයි තවත් කවියක් මට නම් මධු වී
තිබියැකි සත්‍ය අවබෝධය වුව සිදුවී
සමහර කමටහන් ළග කවියෙන් බුදු වී

නෙරුඩා මෙන්ම තව කමලා දාස් වගේ
කළ පරිවර්තනද කවියෙදි හරිම අගේ
තව චුට්ටක් ගියොත් කොල්ලා එමග දිගේ
තච හොද වැඩ ටිකක් කෙරෙනා බවද හැඟේ

කරනා විටදි ලෝකය කවියෙන් සුවද
කවියා සතුය අතිශය ඉසියුම් ඉවද
මොනවද නොවිය හැක්කේ කවි ලොව තවද
විය හැක සුසුමකින් සුළිසුළගක් වුවද

කවියෙන් බොහෝ දේ දමනට හැකිය ලිහා
ඒ හැම රැඳෙන්නේ මනුසත්කමට මෙහා
ඇලෙනාසුළුයි අපි මේ කවිවලට වහා
අනභිසෙස් අනිබිනික්මන් ගතකි මහා

කවදද තියෙන්නේ ඊළඟ අඩිය ඉතින්
ලියසැව් ලිහී ගිය ගනසාමඬුළු මතින්
ලැබෙනව චියර් එක මිනිහට හතර අතින්
තව සෑහෙන දුරක් යන එක ඔහුට නතින්

ප්‍රියන්ත කොඩිප්පිලි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...