වැස්සෙන් තවත් ජීවිත 02ක් අහිමි වෙයි : ආපදා කළමනාකරණයේ තීරණාත්මක සිදුරක් !

Share post:

මහනුවර, අකුරණ, දුනුවිල ප්‍රදේශයේ ගෙයක් මතට පස්කන්දක් සමඟ ගලක් කඩාවැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු අද (25) ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ එක ම පවුලේ අවුරුදු 18ත් 19ත් අතර වයසේ පසුවන සහෝදර-සහෝදරියන් දෙදෙනෙකු බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කළේය.

නාවලපිටිය, කැටබුලාව පාලම අසලදී පුද්ගලයන් තිදෙනෙකු සැඩ පහරට ගසාගෙන යෑම පිළිබඳව පසුගිය අගෝස්තු 02දා මාධ්‍ය මගින් වාර්තා කෙරිණි.

මෙවැනි සිදුවීම් කොපමණක් ද?

ආපදා කළමනාකරණයේ පවතින තීරණාත්මක දුර්වලතාවක් සහ එය මෙතෙක් නීති මගින් වෙනස් කිරීමට පියවර නොගැනීම පිළිබඳව මෙම ලිපිය මගින් අවධාරණය කෙරේ.

පනත

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අංක 13 දරන ආපදා කළමනාකරණ පනත 2005 මැයි 13 දින සම්මත විය. 2004 දෙසැම්බර් මස 26 දින ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් රටේ ඇති වූ හදිසි අවශ්‍යතාව මත මෙම පනත පාර්ලිමේන්තුව තුළ ඒකඡන්දයෙන් සම්මත කෙරිණි. පනත සම්මත වී මාස 03 කට පසු, 2005 අගෝස්තු මාසයේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC – Disaster Management Center) ස්ථාපිත කෙරිණි.

අධ්‍යක්ෂවරුන්

ආපදා කළමනාකරණ පනත මගින් ස්ථාපිත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පහත සඳහන් අංශ සඳහා අධ්‍යක්ෂවරුන් පත්කිරීම සිදු විය.

1) පූර්ව අනතුරු ඇඟවීම

2) පෙර සූදානම හා සැලසුම්

3) ආපදා අවම කිරීම, පර්යේෂණ හා සංවර්ධන

4) හදිසි ආපදා මෙහෙයුම්

5) අධ්‍යාපනය හා දැනුවත්භාවය

දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක ස්ථාපිත කෙරුණු අතර, ඒවායේ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ නිලධාරීන් වෙත පවරනු ලැබිණි.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති අනෙක් ප්‍රමුඛ ආයතනය වන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයයි.

ජාතික සභාව

ලෝකයේ බොහෝ රටවල් අනුව යමින් ලංකාව ද ආපදා පෙර සූදානම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලදි. ඒ සඳහා සම්මත කළ ආපදා කළමනාකරණ පනත අනුව ස්ථාපිත ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුක්ත සාමාජිකයන් 36කින් සමන්විත ය.

ඒ සඳහා අගමැති, විපක්ෂ නායක, සමාජ සුබසාධන, පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ, පරිසර, ස්වදේශ කටයුතු, සෞඛ්‍ය, විද්‍යා හා තාක්ෂණ, නිවාස, වෙරළ සංරක්ෂණ, වාරිමාර්ග, විදුලිබල, ආරක්ෂක, පොලිසිය, මුදල්,ඉඩම්, ධීවර හා ජලජ සම්පත්, විදේශ කටයුතු, ජල සම්පාදන, මහාමාර්ග, නාගරික සංවර්ධන හා අධ්‍යාපන යන විෂය භාර ඇමැතිවරු 20කින්, පළාත් මහ ඇමතිවරු 09කින් සහ විපක්ෂ මන්ත්‍රීවරුන් 05කින් සමන්විත විය. මෙහි ලේකම්වරයා සභාවේ අභිලාෂය මත පත්කෙරිණි.

වගකීම

මේ සඳහා පළාත් පාලන ඇමැතිවරයා පත්නොකෙරිණි. පළාත් සභා මහ ඇමැතිවරුන්ගෙන් පහළට මෙම ආපදා කළමනාකරණ ජාතික සැලැස්මේ කිසිදු වගකීමක් පළාත් පාලන ආයතනවලට නොපැවරිණි. එකී තත්ත්වය 2010 දෙසැම්බර් 28 දින ඇති කළ ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේදී නිවැරදි කරනු ඇතැයි අපේක්ෂාවෙන් සිටියද, එය සිදු නොවීය.

වගන්ති 37 කින් සමන්විත එම ජාතික ප්‍රතිපත්තියේ 25 වන වගන්තියේ පමණක් පළාත් පාලන ආයතන ගැන සඳහන් කර ඇත. එය ද ඉදිකිරීම් සම්බන්ධයෙනි. ඇතැම් විට මේ හේතුවෙන් ඒ ඒ පළාත් පාලන ආයතන තම අභිමතය මත පමණක් කටයුතු කරනු දැකිය හැකිය. (උදා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තාක්ෂණික වාර්තා නොමැතිව නිවාස ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබාදීම)

සමීප කවුද ?

මේ අතර සෑම පළාත් පාලන ආයතනයක් ම ආපදා හමු‍වේ සුවිශේෂී මෙහෙයක් ඉටුකරන ආකාරය අප නිරීක්ෂණය කර ඇත. ඒ තම රාජකාරි ලැයිස්තුවෙන් පරිබාහිරව ය. රාජ්‍ය පරිපාලන ව්‍යුහය තුළ බිම් මට්ටමේ සියලු කටයුතු මෙම ආයතන හරහා සිදු වේ.

හදිසි තත්ත්වයකදී වුවද ප්‍රථමයෙන්ම ප්‍රතිචාර දක්වන්නේ ගම් මට්ටමේ සිටින සභාව හා එහි මහජන නියෝජිතයන් ය. ඒ ඔවුන්ට සිදුවීම වඩාත් සමීප නිසා ය. කෙසේ වෙතත් මෙතෙක් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් නිල වගකීමක් නැත. එබැවින් පළාත්පාලන ආයතන පූර්ව ආපදා පිළිබඳව ගමට තොරතුරු ගෙන යෑමේ ක්‍රමවේදයට අනිවාර්යෙන්ම ඇතුළත් කර ගත යුතුය.

ගැටළු

ඇතැම් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක තම ආපදා කළමනාකරණ සැලැස්මට අදාළ පළාත්පාලන ආයතන සම්බන්ධ කරගෙන ඇතත්, ඇතැම් නිලධාරීන් සභාව අමතක කර ඇත්තේ පිළිගත හැකි කරුණු මත නොවේ. මෙම තත්ත්වය මගහරවා නීතිමය ශක්තියක් හා පිළිගැනීමක් පළාත්පාලන ආයතනවලට ලබාදීමට රජය කටයුතු කිරීම කඩිනමින් කළ යුතුය. රජය ආපදාවලට අදාළ සියලු ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම් වෙත යොමුකළ පසු පළාත්පාලන ආයතන සිය වියදම් ප්‍රතිපූර්ණය කර ගැනීමේදී ගැටළුවලට මුහුණ දෙයි.

අවශ්‍යතාව

එබැවින් ඒ ඒ ප්‍රදේශ තුළ ස්ථාපිත මෙම ආයතන, තම දිස්ත්‍රික්කය තුළ පූර්ව අනතුරු ඇඟවීම්, පෙර සූදානම හා සැලසුම්, ආපදා අවම කිරීම පර්යේෂණ හා සංවර්ධන කටයුතු, හදිසි ආපදා මෙහෙයුම්, අධ්‍යාපනය හා දැනුවත්භාවය, ආපදා සඳහා පෙර දැනුම්දීම්, සූදානම්වීම් ආදී අංශ සඳහා සම්බන්ධ කරගෙන කටයුතු කිරීම මගින් අපට ආපදා සඳහා ශක්තිමත්ව ප්‍රතිචාර දැක්විය හැකිය.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...