මාධ්‍යවේදී කුමනන්ට යළිත් කැඳවීමක් : ආවෙ නැත්නම් බලෙන් ගෙන්නන්න අපිට බෑ – පොලිසිය

Share post:

මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන්ට කරන දැනුම්දීම් අනුව ඔහු නොපැමිණියහොත්, ඊට අදාළ ව කිසිදු පියවරක් ගත නොහැකි බවත්, විමර්ශනය අවසන් කළ බව පොලිස්පතිවරයාට දැනුම් දෙන බවත් thetime.lk කළ විමසීමකට පිළිතුරු දෙමින් මුලතිව් දිස්ත්‍රික් 01 – සහකාර පොලිස් අධිකාරි ලසන්ත විතාරණ පැවසීය.

29 උදේ 10ට

කේ. කුමනන් යනු අවස්ථා ගණනාවකදී ආරක්ෂක අංශ මගින් ප්‍රශ්න කිරීම් සඳහා කැඳවන ලද සක්‍රීය මාධ්‍යවේදියෙකි. පසුගියදා යළිත් ඔහුට දැනුම් දී තිබුණේ ලබන 29දා පෙරවරු 10ට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මුලතිව් සහකාර පොලිස් අධිකාරි කාර්‍යාලයට පැමිණෙන ලෙසයි. ‘විමර්ශනයක් සඳහා’ යනුවෙන් පමණක් සඳහන් වූ එම දැනුම්දීමේ විමර්ශනය කුමක්ද යනුවෙන් සඳහන් කර නැත. ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී ද පොලිසිය පාර්ශ්වයෙන් අදාළ විමර්ශනය පිළිබඳ නිශ්චිතව පවසා නැත.

පොලිස්පති දැනුම්දීමක්

මේ පිළිබඳව අප කළ විමසීමේදී මුලතිව් සහකාර පොලිස් අධිකාරිවරයා පැවසුවේ මාස ගණනාවකට ඉහතදී අදාළ මාධ්‍යවේදියා රාජකාරි ආවරණයකදී මුහුණ දුන් සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා විසින් දැනුම් දී ඇති බවයි.

‘සාමාන්‍යයෙන් කියන්නෙ නෑ’

අදාළ දැනුම් දීමේ නිශ්චිත හේතුව සඳහන් නොකළේ කුමක් නිසා දැයි විමසීමේදී ඔහු පැවසුවේ සාමාන්‍යයෙන් එසේ දීර්ඝ ව දැනුම් දීම් නොකරන බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අදාළ සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔහු විමර්ශනය සම්බන්ධයෙන් කරුණු පැවසූ බව එම කොමිෂන් සභාවේ යාපනය කාර්‍යාලයේ ප්‍රකාශකයෙක් තහවුරු කළේය.

ජුනි 27 පැමිණිල්ලක්

මෙම සිදුවීම සම්බන්ධයෙන් වන පැමිණිල්ල යොමුකර ඇත්තේ පසුගිය ජුනි 27 දින ය. ඒ, පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මුත්තුසාමි මුකුන්දකජන් විසිනි.

‘මුලතිව් දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදියෙකුට තර්ජනය කිරීම’ යන ශීර්ෂය යටතේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ අදාළ මාධ්‍යවේදියාට මුලතිව් නාවික හමුදා කඳවුර අසල දී ආරක්ෂක අංශ මගින් අනියමින් තර්ජනය කර ඇති බවයි. එවකට අගමැතිවරයා විසින් මෙය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙතත්, පොලිස්පතිවරයා වෙතත් යොමු කර ඇත.

‘මාත් ගියා’

මේ සම්බන්ධයෙන් thetime.lk වෙත අදහස් දක්වමින් අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මුත්තුසාමි මුකුන්දකජන් පැවසුවේ මීට අදාළ ව තමන් ද පසුගියදා සහකාර පොලිස් අධිකාරි කාර්‍යාලයට ප්‍රකාශයක් ලබාදුන් බවයි.

සිදුවීම කුමක්ද ?

ඡායාරූපය – www.jdslanka.org

මුලතිව්හි ගෝඨාභය නාවික කඳවුර පුළුල් කිරීම සඳහා ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් ලබාගැනීමට ආරක්ෂක අංශ කටයුතු කිරීමට එරෙහිව පසුගිය ජුනි 07දා එම කඳවුර ඉදිරිපිට පැවති විරෝධතාවකදී මෙය සිදු වී තිබේ. එහිදී අදාළ විරෝධතාව ආවරණය කරමින් සිටි මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන්ට නාවික හමුදා සාමාජිකයන් සහ පොලිස් නිලධාරීන් දිගින්-දිගටම බාධා කර තිබිණි. අදාළ පැමිණිල්ල යොමුකර තිබුණේ එහි සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. මෙහිදී මාධ්‍යවේදියාගේ රාජකාරි හැඳුනුම්පත බලහත්කාරයෙන් ලබාගැනීමට ද ආරක්ෂක අංශ උත්සාහ කර තිබිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...