‘කුර හඬෙකි වියැකෙන’
වියැකී යන කුර හඬ අතර
දිවයන්නා වූ අසු හඬකුත්
පණ ගැන්වෙන්නා වූ ලොරියක හඬකුත්
අවසානයේ පාඨකයාගේ දෙසවන් තුළ නින්නාද දෙයි.
ඉතිහාසය යනු නවකතාකරුවන්ට රන් බිජු සපයන සුවිසල් වස්තුබීජ ගබඩාවක් වැන්න. එනුයිනුත් බ්‍රිතාන්‍ය යටත්වැසි කාලවකවානුව වඩාත් කැපී පෙනෙයි. එම වකවානුවේ සිදුවන්නා වූ සමාජ සංස්කෘතික පෙරළියන් විවිධාකාරයෙන් විවිධ නවකතාවලට පෙරළී ඇත. කුර හඬෙකි වියැකෙන යනු ද එවැනිම ප්‍රබන්ධයකි.
නවකතාව තුළින් ප්‍රධාන වශයෙන් තවලම් කර්මාන්තය හා සැඟවුණු ප්‍රාමාණික දැනුමක් පාඨකයා වෙත සේන්දු කරවන්නට කතුවරයා සමත් වේ. ඒ හැරෙන්නට කතුවරයා කලාත්මකවත් විස්මයජනක ලෙසත් ගොඩනගන්නා වූ කතාව පාඨකයා ප්‍රීති ගංගාවක ගිල්වා ලයි. සැබවින් ම කතුවරයාගේ කාල නදී ගලා බසී තුළ ප්‍රබලව දිස්වූ තරම් සූක්ෂම බවක් මෙහි නොවතත් සුර අසුර යාමයට පරදවන සියුම් කතා ගෙත්තමක් මෙහි වේ.
තැන්නේ වලව්ව , ගජසිංහ වලව්ව අතර එළිපිටට නොපෙන්වන නොහොඳ නෝක්කාඩු තුළින් ම ඔවුන් ම පරිහානියට පත් වන ආකාරයත් බලය හා ධන ලෝභීත්වය තුළින් අත්වන ඛේදනීය ඉරණම තැන්නේ අප්පෝ හා ගජසිංහ අප්පු අතරින් දිවෙන අතරම ඒවාට හිලව් වන්නට සිදුවූ බණ්ඩියා හා සුවඳිනා පාඨකයා සහකම්පනයකට ලක් කරයි.
නවකතාව විමධ්‍යගත ස්ථානයන්හි රෝපණය වූවකි. විටෙක වලව් දෙකකත්, තවත් විටෙක මහ වනයේ සේතුහාමිගේ නිවසේත් තවත් විටෙක අම්බලන්තොට වැල්ලේ සොමිනෝනාගේ කඩයේත් දිග හැරෙන දර්ශනීය ටෙලිනාට්‍යයක් බඳු ය. බොහෝ දුරට පාඨකයාගේ වඩාත් සිත් ගනු ඇත්තේ මහ බැද්දේ හීල් හෙවණේ ඇටවුණු සේතුහාමි හා සුවඳිනා දිවි ගෙවූ නිස්කලංක පරිසරය යි. නමුත් හොඳ හොඳ සෙල්ලම් සිදුවන්නේ අම්බලන්තොට දී ය.
නවකතාව තුළ බ්‍රිතාන්‍ය පාලන අවධියේ දී සිදුවන ලුණු ප්‍රවාහන මාධ්‍යක් ලෙස පැවතුණු තවලම් පිළිබඳ ව ප්‍රධාන ව සාකච්ඡා කෙරෙන අතර අවසානයේ කාර්මික විප්ලවයේ බලපෑම ලංකාවට එල්ලවීමත් සමඟ තවලම වෙනුවට මහා මාර්ග යොදා ගනිමින් ලොරි භාවිතයෙන් ලුණු ඇඳීමක් සිදුවන්නට නියමිත බව කතුවරයා සියුම් ව පවසයි. එය සිදුවන්නට කතුවරයා කතාව අවසන් කරයි. එමෙන් ම මෙම වකවානුවේ සමාජ දේහය තුළ සිදුවන වතු වගාවත් එයින් ලාංකිකත්වයන්ට සිදුවන බලපෑමත් සාකච්ඡාවට බඳුන් වන අතර ම නිළධාරියන්ගේ හා බළධාරීන්ගේ අකාර්යක්ෂම හා අක්‍රමවත් බව සියුම් ව ලෙස හෙළිදරව් කෙරේ.
කෙසේනමුත් නවකතාව කාල නදිය තරම් සිත් ගන්නා සුලු නොවේ. කතාන්දරය කසාය හැළියක් නම් කතුවරයා එය පත අට එකට සිඳෙන්නට පෙර ම ලිපෙන් ඉවතට ගෙන ඇත. කතාන්දරය අවසානයේ ත් පාඨකයාට තවත් තිබේ නම් හොඳයි කියා සිතෙන නමුත් කතුවරයා අතිශයින් ම විස්තරාත්මක ලෙස එක් එක් සිදුවීම් ගොඩනැගීමකින් තොරව තවත් කසාය රෝගයට පත්තියම් වෙන්නට මදි පාඩු මුල්, මල්, පොතු දැමිය යුතු යැයි සිතේ. තව තවත් සිදුවීම් ඇති පදම් ගොඩ නගන්නට කතාව තුළ ඉඩ හසර ඇති නමුත් කතුවරයා ඉන් ප්‍රයෝජනයක් ගත්තා දැයි යන්න පැනයකි. එමෙන් ම කතුවරයාගේ සිත් පැහැර ගන්නා සුලු උපමා ,රූපක , පිරුළු ආදියට ඇතැම් විටෙක කතාවට නොගැලපෙන නූතන ව්‍යවහාරයන්ද ඔහුටත් නොදැනෙන්ට කතාව ඇතුළට එක්ව තිබීම ගැටලුවකි. නමුත් ඒ දෙතුන් විටෙක පමණකි. අනෙක් සෑම අවස්ථාවකම කතුවරයා කාව්‍යමය ස්වරූපයකින් භාෂාව ගොඩ නගයි.
කාල නදියත් සුර අසුර යාමයත් කියවා වසර ගණනක් බලා සිටි පාඨකයාගේ බලාපොරොත්තු සපුරන නිර්මාණයක් නෝබට් අයගමගේ අතින් සිදුව ඇති බව අවසානයේ දී කිව යුතුම ය.
(පිට කවරය කෙරෙහි ඇත්තේ නම් අප්‍රසාදයකි.)