ධර්මසිරි බණ්ඩාරනායක අයත් වන්නේ මේ කැරළිකාරී සිනමාවටයි

Share post:

ධර්මසිරි බණ්ඩාරනායක පිළිබද 21දා චිත්‍රපට සංස්ථා ශාලාවේ පැවැත්වෙන උත්සවය නම්කොට ඇත්තේ “ධර්මසිරි: කැරළිකාරී නිර්මාණාවේශය“ නමිනි.

ධර්මසිරි බණ්ඩාරනායකගේ “කැරළිකාරිත්වය මුළින්ම සමාජයට හොදින් පෙනෙන ලෙස ප්‍රකාශයට පත් වූයේ සිනමාව හරහාය. හංස විලක් සිනමා කෘතිය සැම අතින්ම ගත් කළ කැරළිකාරී කෘතියකි.

“කැරැල්ල“ මෙන්ම “සිනමාව“ ද ලංකාවේ පශ්චාත් යටත් විජිත ඉතිහාසය තුළ ඓතිහාසික වශයෙන් සුවිශේෂී සංසිද්ධීන් දෙකකි. 1960 ගණන්වල ලංකාවේ සමාජය තුළ තියුණු සමාජ විපර්යාසයක් ඇති වේ. විශාල වශයෙන් ජනගහනය වර්ධනය වීම, අධ්‍යාපනය සමාජයේ සෑම ස්ථරයක් වෙත ම ව්‍යාප්ත වී වැඩිවෙන ජනගහනය නිසා වේගයෙන් ප්‍රසාරණය වන, එහෙත් ග්‍රාමීය ආර්ථිකයේ ව්‍යුහාත්මක පරිවර්තනයක් නොවීම නිසා විශේෂයෙන් ග්‍රාමීය ආර්ථිකයට අවශෝෂණය කරගත නොහැකි, එසේම අධ්‍යාපනය හරහා “ග්‍රාමීයත්වය“ ප්‍රතික්ෂේප කළ තරුණ ජනගහනයක් නිර්මාණය වීම මේ සමාජ විපර්යාසයේ සාධක විය. කැරළිකාරිත්වය මෙන්ම සිනමාවද මේ නව තරුණ පරම්පරාවේ “ග්‍රාමීයත්වය“ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රකාශයනයන් විය.

ගාමිණී කීරවැල්ල 1971 කැරැල්ල ගැන ලියූ ලිපියක මාතෘකාවේ කොටසක් වූයේ “Simmering Village” (කැකෑරෙන ගම) යන්නයි. 1960 ගණන්වල තරුණ කැරැල්ලට පසුබිම නිර්මාණය වූවා මෙන් ම සිනමාවේ ද විප්ලවයක් සිදු විය. එතෙක් පැවැති සිනමා ආකෘතිය වෙනුවට නව සිනමා ආකෘතියක් පැමිණියේය. එය ගාමීය ජනයාගේ සංස්කෘතික ලෝකය හා බොහෝ දුරට සම්බන්ධ වූ 1950 ගණන්වල බී.ඒ.ඩබ්. ජයමාන්න, සිරිසේන විමලවීර සිනමාවට වඩා “ග්‍රාමීයත්වය“ ප්‍රතික්ෂේප කළ නව තරුණ පරම්පරාවේ “කැකෑරෙන කැරළිකාරී මනස“ වෙත වඩා නැඹුරු වූ සිනමා ආකෘතියක් විය.
ධර්මසිරි බණ්ඩාරනායක අයත් වන්නේ මේ කැරළිකාරී සිනමාවටයි.

සිනමාව ලංකාවේ පොදුජන සංස්කෘතියේ ඓන්ද්‍රීය අංගයක් බවට පත්වන්නේ ස්ථාපිත ග්‍රාමීය හුදෙකලාභාවයෙන් පිටතට යොමුවන ජන ජීවිතය නව සංස්කෘතික ලෝකය සමග යා කරන වඩාත් ආකර්ශනීය ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යය සිනමාව වූ බැවිනි. එය ගම් දොරින් පිටත ලොකට බලන පොදු ජනයාට මුණ ගැසෙන ඇස් නිලංකාර කරවන දර්ශනයක් මෙන් විය. තමාට භෞතික වශයෙන් ස්පර්ෂ කළ නොහැකි වූ ලෝකය මානසික වශයෙන් ශ්‍රව්‍ය හා දෘෂ්‍ය අත්දැකීමක් ලෙස ස්පර්ශ කිරීමට ලැබුණු අවස්ථාවක්. 1960 70 ගණන්වල පොදු ජනයා පොලිම් ගැසී පවුල් පිටින් චිත්‍රපට බැලුවේ එබැවිනි. 1980 ගණන්වලින් පසු සිනමාව වෙත වූ මේ පොදු ජන ආකර්ශනය වියැකී යාම ලංකාවේ පොදුජන සිනමාව ඉටු කළා වූ සංක්‍රාන්ති ඓතිහාසික භූමිකාව අවසන් විමේ ප්‍රතිඵලයකි. එසේ නොමැතිය 1983 සිනමා ශාලා විනාස වීම, යුද්ධය නිසා සහ රාත්‍රී කාලයේ බස් නොමැති වීම නිසා ජනයාට එළියට බැසීමට නොහැකි වීම වැනි සාධකවලට ලඝු කළ හැකි සංසිද්ධියක් නොවේ.
පොදුජනයා සිනමාව කෙරේ ආකර්ශනය වීම අවසන් වූයේ ද කැරළිකාරිත්වයේ 1971-1989 ආකෘතිය කෙරේ තරුණ ආකර්ශනය නැති වී යාම වැන්නකි.

ධර්මසිරි බණ්ඩාරනායක යනු කැරළිකාරිත්වය මෙන්ම සිනමාවද පොදු ජනයාට සංස්කෘතික හා දේශපාලන තොරාගැනීමක් ලෙස පැවැති ඓතිහාසික මොහොතක අප ඉදිරියේ දෘෂ්‍යමාන වූ අපගේ සමාජ, සංස්කෘතික, දේශපාලන ඇස නිලංකාර කළ පෙනී සිටීමකි. ධර්මසිරිගේ හංස විලක් ද තරුණ කැළිකාරිත්වය මෙන්ම පොදු ජනයා බදා වැළදගත් එකක් වූයේ නැත. එහෙත් කැරළිකාරී පෙනී සිටීම්වල හැටි එසේය.

නිර්මාල් දේවසිරි

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...