තලිබාන් දැන් වෙනස් කියූ අයට දැනෙන්න උත්තර දෙයි : කාන්තාවන්ට ගරු කරනවා – මාධ්‍ය ප්‍රකාශක

Share post:

ඇෆ්ගනිස්ථානයේ ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තහනම් කිරීමට එරෙහිව එරට අගනුවර වන කාබුල්හි පැවති විරෝධතාවකට සහභාගි වූ කාන්තාවන් පස්දෙනෙකු තලිබාන් ආණ්ඩුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම විරෝධතාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් තිදෙනෙකු ද ආණ්ඩුව අත්අඩංගුවට ගෙන ඇත.‍

තහනමේ තරම

තහනම ප්‍රකාශයට පත්කිරීමෙන් දිනකට පසු ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළුවීම ආරක්ෂකයන් විසින් සම්පූර්ණයෙන් ම නතර කරන ලද අතර, ඔවුන් විශ්වවිද්‍යාල අසල රැඳී සිටින ඡායාරූප විදෙස් මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණි. මේ වනවිටත් එරට බොහෝ ද්විතීයික පාසල්වල ගැහැනු දරුවන් ද තම අධ්‍යාපන කටයුතුවලින් බැහැර ව සිටී.
විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ට පනවන ලද මෙම නව තහනම එරට උසස් අධ්‍යාපන ඇමතිවරයා විසින් පසුගිය අඟහරුවාදා සිට ක්‍රියාත්මක කරන ලද අතර, ශිෂ්‍යාවන්ට පැමිණීම තහනම් කරන ලෙස රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ද ඔහු නියෝග කළේය.

විරෝධයට පහර දෙයි

ඊයේ (22) හිජාබ් ඇඳුමින් සැරසී ඇෆ්ගනිස්ථාන කාන්තාවන් කාබුල්හි වීදි හරහා ගමන් කරමින්, බැනර් ඔසවමින් සහ සටන් පාඨ කියමින් විරෝධතාවල යෙදුණු අතර, රටේ විශාලතම සහ කීර්තිමත් ම අධ්‍යාපන ආයතනය වන කාබුල් විශ්වවිද්‍යාලය ඉදිරිපිට ට රැස්වීමට ඔවුන් මුලින් සැලසුම් කර තිබිණි. එහෙත් මේ පිළිබඳ දැනගැනීමෙන් පසු තලිබාන් ආණ්ඩුව විසින් එම ස්ථානයට ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් යොදවන ලදි. ඉන්පසු ස්ථානය වෙනස් කෙරිණි.
විරෝධතාවයේ නිරත වූ කාන්තාවන් කිහිපදෙනෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ තලිබාන් ආරක්ෂක නිලධාරිනියන් තමන්ට පහර දුන් බවයි.
‘අපේ සමහර කාන්තාවන්ට ගහලා තව සමහරුන්ව අත්අඩංගුවට ගත්තා. මාවත් අරන් යන්නයි හිටියෙ. මට හොඳටම ගැහුවා. ඒත් මම අත්අඩංගුවට පත්නොවී බේරුණා’ යැයි විරෝධතාවයේ නිරත වූ කාන්තාවක් විදෙස් මාධ්‍යයට පවසා තිබිණි.

දැනෙන සහායක්

මෙම තීරණයට විරෝධය පළකරන කාන්තාවන්ට සහයෝගය දක්වමින් රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල සේවයේ නියුතු මහාචාර්යවරුන් 50ක් පමණ සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති අතර, ඇතැම් සිසුන් විභාගවලට පෙනීසිටීම ප්‍රතික්ෂේප කර ඇත.
2021 අගෝස්තු මාසයේදී යළිත් ඇෆ්ගනිස්ථානයේ ආණ්ඩු බලය අල්ලා ගැනීමෙන් පසු තලිබාන් සංවිධානය මෘදු පාලනයක් ගෙනයෑමට පොරොන්දු විය. එහෙත් එය වචනවලට පමණක් සීමාවීමට ගතවූයේ දින කිහිපයක් පමණි.

මෙවර ආරම්භය

තලිබාන්වරුන් බලය ඇල්ලීමට විරෝධය පළකරමින් ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපොළ මාර්ගයේ රැඳී සිටි සාමාන්‍ය වැසියන් වෙඩි තබා පළවා හැරීමට ඔවුන් මුලින් ම කටයුතු කළේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සාමාන්‍ය වැසියන් පළවා හැරීම සඳහා තලේබාන්වරුන් කස පහර, වේවැල් පහර මෙන්ම බැටන් ප්‍රහාර ද එල්ල කර ඇති බවයි. මෙහිදී කාන්තාවන්, ළමුන් ඇතුළු විශාල පිරිසක් තුවාල ලැබීය.
තලිබාන් සංවිධානය කාබුල් නගරය අල්ලා ගැනීමත් සමග ම දහස් සංඛ්‍යාත ජනකායක් ඇෆ්ගනිස්තානයෙන් පිටවීම සඳහා එරට ගුවන් ප්‍රධාන තොටුපොළ ආසන්නයේ රැඳී සිටින ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණි. කාබුල් ගුවන් තොටුපොළෙන් පිටත් වූ ඇමරිකානු යානයක පිටතින් එල්ලී ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු ඉන් ඇද වැටී මියයෑමේ සිදුවීමක් වාර්තා විය.

ජිනීවා රැස්වීම

ඇෆ්ගනිස්තානයේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනයවීම් සහ ඇතිවිය හැකි දරුණු තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ රැස්වීමක් ද කැඳවනු ලැබිණි. එහිදී මූලිකව ඇෆ්ගනිස්තානයේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ගත හැකි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සිදු විය.

බ්‍රිතානයයේ කතාව

තලිබාන් සංවිධානය ආණ්ඩු බලය ලබාගැනීම පිළිබඳව අදහස් දක්වමින් එවකට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පැවසුවේ කිසිදු රාජ්‍ය පාර්ශ්වයක් තලිබාන් සංවිධානය ද්විපාර්ශ්වීය වශයෙන් පිළිගැනීම අවශ්‍ය නැති බවයි.
ඔහු සඳහන් කළේ ලොව කිසිදු රටක් ඇෆ්ගනිස්තාන ත්‍රස්තවාදය පෝෂණය කිරීමේ නිරත රටක් ලෙස දැකීමට අවශ්‍ය නොවන බවයි. කෙසේ වෙතත් තලිබාන් බලය ඇල්ලූ විගස ම චීනය ප්‍රකාශ කළේ ඇෆ්ගනිස්තානයේ ස්ථායිතාව වෙනුවෙන් තලිබාන් සංවිධානය සමග කටයුතු කිරීමට සූදානම් බවයි.

චීන මැදිහත් වීම

ඇෆ්ගනිස්තානයේ පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ සාමය සඳහා පහසුකම් සපයන්නකු ලෙස මුලින්ම මැදිහත් වූයේ ද චීනයයි. එම මැදිහත්වීම ආර්ථික සහ සංවර්ධන ප්‍රවේශයකින් ඔබ්බට ගිය එකක් විය හැකි බවට රාජ්‍ය තාන්ත්‍රික විශ්ලේෂකයෝ අවධාරණය කළහ. චීන විදේශ ඇමතිවරයා සහ තලිබාන් සංවිධානය සමග පැවති සාකච්ඡාවකදී එම සංවිධානය චීනයට අභියෝග නොකරන බවට ප්‍රසිද්ධියේ පොරොන්දුවක් ලබාදුන්නේය.

කාන්තාවන් මූලිකත්වය ගනී

තලිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගැනීමට එරෙහිව, මුල් කාලයේදී රටවල් රැසක විරෝධතා ව්‍යාපාර පැවැත්විණි. වැදගත් ම කරුණ වූයේ ඇෆ්ගනිස්තානය අභ්‍යන්තරයේ ද මේ විරෝධතා ආරම්භ වීම ය. එහි දී කාන්තාවන් මූලිකත්වය ගැනීම ද කැපී පෙනෙන සිදුවීමක් විය.

‘කාන්තාවන්ට ගරු කරනවා’

ඇෆ්ගනිස්ථානයේ පාලනය අල්ලා ගැනීමෙන් පසු තලිබාන් සංවිධානය සිය පළමු ප්‍රවෘත්ති සාකච්ඡාව 2021 අගෝස්තු 18දා පැවැත්වූ අතර, ඔවුන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වන සබිහුල්ලා මුජාහිඩ් පළමුවරට මාධ්‍ය හමුවේ ඔහු ව නිරාවරණය කිරීමට එහිදී කටයුතු කළේය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුජාහිඩ් ප්‍රකාශ කළේ ඉස්ලාමීය නීතියේ රාමුව තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන බවයි.
බොහෝ මාධ්‍යවේදීන් ඔහුගේ මුහුණ දුටු පළමු අවස්ථාව මෙය බව පැවසිණි. වසර ගණනාවක් ඔහු සෙවනැල්ලක් ලෙස ක්‍රියා කර ඇති අතර, බොහෝ විට ඔහුගේ ප්‍රකාශ ලබාදුන්නේ දුරකතනය ඔස්සේ ය. බොහෝ මාධ්‍යවේදීන් දශකයකටත් වැඩි කාලයක් ඔහු සමඟ ගනුදෙනු කර තිබුණත්, ඔහුගේ මුහුණ දැක තිබුණේ නැත.

‘දැන් වෙනස් ද?’

මෙම ප්‍රකාශවලින් පසු ඇතැම් විචාරකයන් පැවසුවේ තලිබාන්වරුන් මෙවර වෙනස් ප්‍රතිපත්ති අනුගමනය කරනු ඇති බවයි. ඒවා නවීන ලෝකයට අනුගත ඒවා වනු ඇතැයි ද ඔවුන් පවසා තිබිණි. එහෙත් තවත් දේශපාලන විචාරකයන් පිරිසක් ආරම්භයේදී ම පෙන්වා දුන්නේ එය එසේ නොවනු ඇති බවයි. තලිබාන් සංවිධානයේ සුුළු පිරිසක් ලෝකය සමග සංහිඳියාවකට යෑමට සූදානමින් සිටියද, අති බහුතරය එසේ නොවන බව ඔවුන් පෙන්වා දුන්නේය.

ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...